මර්වින් සිල්වා ඇමැතිතුමා කරන කියන දේ සියල්ල එකක් එකක් නෑර අනුමත කරන්නන් ඇත්දැයි මම නො දනිමි. එහෙත් ඒ මහතා පසුගිය දා හලාවත කෝවිලකට ගොස් කළ දේ බොහෝ දෙනකු අනුමත කරන්නේ යෑයි සිතමි. ඒ සතුන් පණ බේරා ගත්තේ ඇමැතිතුමා නිසා ද එසේත් නැත්නම් අධිකරණ තීන්දුවක් නිසා ද යන්න විවාදාත්මක විය හැකිය. ඒ අධිකරණ තීන්දුවක් නිසා වුවත් ඒ මහතාගේ යම් දායකත්වයක් එහි දී සිදුවුණු බව ඒ මහතාගේ විරුද්ධකාරයන්ට වුව ද පිළිගැනීමට බලකෙරෙයි. මර්වින් සිල්වා ඇමැතිතුමාට ඒ අහිංසක සතුන්ගේ ජීවිත බේරාගැනීමට දායකවීමට ලැබීමෙන් මහත් පිනක් අත්වන්නට ඇත. ඒ අතර කෝවිලට සම්බන්ධ පිරිසක් ඒ මහතාට දඬුවම් කරන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් කර ඇති බව ද පැවසෙයි. බලි බිලි බලා සිටින දෙවිවරුන් (මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන් ද සිටින බව අමතක නොකළ යුතු ය. එහෙත් ඔවුන්ගේ බල පුළුවන්කාරකම් කෙමෙන් අඩුවන බවක් පෙනෙයි) ඒ මහතා සමඟ උරණ වුව ද මේ කරුණෙහි දී සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් ඒ මහතා රකිනු ඇතැයි බලාපොරාත්තු විය හැකි ය.
එහෙත් ඒ පිළිබඳ වෙනත් ප්‍රශ්න නගන්නන් නැතැයි මෙයින් නො කියෑවෙයි. මර්වින් සිල්වා මහතා නීතිය අතට ගෙන ක්‍රියා කළේ ද? අධිකරණයේ තීන්දුවක් දුන් පසු එය ක්‍රියාත්මක කිරීමට පොලිසිය ඇත. මන්ත්‍රීවරුන් එයට සහභාගි විය යුත්තේ ඇයිදැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. එහෙත් අප රටේ පොලිසියේ ඇතැමුන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී දක්‌වන උදාසීනභාවය වෙනත් කාහටත් වඩා හොඳින් දේශපාලනඥයෝ දනිති. එයට එක් හේතුවක් වන්නේ ද පොලිසිය උදාසීන වීමට ඇතැම් විට අක්‍රියාත්මකවීමට දේශපාලනඥයන්ගේ මැදිහත්වීම බලපෑම ය. අදාළ ප්‍රශ්නයේ දී පොලිසිය අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන තුරු බලා සිටියේ නම් ඇතැම් විට සතුන් බිලිදීම වැළැක්‌වීමට නොහැකි වන්නට තිබිණි. අතීතයේ දී දේශපාලනඥයන් නීතිය අතට ගැනීමට පොලිසියේ ඇතැමුන් අහිංසක මිනිසුන්ට කරදර කිරීම ද බලපෑ බව නිසැක ය. මුල දී එසේ වුවත් පසුව දේශපාලනඥයන් නීතිය අතට ගැනීම පුරුද්දකට ගොස් ඇති බව පෙනී යයි.
හුණුවටයේ කතාවෙහි අසඩක් ගැන කියන නීති බින්දොa එය රැකීමට යන වැකිය මෙහි දී මතක් වෙයි. බටහිර නීතිය සකස් වී ඇති ආකාරයට ඇතැම් විට නීතිය රැකිය හැක්‌කේ එය බිඳීමෙනි. සාධාරණය ඉටුකිරීමට ඇතැම් විට නීති කැඩීමට සිදුවෙයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සාධාරණය යනු කුමක් ද යන්න ය. ඒ ඒ සමාජයේ ඒ ඒ සංස්‌කෘතියේ සාධාරණය යනු එක ම නොවන බව පැහැදිලි ය. වාස්‌තවික වූ සාධාරණත්වයක් ලෝකයේ නැත. සාධාරණත්වය සංස්‌කෘතියට සාපේක්‍ෂ ය. නීතිය යන්න තීරණය වන්නේ යම් රටක පවත්නා දේශපාලන බල තුලනය මතය. අදාළ රටේ දේශපාලන බල තුලනය රැකීමට නීතිය සකස් වෙයි. නීති සකස් කරනුයේ බටහිර රටවල නම් රජුන් හා දේශපාලනඥයන් හා පූජකවරුන් විසිනි. අද පූජකවරුන් ඒ කාර්යයෙහි දී සෘජුව මැදිහත් නොවන බවක් පෙනී යන නමුදු ඒ එසේ නො වේ. නීතිය සංස්‌කෘතිය සමඟ බැඳී ඇත. සංස්‌කෘතිය ආගම් සමඟ බැඳී ඇත. බටහිර රටවල අද බලපාන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය ය. එය කතෝලික සංස්‌කෘතියට පටහැනි ය. කතෝලික ආගම හා සංස්‌කෘතිය බලවත් වූ කාලයෙහි බටහිර ලෝකයෙහි බල පෑ විවාහ නීතිය අද එහි බලපාන විවාහ නීතිය සමඟ සංසන්දනය කිරීමෙන් වුව ද නීතිය, සංස්‌කෘතිය හා දේශපාලනය අතර ඇති සම්බන්ධය තේරුම් ගත හැකිය.
මෙරට නීතිය, සංස්‌කෘතිය. දේශපාලනය, අධ්‍යාපනය, විද්‍යාව ආදී සෑම ක්‍ෂේත්‍රයක ම බලපාන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය ය. අද සිංහල බෞද්ධයන් ද ක්‍රමයෙන් යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි කි¹ බසින්නේ එහි ආධිපත්‍යය යටතේ ය. විද්‍යාලංකාරය ඊනියා කැලණිය විශ්වවිද්‍යාලය බවට පත් වී දැනුම නිර්මාණයට සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ මැදිහත්වීමට එරෙහි වන්නේ ද යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතික ආධිපත්‍යයට යටවීම ඔස්‌සේය. එසේ වුවත් බොහෝ සිංහලයන්ට, බෞද්ධයන්ට මෙන්ම කතෝලිකයන්ට ද, තම මුතුන්මිත්තන්ගෙන් උරුම වූ සංස්‌කෘතියක් ඇත. අද සිංහලයන් බොහෝ විට පරස්‌පර ක්‍රියාවල යෙදෙන්නේ තම මුතුන් මිත්තන්ගෙන් උරුම වූ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි මෙන් ම බටහිර ක්‍රිස්‌තියානි යටත් විජිතවාදය ඔස්‌සේ තමන් මත පටවා ඇති යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ද ජීවත්වීමට උත්සාහ කිරීම හේතුකොට ගෙන ය. මෙය අසහනයකි. බටහිර සංකල්ප අනුව ම සිතන අයකුට අවශ්‍ය නම් එයට සංස්‌කෘතික ආතතියක් යෑයි කිව හැකි ය. බෞද්ධයනට නම් එය තවත් දුකක් පමණකි. මර්වින් සිල්වා මහතා ද දේශපාලනඥයකු ලෙස යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ජීවත්වන අතර තමන්ට උරුම වූ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ද ජීවත්වෙයි. එතුමා කෝවිලට ගොස් බිලි දීමට ගෙනා සතුන් මුදාහැරියේ සිංහල බෞද්ධයකු ලෙස ය. එසේ කිරීමේ දී එතුමා නීතිය අතට ගන්නේ නම් එසේ කරන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ක්‍රියාත්මක වන දේශපාලනඥයකු ලෙස ය. එහෙත් සිංහල බෞද්ධ සංස්‌කෘතිකාංගයක් රැක ගැනීමට ය. බටහිර රටවල දේශපාලනඥයන් නීතිය අතට නොගන්නේ යෑයි නොසිතිය යුතුය. එහෙත් සංස්‌කෘතිකව ඔවුන්ට නීතිය අතට ගැනීමට සිදු නොවෙන්නේ ඔවුන්ගේ රටවල නීතිය හා සංස්‌කෘතිය දෙකම එකට බැඳී ඇති බැවිනි.
මර්වින් සිල්වා මහතාගේ පුණ්‍ය ක්‍රියාවට පඬියන් විරුද්ධවීමට ඉඩ ඇත. පඬියෝ වනාහි තමන් යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මුල් ඇද ගෙන ඇතැයි සිතති. ඔවුන්ට ප්‍රශ්නය වන්නේ මර්වින් සිල්වා මහතා හින්දු සංස්‌කෘතියට අවශ්‍ය ආකාරයට සතුන් බිලි දීමට ඉඩ නොදීමෙන් සිංහල බෞද්ධ සංස්‌කෘතික ආධිපත්‍යය හින්දුන් මත පටවා ඇත්තේ ද යන්න ය. ඔවුන් ඒ ප්‍රශ්නයට ඔව් යෑයි පිළිතුරු දී සිංහල බෞද්ධ සංස්‌කෘතියට එරෙහිව තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇත. අවුරුදු දහයේ දොළහේ ළමුන් පැවිදි කිරීමෙන් ඒ ළමුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි මේ පඬියෝ පවසති. එහෙත් මේ පඬියෝ ද බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා ද එස්. බී. දිසානායක ඇමැතිතුමා ද රජය ද මෙරට සිංහල බෞද්ධ දරුවනට බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි අධ්‍යාපනය බලහත්කාරයෙන් දීමෙන් (අනිවාර්ය කිරීමෙන්) ඒ දරුවන්ගේ මානව අයිතිවාසිකම් කඩවීම ගැන අබමල් රේණුවකවත් අවධානයක් යොමු නො කරති. මෙරට පාසල් හා විශ්වවිද්‍යාල තරම් සිංහල බෞද්ධ දරුවන්ගේ මානව අයිතිවාසිකම් කඩන ආයතන තවත් නැත.
හින්දු සංස්‌කෘතියෙහි සතුන් බිලි දීම කළයුතු දෙයක් නම් හින්දුන්ට එසේ කිරීමට ඉඩ දිය යුතු ද? ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මත්පැන් පිළිගැනෙන්නේ නම් මතට තිත යන්න ක්‍රිස්‌තියානියට විරුද්ධව කෙරෙන මෙහෙයුමක් ද? මත්පැන් තහනම් කිරීම ක්‍රිස්‌තියානීන්ගේ මානව අයිතිවාසිකම් පැහැර ගැනීමක් ද? අප නැවතත් පෙර රජ දවස මෙන් මාඝාතය පැනවුවහොත් එය මුස්‌ලිමුන්ගේ හා ක්‍රිස්‌තියානීන්ගේ මානව අයිතිවාසිකම් පැහැර ගැනීමක් වන්නේ ද? අප පන්සිල් රකින සමාජයක් ඇතිකර ගන්නේ කෙසේ ද? ඊනියා මානව අයිතිවාසිකම් යන්න ම ක්‍රිස්‌තියානි සංකල්පයක් වන අතර එය මෙරට දී මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්‌කෘතියට එරෙහිව ක්‍රියාත්මක වෙයි. ඊනියා මානව අයිතිවාසිකම් රැකෙන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට අවශ්‍ය ආකාරයට බව බොහෝ දෙනාට නොතේරෙන්නේ අපට බලහත්කාරයෙන් ලබා දෙන කසිකබල් පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හේතුකොටගෙනය.
මානව අයිතිවාසිකම්කාරයෝ රජය හා ජනතාව යනුවෙන් කොටස් දෙකක් හඳුනාගෙන රජයට එරෙහිව මානව අයිතිවාසිකම් යන සංකල්පය වර්ධනය කරති. මොවුන්ට සත්ව අයිතිවාසිකම් යනුවෙන් සංකල්පයක් නැත්තේ ඇයි? එයට ප්‍රධාන හේතුව යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි (තිරිසන්) සතුන් මවා ඇත්තේ මිනිසා වෙනුවෙන් බැවිනි. මෑතක් වන තුරුම යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි බටහිර ජීව විද්‍යාඥයන්ට අනුව තිරිසන් සතුන්ට මනස් නොතිබිණි. දැන් බටහිර ජීව විද්‍යාඥයන්ගෙන් ඉතා සුළුතර පිරිසක් සතුන්ට මනස් ඇති බව පිළිගනිති. මනස් නැති සතුන්ට, මිනිසා වෙනුවෙන් මවා ඇති සතුන්ට, මොන සත්ව අයිතිවාසිකම් ද? එහෙත් සංසාරයෙහි සැරිසරන බෞද්ධයනට, තමන් සතුන් ලෙස ඉපදීමට ඉඩ කඩ ඇති බව දන්නා බෞද්ධයනට, තමන්ගේ මිය පෙරලොව ගිය ඥතීන් තිරිසන් සතුන් ලෙස ඉපදීමට හැකි යෑයි සිතන බෞද්ධයනට සතුන් මැරීම පාපකර්මයකි. සතුන් මැරීමට අනුබල දීමෙන්, මස් කෑමට වෙළෙඳ දැන්වීම් ඇතුළු විවිධ මාර්ගවලින් හුරු කිරීමෙන් සිංහල බෞද්ධයන් ගේ මානව අයිතිවාසිකම් කඩ වන්aනේද? මෙරට පාසල්වල හා විශ්වවිද්‍යාලවල බටහිර සත්වවිද්‍යාව ඉගැන්වීම සඳහා බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලවා සතුන් මැරවීමෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් හෝ පුණ්‍ය අයිතිවාසිකම් හෝ කඩ කෙරෙන්නේ ද? මේ සිසුන් ලවා බලහත්කාරයෙන් පව් කරවන්නෝ කවරහු ද? පඬියෝ පිළිතුරු දෙත්වා. අංගුලිමාල සම්බන්ධයෙන් තරම් ප්‍රශ්නය බරපතළ නොවුණ ද, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, සනාතන සභා, පීඨ මණ්‌ඩල ආදිය යම් ප්‍රමාණයකට හෝ වගකිවයුතු යෑයි සිතමි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ මෙරට බෞද්ධ රටක් බවට පත්කිරීමට යුදෙව් ක්‍රිsස්‌තියානි සංස්‌කෘතිය බාධා කරන ආකාරය ය. මර්වින් සිල්වා ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් තම සහෝදර ඇමැතිතුමන්ලාගේ අවධානය යොමුකරන්නේ නම් ඒ මහතාට තව තවත් පින් අත්වනු ඇත.

Posted on September 18, 2011