ජාතික ගීය

Posted on November 18, 2008



සිත ඇඳි සටහන් බ්ලොග් එකේ පළවූ ලිපියක් දැක ලියන්නට සිතුවෙමි.

ජාතිකාභිමානය යහපත් එකකි. ජාතියක් හැටියට එළඹෙන අභියෝගයන්ට මුහුණ දීමටත් ජාතියක් හැටියට නැගී සිටීමටත් ඉන් පිටුබලයක් ලැබෙන බැවිනි. ජාතික ගීය යනු එම අභිමානය සංකේතවත් කරන එක් අපූරු මෙවලමකි.

 ඕනෑම දෙයක්  ඕනෑවට වඩා කිරීම යහපත් නොමැතිවාක් මෙන්ම ජාතික ගීය ද උදේ හවස ගායනා කිරීම ඒ අභිමානය ඔප් නංවන්නට නොව එය හාස්‍යයට හා හෑල්ලූවට ලක් කරන්නට හේතුවෙයි.

ජාතික ගීය හැම දිනකම ගයා වැඩ අරඹන ලෙස ලැබුන චක‍්‍රලේඛන කුමන අරමුණකින් කළේ දැයි නොදනිමු. එහෙත් එයින් සිදුවී ඇත්තේ නම් සිදුනොවිය යුතු දේ මය. නිතර දකින කුකුලාගේ කරමල වුවත් සුදට පෙනෙන්නා සේ දිනපතා ඇහෙන විට එය විශේෂයක් වන්නේ නැත. වැඩි හොඳට කරන බොහෝ දෙයින් සිදුවන්නේ නපුරකි. ජනතාව දිරිගැන්වීමට නිර්මාණාත්මක යමක් කළ නොහැකි බොහෝ දෙනෙක් මෙසේ ජාතික ගීය ට ජාතික ධජයට මෙන්ම බුදු පිළිමයට හා ආගමට මුවාවෙනු දැකිය හැකිය.

ජාතික ගීය සුවිශේෂි උත්සව අවස්ථාවක පාවිච්චියට ගැනීමට මිසක දිනපතා මැතිරිය යුතු මන්තරයක් නොවේ. බොහෝ රටවල් ජාතික ගීය භාවිතය ගැනීම සම්බන්ධයෙන් සීමා පනවා ඇත්තේ ද එහෙයිනි.

රජයේ ආයතනවල ගේට්ටු දිනපතා මිනිත්තු පහකට ආසන්න කාලයක් මේ වෙනුවෙන් වැසෙන අතර ඒ නිසාම මාර්ග අවහිර තිබෙනු ද දකින්නට පුලූවන. ජාතියේ අභිවෘද්ධිය සංකේතවත් කිරීමට භාවිතා කළ යුතු ජාතික ගීය මෙසේ ජාතියේ ඵලදායකත්වය පහළ හෙලනු පිණිස භාවිතා කරනු දැකීම දුකට කරුණකි.

Advertisements
Posted in: Uncategorized