Archive for Uncategorized

සරත් ෆොන්සේකාගේ අස්වීමේ ලිපිය

මෙම ලිපියේ වඩාත් වැදගත් කාරණා හතරක් සරත් මතු කර තිබේ

1.   අපි යුද්ධය දිනා රට නිදහස් කර දුන්නෙමු. එහෙත් සාමය දිනාගැනීම දේශපාලන කටයුත්තකි. එය බරපතල ලෙස අමතක කර දමා තිබේ. ඒ සදහා දෙමළ ජනතාවගේ හදවත් දිනා ගත යුතු ය.

2.  අපි එල්ටීටීයේ මර්දනකාරී හස්තයෙන් දෙමළ ජනතාව බේරා ගත්තෙමු. එහෙත් රජය විසින් අමානුෂික තත්වයන් යටතේ උන් හිර කර තබා තිබේ.

3.  යුද්ධය දැන් අවසන් ය. එහෙත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ජනතාවට ලබා දීමේ කටයුතු කිසිවක් සිදු කර නැත.

4.  යුද්ධය අවසන් ව ඇතත් රටේ සංවර්ධනය නිසි ලෙස සිදුවෙතැයි කිව නොහැකි ය. දූෂණ හා නාස්තිය ඉවත්කර නිදහස් කර ගත් රට සංවර්ධනය වනු දැකීම ජනතාවගේ පැතුම ය.

මේ නම් යුද්ධය මෙහෙයවූ සරත් නොවේ. ඒ සරත් හංගා වෙන සරත් කෙනෙක් ප්‍රාදුර්භූතවී තිබේ ද? දළඹුවා සමනලයෙක් වී තිබේ ද? ප්‍රශ්නයක් පමණක් නගා අපි නිහඩ වෙමු.

අප කතා කළ කාලය අවසන් වෙමින් තිබේ. ජනතාව අප අවසන් කළ තැනින් කතාව පටන් ගන්නවා ඇත. සරත් හරහා එළියට පැමිණෙමින් තිබෙන්නේ ඒ හඩ ද? නිගමනයන්ට බැසීමට තවම ඉක්මන් වැඩි ය.

දෝරෙ ගලන අපේ කම- තවත් වැයික්කි ප‍්‍රශ්නයක්

පසුගිය 01 දා රාත‍්‍රී මමත් අපේ ආයතනයේ සේවය කරන තවත් කීපදෙනෙකුත් රාත‍්‍රී සේවය අතරතුර ආයතනය ඉදිරිපිට පාර අයිනේ කෑම කෑවා. එහිදී එක්කෙනෙක් කාලා ඉවරවෙලා අතහෝදමින් සිටියදී බයිසිකල්වලින් ආපු එක්කෙනෙක් ඔහුගේ ඇගේ වැදී ගෙන ගියා (ගමේ මිනිහෙක් බයිසිකල් එකෙන් යද්දි උඹ මොකට ද එතැන හිටියෙ?)

ඒවෙලාවෙ බහින්බස් වීමක් සිදුවුනා (සමාව ඉල්ලල දණින් වැටෙන්නෙ නැතිව බහින් බස් මොකට ද ගමක දී?).

මේක අපේ ගම උඹලට පුලුවන්ද මෙහෙ පාට් දාන්න කියල ඔවුන් බැනල ගියා  (එවෙලෙම දුන්නෙ නැත්තෙ ඇයි කියලයි මට හිතුනෙ). ඉන්පස්සේ සුළුවෙලාවකින් නැවතත් කණ්ඩායමක් පැමිණ අපිට යකඩ පොලුවලින් දිගට හරහට පහර දුන්නා. අපිට හිතාගන්නවත් බැරිවුනා  (ඇයි ඔයගොල්ලො ලංකාවෙ නෙවෙයිද?).

මට පහර කීපයක් වැදුනා (මැරුණෙ නැතිව බේරුන එක ගැන දෙවියන්ට ස්තුති කරපිය!)

තව ටිකක් පහර දුන්නා නම් මගේ ජීවිතය නැතිවීමට ඉඩ තිබුණා (යකෝ ගමකට පිටින් ආපුවහම ඒ විදිහට ඉන්න ඉගෙන ගනින්. ටිකක් ගම්මුන්ට බය පක්ෂපාත කමක් එහෙම පෙන්නලා). මගේ ඇහැක් පේන්නේ නැහැ. (ඇහැකින් බේරුණ එක ගැන දෙයියන්ට පින් දීපන්.)

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කුලියාපිටිය පොලීසිය සැක කරුවන් අත් අඩංගුවට ගැනීමට තවදුරටත් පරීක්ෂණ පවත්වන බව කී ය (යකෝ අපි වගේ ගමේ චණ්ඩින්ට තමයි අද දේශපාලන බලයත් තියෙන් නෙ. පුලුවන්නම් අල්ලපල්ලා බලන්න!).

(නොවැම්බර් 11 දා දිවයින පත‍්‍රයේ පළවු ප‍්‍රවෘත්තියක් ඇසුරෙන් වරහන් ඇතුළේ දෙබස් සකස් කරන ලද්දේ ගමේ උරුමක්කාර පොල්මක්කාර බලවතෙකු වන චණ්ඩි පිරිමි මුදියන්සේලාගේ වැඩිහිටි වංශ ආරච්චි විසිනි. ඔහුම කියනා පරිදි හේ දුටු ගැමුණු පරම්පරාවෙන් පැවත එන්නෙකි).

සරත්ට බිංදුව! ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන සංඝ ආඥාවක්!

ආණ්ඩුවට සරත් ෆොන්සේකාගේ උගුලෙන් ගැලවෙන මාවතක් ඇත. ඒ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමෙන්තුවට ගෙන ඒම ය.

හැමෝම ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට ප‍්‍රතිඥා දී ඇති නිසා එය මෙම පාර්ලිමෙන්තුවෙන් ඒකචන්දයෙන් සම්මත කර ගත හැකි ය. එවිට ජනාධිපතිවරණයක් අවශ්‍ය නොවේ. එවිට සරත්ට භූමිකාවක් නැත.

එම අභියෝගාත්මක කාර්යය ද ඉටු කිරීමේ සුභ ආරංචිය සමග ඉතිරිවන පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පහසු ජයක් ගත හැකි ය.

BF ගැන හැම විටම කීවෙ ආණ්ඩුව අන්නන්නට බලන් ඉන්න එකෙක් කියා ය.

ඔන්න අපි ආණ්ඩුවට මර උගුලෙන් ගැලවෙන්නට මාවතක් දැක්වීමු. අප එසේ නොවන බව ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමු.

සරත් ෆොන්සේකාට මැතිවරණයට එන්න එපා යයි සංඝ ආඥාවක් පනවනු වෙනුවට ආණ්ඩුවට ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනු යයි සංඝ ආඥාවක් පනවන්නට සංඝයාට පුලුවන.

සරත් ‍ෆොන්සේකා මෙන් නොව තමන් සංඝ ආඥාවන්ට ගරු කරන බව පෙන්වමින් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට මුල්ගල තබන්නට ආණ්ඩුවට පුලුවන.

එසේ නොකළොත් වන්නේ රජතුමාත් සෙනෙවි තුමාත් ප‍්‍රසිද්ධියේ ගහ බැන මරා ගැනීම ය. මඩ නෑම ය. රෙදි අපුල්ලා ගැනීම ය. එයින් වාසිය අත්වන්නේ දේශදෙ‍්‍රා්හීන්ට ය. කුඩු කෑ විත්ති අහුවිය හැකි බැවිනි. එය මග හැරිය හැකි හොදම මග අප දැක්වූ මග ය.

මෙම උපක‍්‍රමය හරහා විරුද්ධ පක්ෂය ද උගුලට අහු කර ගැනීමට ආණ්ඩුවට හැකි ය.

ආණ්ඩුවට මෙම උපදේශය දුන්නේ අප යැයි කියා අප ලකුණු දාගන්නේවත් එම උපදේශය සඳහා ගාස්තු ඉල්ලන්නේවත් නැත.

ඒ විධායකය අහෝසි වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුංචි හෝ ඉඩ හසරක් ලබා ගන්නේ නම් අප කැමති නිසා ය.

එවැනි ක‍්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිනෙන් ආණ්ඩුව ගොඩ ඒම අපට ප‍්‍රශ්නයක් නොවෙ. අපට ඇති එකම ප‍්‍රශ්නය පවු කර පුරුදු ආත්මයකට පිනක් පුරුදු කරන්නේ කෙසේ ද යන්න පමණකි.

කැළණි පලහිලව්වෙ සුලමුල!

සරත් ෆොන්සේකා කැළණීවිහාරයට ගිය අවස්ථාවෙ හූ කියා වෙනත් ඝෝසා පවත්වා අපහසුතාවයට පත් කරනු රටෙ ජනතාවට දැක ගන්නට ලැබුණේ ය.

මෙම කලබැගෑනිය ඇතිවූයේ

  1. සරත් විශ‍්‍රාම යාම නිසා ජනතාව කෝප වූ නිසා ය
  2. ශුද්ධවූ පන්සලකට අශුද්ධ යුද්ධ හමුදා නියෝජිතයෙකු ඇතුළු වූ නිසා ය
  3. කැළණියට අනවසරයෙන් පිවිසීමට සමත් ජගතෙක් නොසිටිය යුතු නිසා ය. (එය කැළණිය ආසනයට පමණක් නොව පන්සලටත් අදාළ නිසා ය.)
  4. දේශපේ‍්‍රමය කැළණී විහාරයේ උතුරා ගොස් තිබූ නිසා ය.
  5. කැළණි විහාරය වැඳගෙන මෙ හදන්නේ වෙන අඩව්වක් අල්ලන්න දැයි කැළණියේ දායක කාරකාදීන්ට සැකයක් උපන් නිසා ය. (අලි මදිවාට හරක් කියන්නැහේ දේශපාලන හෙංචයියලා මදිවාට හමුදා කාරයොත් කැළණි එන්න පටන් ගෙන ඇති නිසා ය)
  6. පන්සලකට දේශදෙ‍්‍රා්හියෙකු (මොකක් කිවුවා?) ඇතුළු වූ නිසා ය.
  7. කැළණි විහාරයට අරක් ගෙන ඇති දෙවිදෙවතාවුන් පවා සරත් ෆොන්සේකාගේ ආගමනයෙන් කුපිත වූ නිසා ය.
  8. පන්සල පාවිච්චියට ගැනීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි නිසා  ය. (ආණ්ඩුවට හැරෙන්නට වෙන කිසිවෙකුටවත්!)
  9. බුද්ධාගමට විරුද්ධ බලවේග සරත් ෆොන්සේකා පන්සල් යනවාට අකමැති නිසා ය.
  10. රට පාවා දුන් සරත් ෆොන්සේකා වැන්නකුට ඔයිට වඩා හොඳින් සංග‍්‍රහ කිරීමට ජනතාව නොදන්නා නිසා ය.
  11. කැළණියේ ජන්ද දායකයින් විසින් අමාරුවෙන් යුද්ධ කර දිනා ගත් රට සරත් ෆොන්සේකා නොරටුන්ට දෙන්න හදන නිසා ය.
  12. යුද්ධ කර රට දිනා දුන්නාට පසු පැත්තකට වී විශ‍්‍රාම සුවයෙන් පසුවන්නේ නැති ව රට හදන්නට අමාරුවක් සරත් ඇති කර ගෙන තිබෙන නිසා ය.
  13. රට හදන්නට බදු අරන් ඉන්න අය කොතෙක් සිටියදීත් විශ‍්‍රාම ගිය ජෙනරාල් වරයෙක්ටත් ඒ බඩ කඩුත්තුවම කිරීමට ඕනෑ වූ නිසා ය.
  14. තමන් හා තමන්ගේ සගයින් ජීවිත කැප කරමින් යුද කර රට නිදහස් කරගත්තේ කුමන කුපාඩියන් පිරිසක් වෙනුවෙන් දැයි සරත් ටක්කෙටම දැනගත යුතු නිසා ය.
  15. සරත් දේශපාලනයට පිවිසෙන බව කැළණි වන්දනාවෙන් ඉත්තේරුවටම පැහැදිලි වුන නිසා ය

සරත් ෆොන්සේකා හා මර්වින් – කැළණියේදී ගහට ගහක් මුණ ගැසේ

සරත් ෆොන්සේකා සිය විශ‍්‍රාම ලියවිල්ල බාර දී ගියේ කැළණි විහාරයට ය.

කැළණිය යනු මර්වින්ගේ පුරයයි. කැළණීය උඩින් අවසර නැතිව කාක්කෙක්වත් පියාඹීම මර්වින් සළකන්නේ තමන්ට කරන අගෞරවයක් හැටියට ය.

රජතුමා විසින් නින්දගමක් ලෙස තමන්ට පවරා දී ඇති මෙපුරවරයට ඊයේ පෙරෙදා තමන් විසින්ම අවමානයට ලක් කළ කෙනෙකු ගරු ගාම්භීර විලාශයකින් පැමිණ සිටීම ඔහුට දැනුනේ තමන්ට කළ මදි පුංචි කමක් හැටියට ය.

ඇත්තටම මර්වින් කියා සිටියේ සරත් යන්න හදන්නේ කොහාටදැයි තමන් දන්නා බවත් ඊට පාර පෙන්නීමට තමන් සූදානමෙන් සිටින බවත් ය

එය වචනයෙන් නොව ක‍්‍රියාවෙන් ඔප්පු කිරීමට සරත් ෆොන්සේකා කැළණිය වදින්න ආවිට මර්වින්ට ඔනෑවිය

තමන්ගේ සහචරයන් ලවා සරත්ට හූවලින් හා වෙනත් අවමානයෙන් සංග‍්‍රහ කිරීමට ඔහු පියවර ගත්තේ ඒ නිසා ය.

කොන්ත‍්‍රාත්තුව බාර දී තිබුනේ ඉහළින් ද මෙ පෝරිසාදයා පාලනය කර ගැනීමට නොහැකි වල් සතෙකු දැයි අප දන්නේ නැත. එහෙම දන්නා කෙනෙක් ඉන්නා බව වත් අප දන්නේ නැත.

දුටුගැමුණු පරපුරෙන් පැවත එන කෙනෙකු වත්මන් දුටුගැමුණු රජතුමාගේ සෙන්පති හට හූවකින් සංග‍්‍රහ කිරීම එක් අතකින් දෛවයේ සරදමකි.

සටන පටන් ගත්තා පමණ ය. හොඳ ආසනයක් හොයා ගෙන වාඩිවී දැන් නැරඹිය හැකි ය.  මෙම සටන වන්නිය මුදාගත් මානුෂීය මෙහෙයුමට ද වඩා මානුෂීය වන බවත් ත‍්‍රාසජනක වන බවත් ආතල් සපයනු ඇති බවත් දැනටම පෙනේ.

දේශපේ‍්‍රමය හෙට අනිද්දා රෙද්ද පල්ලෙන් බෙරෙනු ඇත. වෘත්තීය රෙදි අපුල්ලන්නන්ට වැඩ තිබෙනු ඇත. ඔවුන් අවශ්‍ය වනු ඇත්තේ දුසිම් ගණනින් නොවෙ. සිය දහස් ගණනිනි.

දේශප්‍රේමී රණවිරුවන් හොරිකඩ සෙබළුන් බවට පරිණාමය වෙයිද?

ඉතිහාසය නැවත ලියැවෙමින් තිබේ. ඒ මෙසේ ය.

දේශපේ‍්‍රමී රණවිරුවෝ යුද්ධය ජය ගත් හ.  හොරිකඩ හමුදා භටයෝ සටන කඩා කප්පල් කළ හ.

සංශෝධනය සිදුවෙමින් තිබෙන්නේ ජවිපෙ සහෝදරයින්ගේ ඔළු ගෙඩි ඇතුළේ ය.

විමල් මෙන් ඉර පැන්නා නම් මේ අභග්ගයට මුහුණ දෙන්නට සිදුවන්නේ නැත.

හැබැයි පුංචි සහනයක් සහෝදරවරුන්ට තිබේ.

යුද්ධය දින්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ මෙහෙයවීමෙන් සටන් වැදුණු දේශපේ‍්‍රමි රණවිරුවන්ය.

සටන කඩා කප්පල් කළේ ජගත් ජයසූරිය හමුදාපතිගේ සෙබළු ය.

මේ වෙනසින් සිත සනසා ගත හැකි නම් අගේ ය.

( අනේ BF, දළඹුවන් සමනලයින් වන ලෝකයක ඔවැනි පරිවර්තනත් බ්ලොග් ලියන්නට තරම් කාරණයක් ද?)

තරහ අවසර! මෙන්න මේ කාරණය ගැනත් සංඝ ආඥාවක් නිකුත් කරන්න බැරි ද?

සරත් ෆොන්සේකාට ජනපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි සංඝආඥාවක් නිකුත් කිරීමට සාමාන්තරව, ඉදිරිපත් වෙන්නැයි කියමින් සංඝආඥාවක් ඉදිරිපත් කිරීමට සංඝයා වහන්සේලා පිරිසක් ඉදිරිපත්ව ඇති බවට අපට වාර්ථා වී ඇත.

සංඝ ආඥා එකක් නම් තිබුනේ කීකරු පූස්පැටියෙක් සේ සරත් ඊට අවනත වෙනවා ඇත.

එහෙත් එකිනෙකට වෙනස් ආඥා දෙකක් ආඥාපතිට එද්දී එතුමා කුමක් කරන්න ද?

එහෙම කල්පනා කරමින් ඉන්නා මට මරු අයිඩියා එකක් ඔය අස්සේම පහළ විය.

මතට තිත තියන්න සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද? පාතාල ලෝකයට පාතාල වැඩ නවත්වන්න යැයි කියමින් සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද? දූෂණය වහා නවත්වන්නැයි කියමින් සෞඛ්‍ය අමාත්‍යංශයට සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද?මේ ලියන මට රස්සාවක් අරන් දෙන්නැයි කියමින් සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද? රෑ වෙලා මා ගෙදර එනවිට දොර අරින්න කියා අපේ මායියාට සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද?

ඔය සංඝ ආඥා නිකුත් කරන තැනක ඇඩ්‍රස් දන්නා කෙනෙක් වෙයි නම් අපේ බ්ලොග් අඩවියටත් ලියා එවන්න ය. මං වගේම අමාරු වැටී ඇති බොහෝ දෙනෙකුට මෙයින් පිහිට ලැබිය හැකි ය.

ඉස්සෙල්ලාම ජනාධිපති තුමාගෙ වැඩේ ගැන බලන්න ය. එතුමා වැටී ඇති අන්ත අසරණ තත්වය බැලුවහම මෙ වෙලාවෙ එතුමාට පිහිට වීමට ප‍්‍රමුඛත්වය දිය යුතුම ය.

ඉන්පසු අසරණ අප ගැනත් බලන්න ය.

සංඝ රත්නයට විහිළු සපයන්නන්ගේ සරණයි. තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාවයි.

පිරවුම්හල් අවට ඉන්නා කුමන්ත්‍රණකාරයින්ට දඩුවම් දෙනු!

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාරිභෝගික අපට කීවේ තෙල් හිගයක් ඇතිවීමේ ඉඩක් නැති බැවින් ජනතාව කලබල නොවී සිටිය යුතු බවය. එහෙත් ජනතාව එය අහන්නට සූදානම් නැත. පාරවල් බ්ලොක් කරගෙන දත්මිටිකාගෙන එක එකාගේ බෙල්ල මිරිකමින් කෑකෝගසමින් උන් පිරවුම්හලවල්වල ජවුසම් නටති.

අනේ හැබෑට කියන දෙයක් පිළිගන්නට බැරි ජාතියක්!

මට නම් හිතෙන්නේ තෙල් සේවකයින්ට ද වඩා මුන් ජාති ද්‍රෝහී බව ය. නැත්නම් මෙතරම් ලොකු සහතිකයක් දී තිබියදී රජය අපහසුතාවයට පත් කරන්නට මුන් පෝලිම්වල තෙරපෙන්නේ මන් ද?

මේ පෝලිම් දකින විට නම් පෙනෙන්නේ ආණ්ඩුව කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණය සිදුවෙමින් තියෙන බව ය. තෙල් සේවකයින් හා හරිහරියට මේ පෝලිම්වල ලගින උන්ද එකත් එකට ම මේකට හවුල් බව ය.

කුමන්ත්‍රණය පැරදවීමට හැකි එක් ක්‍රමයක් නම් රජය කියන දේ නාහා මෙසේ පිස්සු කෙලින්නන් අල්ලා හිරගෙයි දැමීම ය.

තෙල් සේවකයින්ගේ අරගලය අසාර්ථක වුවද මේ කෝලම් දකින මිනිස්සු එය සාර්ථක යයි හිතන්නට පුලුවන. ඒ නිසා මේ ගැන ඉක්මණින් පියවරක් ගන්නා ලෙස ආණ්ඩුවට ජාතියේ නාමයෙන් මතක් කර සිටිමු.

සෞභාග්‍යය උදාවෙමින් තිබේ. අඩුමිල බඩු මල්ලක් ජනතා අයිතියට පැවරෙයි!

ජනහිතවාදී ආණ්ඩුවක් කටයුතු කරන්නේ මේ අයුරින් යැයි පෙන්වමින් අපේ ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේ මිල එකවර අඩුකළේ ය. එය කළේ මොනම හෝ වාසියක්වත් බලාගෙන නොව ජනයා විදින දුක උහුලන්නට බැරි කම නිසා ය.

‍හැම මගුලකම හිලක් හොයන විරුද්ධපක්ෂය දැන් සරම් උස්සාගෙන කෑගහන්නට ඉඩ තිබේ.

ඇයි මේ හදිස්සියෙ? කොහොම ද මේ මැජික් එකකින් වගේ බඩු අඩු කරන්නෙ? බන්දුල ගුණවර්ධන කඩයක්වත් කැඩුවද? රජතුමාට පිටරටවලින් නෑදෑයෝ එවලාද ? මේ කන්න ලැබෙන්නෙ තව කොච්චර කාලෙකට ද? රට උගස් තිබ්බෙ කාට ද? උගස බේර ගන්න මේ ගමන පුලුවන් වේවිද? ඉස්සරහට මේවා ඇරියස් එක්ක අල්ලන්න බලාපොරොත්තුවක් එහෙම තියෙනවද?

ඔය ප්‍රශ්නවලින් ආණ්ඩුවට හිතවත් උදවිය සැළෙන එක නාක ය.

ඇත්තටම අඩුමිලට ලැබෙනවා නම් ඒවා ගන්නවා මිසක ඔය ඕනෑනැති ප්‍රශ්න මක්කට ද ආයුබෝවන්?

බඩුමිලත් අඩු කර ඇති වෙලාවක අරගල කරන්නෝ ජාතී ද්‍රෝහීන් මිස අන් කවුරුද?

මෙහෙම හිත උණුවන ආණ්ඩුවකට නොදී චන්දය දෙන්න කියන්නේ සරත් ‍‍‍ෆොන්සේකාට ද?

යුද්ධය අවසන් වූ පසු උතුරු නැගෙනහිර වෙරළින් පැමිණි අඩුමිල මාලු සප්පායම් වෙමින් සිටි ජනතාවට ද දැන් ඒ පිටට කදමල්ලක් ම ලැබී තිබේ.

දෙන දෙයියො ගෙට ගෙනැවිත් දෙනවා කියන්නේ මේවාට ය (අඩුමිල බඩු සමූපකාරයට එනතුරු අපට බඩගිනි වෙන්න එපා! ඒක ඉල්ලන්න තිබෙන්නේ ද දෙවියන්ගෙනි. පේන්නට තියෙන විදිහට දෙවියන්ට අහක බලන්නට හේතුවක් නැත).

සීතාම්බර සළු පැළද සිටියේ යැයි සිතා සිටි රජතුමාට උඹ හෙළුවෙන් යැයි කීවේද කොලුවෙකි

බොහෝ වැඩිහිටියන්, දෙමාපියන් මෙන්ම ගුරුවරු ද සිතා ඉන්නේ ළමුන්ට වඩා බොහෝ දේ තමන් දන්නා බවයි.

ඒ නිසාම ළමයෙකු යමක් කියන්නට පටන් ගන්නා විටම එක්කෝ එය සම්පුර්ණ කිරීමටත් එයට අවවාදයකින් උපදෙසකින් නැත්නම් අවලාදයකින් හෝ අවමානයකින් සංග‍්‍රහ කිරීමටත් උන් පුරුදුව සිටිති.

විශේෂයෙන් කියන දේ නාහන එකට එක කියන්නට එන කොල්ලන් කෙල්ලන් අල්ලා දඩුවම් දීමට මහ උන්ට ඇත්තේ නොතිත් ආසාවකි. අතෝරයක් නැතිව ප‍්‍රශ්න අහන දරුවන් සම්බන්ධයෙන් ද උන්ට ඇත්තේ තරහකි.

ලොව වෙනස් කළේ කියන දෙය අහගෙන පුරුදු විදිහට වැඩ කළ උන් නොවෙ.

දැනුම ලැබෙන්නේ කියන දෙය වන පොත් කර එය වැමෑරීමෙ සමත් කමෙන් නොවෙ.

ප‍්‍රශ්න කරන අභියෝග කරන වෙනස් අදහස් දරන මිනිසුන්ගෙනි.

මෙම නිර්මාණාත්මක හැකියාව වඩාත් ඇත්තේ තමන්ගේ පටු අත්දැකීම් නිසා ඇට්ට කුණා වුනු වැඩිහිටියන් තුළ නොවෙ. ළමුන් තුළ ය.

ඒ නිසා වැඩිහිටියන් නව දේ ඉගෙන ගන්නට කැමති නම් උන් ඉගෙන ගත යුත්තේ ළමුන්ගෙනි.

එහෙත් බොහෝ වැඩිහිටියෝ තමන්ගේ විධිමත් අධ්‍යාපනය හමාර වූ පසු ඉගෙනීම අත් හරිති.

දැන් ඉතින් අපි ඉගෙන ගන්න කාලෙ ගියා!

බොහෝ රටවල වැඩිහිටියන් පොත් පත් කියවන සංස්කෘතියක් ඇති බව ඒ රටවල ඇවිද ඇති කෙනෙකුට දැක ගත හැකි ය. බස් රථය තුළ නැතිනම් දුම්රියේ යන බොහෝ අය අත පොත් තිබෙයි.

ඉගෙන ගන්නට ඇති එකම මාර්ගය පොත් නොවන බව ඇත්තකි. එහෙත් එය ද එක් වැදගත් මාධ්‍යයකි. එයට අනාවරණය වීමට අකමැති අය ප‍්‍රදර්ශනය කරන්නේ ඉගෙනීම ගැන ඔවුන් තුළ ඔඩු දුවා ඇති අදහස ය.

මගේ අදහස නම් ලංකාව හරියන්නේ වැඩිහිටියන් ඉගෙන ගත් දාට ය. ඒ සඳහා උන්ට කළ හැකි එක් වැදගත් වැඩක් නම් දරුවන් ගෙනෙන අභියෝගයන්ට පිටුපස නොහරවා ඊට මුහුණ දීම ය.

රජු සීතාම්බර සළු පට පැළඳ සිටිනවා නොව හෙළුවෙන් සිටින බව කීවෙ වැඩිහිටියන් නොවෙ. පාරෙ හිටි කොලු ගැටයෙකි.

« Previous entries