කොස් ගස් රැක්මේ වත්මන් ක‍්‍රමවේදය පිළිබඳ විවරණයක්

Posted on October 15, 2008



 

කොස් ගස අපූරු ගසකි. එහි ඵල ඊටත් වඩා අපූරු ය. රසවත් කුස පිරෙන අහරක් ලබා දෙන එය රැුක ගැනීමට ඇති නීති ඒ සියල්ලටමත් වඩා අපූරු ය.

කොළඹ පර්චස් 6 ක ඉඩම් කැබැල්ලක් තුළ ඇති කොස් ගහක් ගෙයක් ඉදිකිරීම පිණිස කපා බිඳ හෙලන්නට සිදු ව ඇති විටෙක හා එම හෙලූ කඳන් ඉරා ගැනීමට සිදු වූ විටෙක මේ නීති රීති වලට යටත්ව එය කර ගැනීමේ ක‍්‍රියාවලිය දිගු ය. අතිශයින් වෙහෙසකර ය. රැුකියාවක නියුතු කෙනෙකුට නම් එය නොකළ හැකි කාර්යයක් විය හැකි ය.

සමහරු මේ දුක අමාරුවෙන් වුව විඳිති. සමහරු පස්සා දොරින් ගොස් කෙටි මාවතක් ලඟා කර ගැනීමට අමතර මුදලක් ගෙවති. තවත් අය නීතියට එහෙම පිටින්ම පටහැනිව එය කරගැනීමට උදව්වන කෙනෙකුට (කපා බිඳ හෙලා ඉරා ගෙන ඒමේ* අවදානමේ කුලිය ගෙවා එය කරගනිති.

මේ නීති රීති අවශ්‍යව ඇත්තේ ඇයි කොස් ගස් බේරාගැනීමට ය. කොස් ගස් බේරාගැනීමට නීතියට හැකි ද? කොස් ගස් බේරා ගැනීම සඳහා වෙනයම් මාර්ගයක් නැති ද?

අප කොස් මදුලූ 15 ක බෑගයක් ගන්නේ රුපියල් විස්සකට ය. ලොකු කොස් ගෙඩියකින් එවැනි බෑග් 10 ක් සෑදිය හැකි ය. කොස් ගෙඩියක මදුලූ ගැලවූ පසු වටිනාකම ඒ අනුව රුපියල් දෙසීයකි. කොස් ඵලදාව ඇති ගහක මාසික ආදායම ඒ අනුව ගණනය කර ගත හැකි ය.

මෙසේ කිසියම් වටිනාකමක් ගහකට ලැබෙන විට, එය තවමත් සංවර්ධනය කර නැති ඉඩමක පිහිටා ඇත්නම්, ගහ රැුකගැනීම ඉබේටම පාහේ සිදු වෙයි.

නීති අවශ්‍ය වන්නේ කොස් ගෙඩිවලට එවන් වටිනාකමක් නොමැති පරිසරයක ය.

වටිනාකමක් නැති කොස් රැුකිය යුත්තේ ඇයි?

අතීතයේදී ඵල දරණ කොස් ගහක් වැවීමට සෑහෙන කාලයක් ගත වූවා විය හැකිය. එහෙත් දැන් බඞ් කොස් 18 මාසයෙන් ඵල දරයි. කරුණු එසේ තිබියදී කොස් ගසක් මිනිහෙකුට දැරිය නොහැකි බරක් කළ යුත්තේ මන් ද?

වෙළඳ පොළේ වටිනාකම විසින් කොස් ගසේ අනාගතය තීරණය කරන්නට ඉඩ නොදී නීතිය මගින් රැුකිය යුතු තරමට එය දුර්ලභ ගසක් වී ඇති ද?

මෙම නීති තිබෙන්නේ පැරණි සම්ප‍්‍රදායට, දේශීයත්වයට සහ හෙළ හැදියාවට රට කරවන්නන්ගේ කැක්කුම අපට පෙන්වන්න ද? නැතිනම් සැබෑවටම කොස් ගස් රකින්නට ද?

කොස් ගස් තරමටම නැතත් රකින දේ තවත් අපට තිබේ. ඒ කුඹුරු හා පොල් ඉඩම් ය. ආර්ථික වටිනාකම් මත මේවායේ අනාගතය තීරණය වීමට ඉඩ නොතබා රජය මේ සඳහා මැදිහත්වීමෙන් රටට හා විවිධ සමාජ කණ්ඩායම් වලට අත් විඳින්නට වන විපාක හා ප‍්‍රයෝජන මෙසේ ගෙන හැර දැක්විය හැකි ය.

1-        බලය නැති, අතමිට මුදල් නැති කෙනෙකුට තම දේපල වෙළඳපොළ වටිනාකමට විකිණිය නොහැකි වීම

2-        ආර්ථික වශයෙන් වඩා ලාභදායක දෙයක ආයෝජන සඳහා ඉඩම භාවිතා කළ නොහැකි වීම

3-        බලය ඇති අයට මේවා කුණු කොල්ලයට මිලට ගැනීමටත් එසේ කොට සිය බලය යොදා ඒවා තමන් රිසි පරිදි (පොල් කොස් ගස් කපා කුඹුරු ගොඩ කොට) සංවර්ධනයකර විශාල මුදලක් ලබා ගැනීමටත් හැකි වීම

4-        වී පොල් හා කොස් යන දේශීය දේ ආරක්ෂා කරන බවට, ඒ වෙනුවෙන් සෑම දෙයක්ම කරන බවට, ජනතාවට ඒත්තු ගන්වමින් විශාල ජනප‍්‍රියතාවයක් ලබා ගැනීමට දේශපාලනඥයින්ට හා රට කරවන්නට හැකිවීම

5-        කොස් පොල් බත් රැුකීමෙන් දේශීය අනන්‍යතාවය රැුකෙන බවට පාන් කමින් නගරයේ ජීවත්වන ගම ෆැන්ටසිගත කරගෙන සිටින අපට ආශ්වාදයක් (මෝඩ චූන් එකක්) ලබා ගැනීමට හැකිවීම

6-        තවමත් අතීතයේ ජීවත්වන ශ‍්‍රීලාංකික කොදෙව්ව පසු කර යෑමට ලෝකයේ තවත් රටවල් ගණනාවකට අවස්ථාව ලැබීම

7-        මේ සියල්ල සිදුවෙද්දී කොස් හා පොල් ගස් තවදුරටත් පෙර සේම කැපීම හා කුඹුරු ගොඩවීම

කොස් පොල් හා බත් රැුකීම සඳහා කළ හැකි වෙනත් බොහෝ දේ තිබේ. ඒවා (හාල් වලින් පාන් හැදීම පොල් ගසේ ඉවත යන දෙයින් ඇක්ටිවේට් කාබන් සෑදීම යනාදී) දැනටමත් වෙළඳ පොළ ආර්ථිකය විසින් කරමින් තිබේ.

ඒ සඳහා නීතිය යොදා ගැනීම, සමාන කළ හැක්කේ එවැනි කිසිදු නිර්මාණාත්මක කාර්යයක් කළ නොහැකි බැරිවුන් පිරිසක් විසින් හුදී ජන ප‍්‍රසාදය සඳහා රඟ දක්වනු ලබන බාල වර්ගයේ විගඩමකට පමණකි. කොස් පිළිබඳව පමණක් නොව කථා කළ නොකළ අන් දේ පිළිබඳව ද කොස්ස ඇත්තේ එතැන ය.

Advertisements
Posted in: Uncategorized