රජයේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, යෝජිත තෙ සති නායකත්ව පුහුණුව, තෝරා ගත් යුද හමුදා කඳවුරු 28 ක් තුළදී, කලින් සැලසුම් කරන ලද පරිදි ක්‍රියාත්මක වන බවත්, ඒ ගත් තීරණයේ වෙනසක් නොමැති බවත් මේ වන විට අනාවරණය වී ඇත..
මේ සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ද ඒ තුළින් අනම්‍ය වූ කතිකාවතක්ද සමාජගත වී තිබේ..”අනම්‍ය” යැයි කියන්නේ ඒ කතිකාවතෙහිදී වඩාත් දෘෂ්ඨි වාදී වූ බොහෝ දෙනා තම,තමන් එල්බ සිටින මතය සියයට සීයක් සුසාධිත නිරවද්‍ය යැයි සිතාගෙන සිටීම නිසාය…සුපුරුදු පරිදි දේශයෙහි ආරක්ෂාව යම් කිසි ස්වරූපයකින් හෝ තරවීම පිළිබඳව සාංකාවක් ඇති කරගෙන සිටින ලෝකාධිපතීන්ගේ නව-ලිබරල් බත් බැලයන් හඬා වැළපීම පිළිබඳව අප එතරම් අවධානයක් යොමු කළ යුතු නැත..මක් නිසාද, මේ හමුදා නායකත්ව පුහුණුවෙන් තොරව ව්‍යාප්තවන ශිෂ්‍ය සංස්කෘතියක් තුළත් නවක වදයෙන් හෝ විශ්ව විද්‍යාල තුළට රිංඟා ගෙන සිටින පක්ෂ දේශපාලනයේ සර්පයන් දෂ්ඨ කිරීමෙන් හෝ සිසුවෙකු, දෙදෙනෙකු මිය ගියහොත් ඒ මළ සිරුරු මත කඳුළු වගුරා, කෙස් පැලෙන සමාජ තර්ක රූපවාහිනියේ දිග හැර බඩ වඩා ගන්නේද ඔවුන්ම බැවිනි…තවත් අතකින් කියතොත්, උක්ත නව-ලිබරල් බත් බැලයන්ගේ ස්වාමීත්වය, සූරා කෑමේ ඉලක්කයන් වී තිබෙන කුඩා පීඩිත රාජ්‍යයන් තමන්ට සිත්සේ සූරා කෑම අසීරු වන පරිදි සන්නද්ධ වෙනවා දකින්නට අකමැතිය…
මීට අමතරව, තමන් සෑම මොහොතකම කළ යුතු දේ, සහ තම පක්ෂයේ සමාජ වගකීම සහමුලින්ම පැහැර හැර, තම පක්ෂයේ සවිමත් කොඳු සහිත අතීත ජේෂ්ඨයන්ගේ අරගලයන් සියල්ල පාවා දුන්, අවම තරමේ වැරදුණායින් පසුව වත් තම මුල් කරා ගමනේ යා නොහැකි අසාර්ථක නායකත්වයක් සහිත ජනතා විමුක්ති පෙරමුණද, මෙකී වැඩ පිළිවෙතට විරුද්ධ වී සිටින බව පෙනේ..එයද අරුමයක් නොවේ…ජවිපෙ තමන්ගේ දේශපාලන ආකෘතියට උරුම ක්‍රියාකාරී සංදර්භයෙන් අංශක 180ක් පිට පැන, තම පක්ෂය සතුව එතෙක් පැවති සියළු නිර්මාණශීලී සහ ප්‍රගතිශීලී ශක්තීන් අහිමි කරගත් පක්ෂයකි…උදාහරණයක් කියතොත්, මාක්ස්වාදීන්ට දර්ශණයෙන් සහ ඒ ඔස්සේ ගොඩ නැඟෙන චෛතසිකයන්ගෙන් නිරායාසයෙන්ම ලැබෙන දායාදයකි කවීත්වය…නමුත්, ඇසට කඳුළු නැංවිය හැකි තරමේ උසස් කවීත්වයක් අප පෙරදින දුටු ජනතා විමුක්ති පෙරමුණ අද කවි පද පේළි හතරක් ගැට ගසා ගන්නට අසීරු වූවන් ගෙන් පිරී පවතින්නේ එහි අභ්‍යන්තරයෙහි සිදුව ඇති බුද්ධිමය නාය යෑම නිසාවෙනි..මෙහි අනුභූතියක් ලෙස අද ජවිපෙට සිය පණ නළ රැක ගන්නට විශ්ව විද්යාල තුළ ඔවුන් නිමවා ඇති “ෆැසිස්ට් රෙකෲට්මන්ට්” ආකෘතියේ එල්ලී සිටින්නට සිදුව ඇත..ඒ පක්ෂ එසේ වූවායි කියා, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දිගු කාළීන ආරක්ෂක සැලසුම් බිලිදිය යුතු නැත..රටේ බලවත් වමේ ව්‍යාපාරයක් පැවතිය යුතු වුණත්, ජවිපෙ යම් දිනක තම නිර්මාණශීලිත්වය සොයාගෙන, එයින් ජනතාව අමතනවා විනා, තෘතියික අධ්‍යාපනය තම පැවැත්ම සඳහා වනසමින් සිටිනවා නම් එයට එරෙහිවත් අනිවාර්යෙන්ම බලධාරීන් පියවරක් ගත යුතුය…
නමුත් හමුදා කඳවුරු වලට යවන තම දරුවන්ගේ ඉරණම කුමක් වේ දෝ හෝයි කියමින් කුකුසක් මතු කරගෙන සිටින දෙමාපියන්, උක්ථ කතිකාවතෙහි දැඩි මතයක් වුවද දැරීමෙහි සාධාරණ අයිතිවාසිකම් සහිත පාර්ශ්වයකි..පුහුණුවට යන්නේ ඔවුන්ගේ දරුවන්ය…ඒ දරුවන්ට කුමක් වේදැයි භීතියක් ඔවුන්ට තිබෙනවා විය යුතුය..මේ ගැන සමාජය තුළ වඩාත් ඵලදායී කතිකාවතක් ඇති කර යුතු වන්නේ එනිසාය…මාතෘ දේශය සූරා ගන්නට බලා සිටින ලෝක ධනපතියන්ගේ කොම්ප්‍රදෝරුවන්ද, ඒ පල් වලම ඉහගෙන කෑම එකම යැපුම කරගත් දේශපාලන පක්ෂද, මේ දෙමව්පියන් බිය වැද්දීමේ අස්ථාන වෑයමක නිරතව සිටිති…
සුප්‍රකට “ජේන්ස් ඩිෆෙන්ස් මැගසින්” ( Jane`s Defence Magazine) එකට අනුව ශ්‍රී ලංකාව තුල වසරකට යුද සේවය සඳහා සුදුසු කම් ලබන වයස අවුරුදු 18-45 අතර පරාසයට ඇතුළු වන්නන්ගේ සංඛ්‍යාව 2010 කරන ලද ඇස්තමේන්තු වලට අනුව පිරිමි 167,026 කුත්, ගැහැණු 162,587 කුත් වෙයි..එනම් වසරකට තුන් ලක්ෂ විසි දහස ඉක්මවා යන නව යෞවන, යෞවනියන් පිරිසක් වයස 18 කඩ ඉම පනිති..උක්ථ, විශ්ව විද්‍යාල සිසු,සිසුවියන්ද දළ වශයෙන් වයස 19-20 වැනි වයස් පරාසයන්ට අයත් වන නිසා මේ නව ශක්තිය කැටි කරගත්, හොඳ ධාරණ ශක්තියක් සහිත, ස්මෘති ශක්තියක් සහිත, බුද්ධිය පුපුරා යන ඉතාම වටිනා ශක්ති කායට එක්වන්නෝ වෙති…මෙයින් 22,000 ක් ( අප නම් යෝජනා කරන්නේ රජයේ විශ්ව විද්‍යාල ගණන, පීඨ ගණන වැඩි කොට අවම වශයෙන් වසරකට 40,000 ක් වත් සරසවි වරම් ලබන ක්‍රමයක් මුලින් ඇති කළ යුතු බවයි…එය වෙනම සාකච්ඡාවට බඳුන් විය යුතුය…), එනම් අතිශය තරඟකාරී වූ විභාග කඩ ඉම් පසු කොට, රජයේ සරසවි වරම් ලැබූ බුද්ධිමතුන්ගේ බළ ඇණිය මෙලෙස සැලසුම් සහගතව හමුදාවන් සමඟ මුහුවීම ඉතාම හොඳ ලකුණකි…
නමුත් මේ වැඩපිළිවෙල ප්‍රමාණවත්ද?
ඇරඹුමක් ලෙසට මෙය කදිමය…නමුත් අප යෝජනා කරන්නේ මීට වඩා බෙහෙවින් දීර්ඝ කාලීන වූ මුහුකුරා ගිය වැඩ පිළිවෙලකි…අප විශ්වාස කරන අන්දමට මේ පුහුණුවේ අරමුණ, හුදෙක්ම නවක වදය නම් දුර්දාන්ත චාරිත්‍රයට නැවතීමේ තිත තැබීම, හෝ විශ්ව විද්යාල තුළ ලැඟුම් ගෙන සිටින යම් දේශපාලන ප්‍රවාහයන් මුළිනුපුටා දැමීම පමණක්ම නොවිය යුතුය…මෙවැනි දේක අරමුණු ඊට වඩා බොහෝ දුර ගිය, පුළුල් ජාතික ආරක්ෂණ සැලසුමක් මත නතරව තිබිය යුතුය…ඒ අනුව අවම වශයෙන් වසරක පමණ කාළයක් ත්‍රිවිධ හමුදාවේ යම් කොට්ඨාශයකට “ආධුනිකත්වයෙන්” අනුයුක්ත කර තැබීම අප රජයට යෝජනා කර සිටිමු..මක්නිසාද සති තුනක කාළය, ඉතාම කෙටි බැවින්, එවැනි කාල සීමාවක් තුළ දිය හැකි පුහුණුවෙහි මුහුණුවරද, “ජාතික ආරක්ෂාව” නම් සංකල්පය ඔස්සේ සිතන විට එතරම් ඵලදායී නොවනු ඇත…
අප, බිත්තියට පිටුපා සිටින ජාතියකි…ලොව අප වැනි ජාතීන් බොහෝ ඇත…ගලවා ගන්නට ආධාර ගලා එන “ලෝකය” නොමැති, විශාල භෞමිකයන් හෝ දැවැන්ත ශ්‍රම බළකායන් නොමැති, අතිශය බලසම්පන්න වූ යෝධ රාජ්‍යයන්ගේ සෙවණැල්ලේ සිටින, එකී රාජ්‍යයන්ගෙන් නිරතුරුවම කෙණහිළි කම් ලබන දේශයන් අතරට අපත් එක් වන්නෙමු…එවැනි රාජ්‍යයක පැවැත්ම තහවුරු කරන ස්ථීර සාධකය වන්නේ ඒ රාජ්‍යයේ සන්නද්ධ හමුදාවන්ය…අප එකී සාධකයන්ට අමතරව ජාතියක් ලෙස බොහෝ සතුරන් විසින් අවරෝධණය කරනු ලදුව සිටින්නෙමු…සහායක සාධක සහ සැපයුම් මාර්ග අතින් ආකෘතිකමය වශයෙන් බරපතළ වෙනස් කම්, ඇතත් ඊශ්‍රායලය සහ තායිවානය, අපට ඉතාම සමීප දේශපාලනික සහ සාමාජීය තත්වයන්ට මුහුණ දී සිටින රාජ්‍යයන්ය..ඒවායේ සිටින, සතුරන්ට සාපේක්ෂව සුළුතර වූ ජන ගහණයන් සමඟ, අභියෝගයන්ට මුහුණ දීම සඳහා සැළකිය යුතු යුද සූදානමක ජන පදනම පිහිටුවීමේ අවශ්‍යතාවය, ඒ,ඒ රාජ්‍යයන් මනාව අවබෝධ කරගෙන ඇත…
උක්ථ රාජ්‍යයන් ද්විත්වය දෙස බැලීම අපට “වත්මනට” මැනවින් යාවත්කාලීන වූ ආකෘතීන් සපයනු ලබන අතර, කියුබාව අපට “බලවත් සතුරන්ගේ කුමන්ත්‍රණ” හමුවේ ජාතික ආරක්ෂාව තර කොටගෙන රැකෙන ආකාරය පිළිබඳව කදිම නිදසුනක් ලෙස භාවිතා කළ හැකි රාජ්‍යයකි..
එවැනි රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තුල, තම පැවැත්ම, තම දරුවන්ගේ අනාගත පැවැත්ම සහ අභිවෘද්ධිය ගැන ජනතාව සිතනවා නම්, සම්පත් සූරා කෑමෙන් හා ලෝක ධනපති පංතිය අණ දෙන දේශයන්ගේ රාජ්‍ය තන්ත්‍රයන්, තම තඩි බඩ ගෙඩි පුරවා ගන්නට වුවමනා වූ විට මුදාහරින නිර්වස්ත්‍ර ආක්‍රමණයන්ගෙන් තම දරු පරපුර රැක ගැනීම සම්බන්ධයෙන් සැබෑ අපේක්ෂාවක්, වුවමනාවක් තිබෙනවා නම් ජනතාව පවුල් ඒකක වශයෙන්, තම, තම පමණින් ඒ වගකීම කරට ගැනීමට සූදානම් විය යුතුමය…හැමවිටම “අනුන්ගේ දරුවන්, හෝ නැතිබැරි දරුවන් පෙරට ගොස් තම දරුවාගේ අනාගතය සුරක්ෂිත කර දෙනු ඇත” යන්න සිතාගෙන, තම දරුවන් නිවෙස් රැකවරණය තුළ සඟවා ගෙන සිටීම, ඉහත කී ආර්ථික, භෞමික, සාමාජීය හා දේශපාලන සාධකයන්ට මුහුණ දී සිටින රටවල ජනතාවට කළ නොහැකි, කළ නොයුතු දෙයකි…පීඩිත කුඩා දේශයන්ගේ ආරක්ෂාවට, ජනතාව අනිවාර්යෙන්ම සෘජු කැප කිරීමක් කළ යුතුමය…එවැනි දේට තර්කයක් නැත…නො එසේ නම් දණ ගසා හිඳීමෙන් හෝ පසඟ පිහිටුවා වැඳ ගෙන සිටීමෙන් හෝ සැනසිය යුතුය…ස්වෛරී ව සිටිය යුතු නම්, සූරා කෑමෙන්, ගෝලීය හෝ කලාපීය දැවැන්තයන්ගේ කෑදර අවස්ථාවාදයෙන් මුක්තවී සිටිය යුතු නම් ජනතාවට “කාගේ හෝ දරුවන්ගේ” කරට වගකීම දී සැනසිය නොහැක…(චීනය හෝ ඉන්දියාව වැනි රටවලට මේ ගැටළුව නැත..මක්නිසාද ඔවුන්ගේ හමුදා සේවයට කැමැත්තෙන්, “ඔවුන්ගේ මානයන්ට” අනුව “අතළොස්සක්” එක්වුවත්, ඒ “අතළොස්ස” ඉතාම බලසම්පන්න යුද යාන්ත්‍රණයක් ගොඩ නැඟීමට ප්‍රමාණවත්ය)..
ජනතාව සහ රජය ඉසිලිය යුතු ආරක්ෂාව
නව-ලිබරල්වාදී ධනේශ්වර චින්තනය විසින්, සමාජයන්, “සාමුහිකත්වය” හෙවත් “එකට හිතීම, එකට වැඩ කිරීම, සහ එක අරමුණක් වෙනුවෙන් පෙරට යෑම” යන ප්‍රගතිශීලි අක්ෂයෙන් ලිහා දමා, “ඒක පුද්ගල වාදයක්” උළුප්පා, සාමාජීය යහපත තෝරා ගනු වෙනුවට, ඒ උදෙසා කැප වෙනු වෙනුවට, “මම කරන්නට කැමති දේ, මම කරන්නට අකමැති දේ, මට කරන්න උවමනා දේ සහ මට කරන්නට උවමනා නැති දේ” යනුවෙන් සියුම්, සංකීර්ණ, විසිරුණු කොටස් වලට සමාජ සංස්ථාව කඩා දමා තිබේ..
කාල් මාක්ස් සිය “කොමියුනිස්ට් ප්‍රකාශයේ” ( Communist Manifesto) ඉතාම නිවැරදිව සඳහන් කල අන්දමට “බුෂුවා පන්තිය” (Bourgeoisie) මෙලොව බොහෝ මානව සබඳතා, සාමූහිකත්වය සහ සාමූහිකව අඳිනු ලබන චිත්‍රය විනාශ කොට ඇත…ලිහා දමා ඇත…පවුල් ඒකකය පවා විසුරුවා හැර, පවුලේ සාමාජිකයන්ට ඔවුනොවුන් නැති කොට ඇත..එසේ කර ඇත්තේ “පුද්ගලිකත්වය” ඉස්මතු වන, “මම වාදය” ( Selfology of Modern Management ) ඉස්මතු වන රටාවක, ධනේශ්වර අධිරාජ්‍යවාදීන්ට උවමනා “විකුණා ගැනීම සහ සූරා ගැනීම” වඩාත් සාර්ථකව, ප්‍රතිරෝධයකින් තොරව කරගත හැකි නිසාය…ධනේශ්වර ක්‍රමය තුළ බිහිවන්නේ අඳුරු වනයක ගොදුරු සොයන වෘක ප්‍රජාවකි…ඒ වෘකයන්ගෙන් වඩාත්ම සවිමත් වුන් ජය ගන්නා අතර සෙස්සෝ ගොදුරු දඩ කොට අවසානයේ උනුන්ටම ගොදුරු වෙති…කුඩා දේශයන් රැක ගැනීම මේ ධනපති මොඩලය යටතේ ඉතාම දුෂ්කර වී ඇත්තේද එසේ හෙයිනි…ප්‍රජාවන් ශක්තිමත් වනවිටම, සාමූහික ආරක්ෂාව සම්බන්ධයෙන් යම් පියවරක් එසෙවෙන විටම මේ පවතින ක්‍රමයේ පල් වල ඉහගෙන කන්නවුන් අඳෝනා නඟන්නේද එබැවිනි..
කාන්තා දායකත්වය
අපගේ ආරක්ෂක හමුදාවන්ගේ වෘත්තිකයන්ගෙන් අති බහුතරය, ඉතාම විනය ගරුක බව, ලෝක “බුෂුවා” පැලැන්ති ආරක්ෂකයන් වන හමුදාවන්ගේ ක්‍රියා කළාපයන් සමඟ සසඳා බැලීමේදී පැහැදිලි වන කරුණකි…එනිසා ගැහැණු දරුවන්ගේ හමුදා කඳවුරු පුහුණු පාඨමාලාවට සහාභාගීත්වය පිළිබඳව, අනවරත බියක් ඇති කර ගත යුතු නැතැයි පුද්ගලිකව විශ්වාස කරමි…අපගේ ඒ විශ්වාසයන් රැකෙන පරිදි කටයුතු කිරීමට සියළු විධි විධාන යෙදීම රජයේත්, ත්‍රිවිධ හමුදාවන්ගේත් වගකීමය…අපි ජනතාවක් ලෙස, මෙතෙක් කල් ගෘහස්ථ රැකවරිතව දිවි ගෙවූ අපේ සොයුරියන් හමුදාවට බාර දෙන්නේ ඒ බරපතළ වගකීමද ඇතිවය…හමුදාවල සාමාන්‍ය සෙබළාගේ පටන්, ලුතිනන් ජෙනරාල් වරයා දක්වා සෑම නිලයකම ඇත්තන් ඒ විශ්වාසය දිවි හිමියෙන් රැක දිය යුතුය…මේ අත්හදා බැලීම කරන පළමු වතාවේදීම යම් අවලක්ෂණ සිද්ධියක් වුවහොත්, ජනතා ප්‍රතිරෝධය, මා මුල්ම ඡේදයේ සඳහන් කළ “පල් වල ඉසින්නන්ට” කදිම උත්තේජකයක් වනවා පමණක් නොව, මේ වටිනා වැඩ පිළිවෙල තිඹිරි ගෙයිම මිය ඇදෙනු ඇත…මින් ඉදිරියටත් මෙවැනි වැඩ පිළිවෙල වල් ඇරඹීම කෙරෙහි බිය උපදවන භීතිකාවක් සමාජ ගතවනු ඇති අතර, දේශ ද්‍රෝහීන්ට, ජනතා ද්‍රෝහීන්ට රස කර,කර, පෙර,පෙරා ප්‍රසිද්ධියේ අපේ හමුදා සෙබළ සගයන්ට මඩ ගසන්නට රසවත් උදාහරණයක් ඉතිරි වනු ඇත…ඒ නිසා මේ ක්‍රමය මුල් බැස ගන්නා තුරුත්, ඉන් පසුවත් විනය අකුරට රැකීම සිදු විය යුතුමය…
ඒ විනය ඒ අයුරින්ම රැකෙයි නම්, මේ ක්‍රමය ඉතාම වාසි සහගත බව දේශය පැත්තෙන් බැලූ විට පෙනී යන කරුණකි..අපේ කාන්තාව ශ්‍රම බළකායෙන් බහුතරය ලෙස, ආර්ථිකය උසුලාගෙන සිටින යෝධ බළ කුළුණයි…එහෙත් ආරක්ෂක ක්ෂේත්‍රයන්හි ඇගේ නියැලීම බෙහෙවින්ම පහළ මට්ටමක පවතී…ප්‍රගතිශීලී රාජ්‍යයක් කරා යන ගමනට එය බලවත් බාධාවකි..අපේ දියණියන්, අපේ සොයුරියන් ඔවුන් සීමා කොට ඇති “පිටි කොටපන් නෝනේ” සමාජ රාමුවෙන් එළියට ඇද දැමිය යුතුය…අනාගත ලෝකය උරුම විය යුත්තේ යකඩ අත් ඇත්තියන්ටය…වානේ පන්නරය ලැබූ දියණියන්ටය…
දැනට අප දන්නා පරිදි, ආරක්ෂක සේවාවන්ගේ ශ්‍රී ලාංකික කාන්තා දායකත්වය, ප්‍රතිශතයෙන් 7%-11% අතර පවතී…මෙය එතරම් ප්‍රගතිශීලි ලක්ෂණයක් නොවේ…රාජ්‍ය ආරක්ෂාව පිරිමින්ට පමණක් පවරා සිටීම එක පැත්තකින් කුඩා රාජ්‍යයකට දැරිය නොහැකි තත්වයකි…අනෙක් පැත්තෙන්, ජාතික ආරක්ෂාව කෙරෙහි බහුතරයක් කාන්තාවන්ගේ ඇති “අපෞර්ෂිත” ස්වභාවයක් මෙමඟින් නිරූපණය වේ…එය ගර්හිත වික්ටෝරියානු මත කර පින්නාගෙන සිටින සමාජය විසින් නිර්මාණය කර දුන් තත්වයක් විය හැකි වුවද, දැන් එයින් මිදෙන්නට කාළයයි…
ඒ මිදීම කරගෙන, ජාතික ආරක්ෂක යාන්ත්‍රණයට අපේ දියණියන් ඇද ගන්නට කදිම අවස්ථාවක් මේ ඇරඹුමෙහි අන්තර්ගතව ඇත..මෙමඟින් කාන්තාවන්ගේ දායකත්වය විශ්ව විද්‍යාලයට තේරුණු ශිෂ්‍ය ප්‍රජාවගෙන් 49%-51% අතර ඉහළ මට්ටමක් පවතින බැවින්, ඉතාම පුළුල්ව ජාතික ආරක්ෂාවේ වගකීම කාන්තාවන්ගේත් උරහිස් මත තැබීම ඇරඹිය හැක…එමෙන්ම මේ පුහුණුවෙන් තරුණියන්ගේ ආත්ම විශ්වාසය ඉහළ දමා, ආත්මාරක්ෂාව පුහුණු කොට, අනාගත සමාජයේ, මහ මඟ, රථ වාහන තුළ, රැකියා ස්ථාන තුල, හෝ ගෘහස්ථ පරිසරයේ ඔවුන් මුහුණ දෙන හිංසනයන්ට, අතවරයන්ට එරෙහිව , ලිංගික සහ ශ්‍රම සූරා කෑමට එරෙහිව සෘජු, දර දඬු හඩක් නඟන, යකඩ කාන්තා පරපුරක් බිහි කළ හැක..එසේ බිහි කිරීම රටට අත්‍යාවශ්‍ය වේ…
එහෙත් නැවතත් කියමු…මේ පළමු අත්හදා බැලීම කුරුවල් නොවන ආකාරයට, වගකිව යුත්තන්ගේ විනය අකුරට රැකෙනු ඇතැයි ජනතාවක් ලෙස අපි ඉතාම දැඩිව අපේක්ෂා කරමු….මේ වගකීමේ බරපතළකම ත්‍රිවිධ හමුදාවන් හොඳින් අවබෝධ කරගෙන සිටිනවාට සැක නැත…
සුළු ජන වාර්ගික දායකත්වය
රටේ ආරක්ෂාවට, රට තුළ ජීවත් වන සෑම ජන වර්ගයකම සහාය සහ දායකත්වය ලැබිය යුතුමය…පීඩිත කුඩා රාජ්‍යයන් වල, ආරක්ෂාව සහ පැවැත්ම “අහවල් එකාගේය” කියා අතබාගෙන සිටින්නට, කිසිදු ජන කොටසකට අවකාශ නැත…එනිසා දමිළ සහ මුස්ලිම් ප්‍රජාවන්ද, ජාතික ආරක්ෂක වගකීම කරට ගන්නට පෙරට ගත යුතුය….සරසවි වරම් ලද අය ගෙන්, සැළකිය යුතු කොටසක් උතුරු, නැගෙනහිර, මධ්‍ය කඳුකරයේ හා දිවයිනේ සෙසු පළාත් වල වෙසෙන දමිළ,මුස්ලිම් සිසු දරු,දැරියන්ය…ඒ දරු,දැරියන්ට “මේ සිංහල හමුදාව, සිංහල හමුදාව” යන හැඳින්වීම පසෙකට කරවා, “මේ අපේ හමුදාව, ලංකාවේ හමුදාව” ලෙස හඳුන්වා දීම සිදු කළ යුතුය…ඔවුන් පශ්චාත් යුද සමයේ හමුදාවන්ගෙන් දුරස්ව සිටින්නෝ නම්, ඔවුන් තමන්ගේ කමක් සහිත තමන්ගේත් ( සිංහලයාගේ පමණක් නොවේ …) ආරක්ෂක හමුදාවන්ට හඳුන්වා දිය යුතුය…පීඩිත රාජ්‍යයන් ශක්තිමත් වන්නේ එවිටය…ඒ සඳහා සුළු ජන කොටස් අතරත් සිටින “බුද්ධි ප්‍රජාව” තුළින් ඇරඹුමක් ඇති කිරීමට මේ කදිම අවස්ථාවකි…දළ වශයෙන් 16%-20% අතරේ පවතින, සරසවි වරම් ලැබූවන් අතර සුළු ජන වාර්ගික දායකත්වය මේ අරමුණෙහි ඇරඹුමට මනාව උපයෝගී කර ගත හැක…
නමුත් එතැනත්, බලධාරීන්ටත්, රජයටත්, ත්‍රිවිධ හමුදා වල “සියළු” දෙනාටත් බරපතල වගකීමක් ඇත…ඒ එන සුළු ජන වාර්ගික සිසු දරු, දැරියන්ට හමුදා ඇසුරේ කිසිදු අඩන් තේට්ටමක් නොවන බවට, සෑම දෙනෙකුම වග බලා ගත යුතුය…එවැන්නක් සිදු වුවහොත් වන්නේ මා ඉහත කාන්තාවන් සහ විනය ඇසුරේ සඳහන් කළ දෙයමය…
ක්‍රමය
ලංකාවේ පවතින්නේ ධනපති රජයකි…ආර්ථික ක්‍රමය ධනේශ්වර නව-ලිබරල් වාදයටත් නැති, මාක්ස්වාදය හෝ එහි මූලාංකුර වූ සමාජ වාදයටත් නැති, අතරමං වූ කුරුවල් ආර්ථික ක්‍රමයකි…ඒ ක්‍රමයන් අප අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුමය…නමුත් අවම වශයෙන් එවැනි ධනපති රජයක් හෝ රටේ ආරක්ෂාවට යම් දායකත්වයක් ලැබෙන සාධනීය පියවරක්, කවර හෝ අරමුණකින් යුතුව ගෙන තිබීම ප්‍රීතියට කරුණකි…අප රජයටත්, ජනතාවටත් යෝජනා කරන්නේ දේශයේ ගේට්ටු සවිමත් කිරීම, පවුරු සවිමත් කිරීම සඳහා මේ සිම්පල් ඇරඹුමට බොහෝ එහා ගිය, දීර්ඝ කාලීන වැඩ පිළිවෙලකට සම්මාදම් වන ලෙසය..පටන් ගැන්මක් ලෙස මේ වැඩපිළිවෙල කදිම වන්නේ එය රටේ “බුද්ධි ප්‍රජාව” අතරේ ජනිත කරවා ඇති බැවිනි…යමක් හිතන්න, තේරුම් ගන්න පුළුවන් “මොළගෙඩි” අතරේ ජනිත කරවා ඇති බැවිනි….මේ නව අත්හදා බැලීම සාර්ථක කර ගැනීමට ප්‍රජාවගේ සහාය ලැබිය යුතුමය…

Posted on May 24, 2011