ඵලය වෙනුවට හේතුව – පිටතට වෙනුවට ඇතුළතට

Posted on October 15, 2008



 අපේ රට සුන්දර ය. සෞම්‍යය ය. ස්වභාවධර්මයාගේ දායාදයන්ගෙන් පොහොසත් ය. ස්වාභාවික අතුරුආන්තරාවන්ගෙන් තොර ය. ලොව පහළ වූ මහා කාරුණිකයාගේ ධර්මයෙන් ඊට එළිය වැටී ඇත. මේ වාසනාවන්ත උරුමය අප නිවැරදිව භාවිතා කළේ නම් බොහෝ රටවල ජනයා ඉරිසියාවෙන් බලන රටක් බවට පත්වන්නට හැකි හැම ඉඩකඩක් ම එහි විය. එහෙත් කුමක් හෝ කරුමයක් නිසා ඒ අවස්ථාව අපට අහිමි විය.

කරුමය කොතරම් බරපතල ද යත් ඒ කරුමය කුමක් දැයි තේරුම් ගැනීමට පවා අපි අපොහොසත්ව ඇත්තෙමු.

සමහරු කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ ආගමනය ඊට හේතු වූ බව ය. එහෙත් වැඩ වැරදුනේ ඊටත් පෙර සිට ය. දකුණු ඉන්දියානු ආක‍්‍රමණවලට වගකීම පැවරෙන්නේ ඒ අතීතයට යන විට ය. වර්ථමානයට පිවිසෙන විට එහි වැරුද්ද පැටවීමට අපට ප‍්‍රභාකරන් කෙනෙක් සොයාගත හැකි විය. ප‍්‍රභාකරන්ට එකතු වී ඇති කුමන්ත‍්‍රණකාරයින් ද ගණනින් විශාල ය. නව යටත් විජිතවාදයේ නියෝජිතයින් ලෙස නම් තබා ඇති එන් ජී  ඕ කාරයින් ද ඩොලර් කාක්කන් ලෙස හංවඩු ගසනු ලබන සාම බලවේගයන් ද සිංහල ජාතිය පොලොවෙන් අතුගා දමන තුරු නිදා නොගෙන බලා සිටිනා බව කියනා බටහිර ජාතීන් ද මේ කඳවුරට අයත් ය. තවත් සමහරු ව්‍යාප්තවාදී ඉන්දියාව ද මේ කඳවුරට ගාල් කරන්නට කැමති ය. සතුරා ප‍්‍රමාණයෙන්, බලයෙන් මෙන්ම සංඛ්‍යාවෙන් ද, විශාල බව පෙන්වන්නට හැකි නම් අපගේ අසරණ භාවය වඩාත් තීව‍්‍රව දැක්විය හැකි ය. එවිට අපේ ඉරණමේ සියලූ අඩුපාඩු මේ දැවන්ත සතුරාට බැර කර අපට ඒ කරුමයේ දෝසයෙන් නිදහස් විය හැකි ඉඩකඩ වැඩි ය.

වගකිව යුත්තේ අකටයුතු අන් අය ය. අහිංසක අප නොවේ.

ඒ නිසා ම අපට කළ හැකි අන් කිසිවක් නැත. මේ සතුරා පළවා හරිනු විනා.

සමීකරණය සරල ය. උත්තරය සොයාගැනීම ඒ නිසා අසීරු නැත.

කරදරය මදුරුවාගේ නම් කළ යුත්තේ ඌ මැරීම ය.

සැබෑ කරුමය නම් මදුරුවන් පැටව් ගැසීම ය. උන්ද එල් ටී ටී කාරයින් වැනි ය. මරන්න මරන්න තව තවත් වැඩිවේ.

අපට නොවැටහෙන කාරණය, මදුරුවා අපේ නිර්මාණයක් බව ය; වත්තේ කසල ගොඩ ගැසීම නිසා නොබසින වතුර වලවල් පවත්වාගෙන යන නිසා උන්ගේ උත්පත්තිය සිදුවන බව ය; ඒ කසල කළමනාකරණයේ වගකීම ඇත්තේ අප වෙත බව ය.

කසල කළමනාකරණය කරදර සහිත නිසා අපි මදුරුවන්ට උපදින්නට ඉඩ දී උපදින මදුරුවන් මරමින් සිටිමු. මදුරුවා ජනනය කරන සාධකයට ප‍්‍රතිකර්ම කිරීම අපගේ වගකීම බව අපි සැහැල්ලූවෙන් අමතක කර දමමු.

බුදු දහමේ ඉගැන්වෙනුයේ තමන් දෙස බලන ලෙස ය. තමන්ව වෙනස් කිරීමට කටයුතු කරන ලෙස ය. ඵලය ඉවත් කිරීම සඳහා හේතුව සොයන ලෙස ය.

එවන් දහමකින් පෝෂණය ලද අපගේ කරුමයට අනුන් දංගෙඩියට යවන්නට පුරුදු පුහුණු වූයේ කෙසේ ද? හේතුව නොසොයා ඵලය සමගම හැප්පෙන්නට පෙළඹුනේ කෙසේ ද? අපේ ඉරණමේ වගකීම අනුන් පිට පටවන්නට යොමු වූයේ කෙසේ ද? සියලූ දුක් කරදරවලට හේතුව සඳහා අපෙන් ඔබ්බෙහි පිහිටි ලෝකය බලන්නට අපට සිත් වූයේ කෙසේ ද?

බුදුන්ගේ ධර්මයට අනුව අපට පටිසන් දෙන්නේ අප විසින් කරන ලද කර්මයන් ය. අපේ ඉරණම අයහපත් නම් එහි වගකීම අපට පැවරෙන්නේ ඒ අනුව ය.

එහෙත් වත්මන් ශ‍්‍රී ලාංකික මනසට අනුව අපේ කරුමක්කාර ඉරණමට හේතුව අපේ කරුමය නොවේ. අනුන් ය. ප‍්‍රභාකරන් ය. බටහිර ජාතීන් ය. එන් ජී  ඕ කාරයන් ය. සාම කාක්කන් ය. ඔවුන්ගේ කරුමයන් ය. ඔවුන්ගේ ක‍්‍රියාවන් ය.

මේ බලවේග විසින් අපේ ඉරණම පාලනය කරන්නේ නම්  එසේ කිරීමට ඔවුන්ට හැකි වූ හේතු ඇත්තේ අපෙන් බාහිරව ද නැත්නම් අප තුළ ද? අප ඔවුන්ව පාලනය කරනු වෙනුවට ඔවුන් අපව පාලනය කිරීමට යොමුව ඇත්නම්, ඊට හේතු සඳහා අපගේ ඇතුළාන්තයට යොමුව අපව පරීක්ෂා කිරීම අවශ්‍ය නැති ද?

තමන් හිසට තම අතමය සෙවනැල්ල වැනි ඇතුළාන්තය විමසීමට අප පොළඹවන, ඵලය සමග පොරබැදීමට නොව හේතුව විමසීමට අපව යොමු කරවන, ධම්ම පදයේ ගාථා නැවත නැවතත් මතක් කර ගැනීම බෞද්ධ කොඩියක් එල්ලනවාට වඩා වටිනා බව පසක් කර ගැනීමට අපට නොහැකි වූයේ ඇයි?

අපේ කරුමය අනුන්ට බැර කිරීමට අප උගත්තේ කරුමය පිළිබඳ විද්‍යාත්මක දහමක් අදහන ගමන් වීම එක් අතකින් හාස්‍යජනක වන අතර අනෙක් අතට ඛේදජනක ද වෙයි.

අප ශක්තිමත් නම් බුද්ධිමත් නම් අප සූදානම් නම් අප යුක්ති යුක්ත නම් අප සංවේදී නම් අප කාරුණික නම් අපව මෙල්ල කිරීමට අපේ ඉරණම වෙනස් කිරීමට කිසිවෙකුටත් බැරි ය. එවන් ජාතියක් වීමට අප සමත් නම් බුදුන් කළාක් මෙන් ලෝකයම දිනීමට අපට හැකි ය.

අප ඇතුළතින් දුර්වල නම් අප ඇතුළතින් බියගුලූ නම් අප ඇතුළතින් මුග්ධ නම් අප ඇතුළතින් අයුක්ති සහගත නම් අකාරුණික නම් අසංවේදී නම් අප මත්තේ පිනුම් ගැසීමට පමණක් නොව අපට කරුණු කාරණා කියා දීමට ද තවත් අය දැනටමත් එසේ එක්ව සිටින පිරිස හා එකතුවනු ඇත.

රට යන අත අනුව නම් එසේ සිදුවනු වඩ වඩාත් දැකගන්නට අපට ලැබෙනු ඇත. දේශහිතේෂී යයි කියාගන්නා බොහෝ දෙනෙකු රට හරවන්නට යන්නේ ඒ අභාග්‍ය සම්පන්න තැනට ය. නයා රෙද්ද අස්සට දා ගත් පසු කියන්නට ඇත්තේ කනවෝ කියා ය. දැන් ඔවුන් කරමින් සිටින්නේ ද කරන්නට ඔවුනට ඉතිරිව ඇත්තේ ද කනවෝ යයි වඩාත් හයියෙන් කෑගැසීමට පමණකි. 

රෙද්ද අස්සට දා ගත් නයා කන විට ඌ රෙද්ද අස්සට දාගත්තේ කවර උවමනාවකට ද යන ප‍්‍රශ්නය නැගුවද ඊට පිළිතුරු දෙන්නට පමණක් නොව පිළිතුරු හොයන්නට ද ඉස්පාසුවක් නයා රෙද්ද අස්සට දා ගත් මිනිසාට ලැබෙන්නේ නැත. මේ අප වේගයෙන් පා නගමින් සිටින්නේ එවන් ඉස්පාසුවක් අපට නොලැබෙන කාල වකවානුවකට ය.

Advertisements
Posted in: Uncategorized