ගවුමේ මිණුම් හරියට ගන් අම්මණ්ඩියේ!

Posted on January 10, 2011



මිනිගවුම් ගැන තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුව කියා තිබුන ද පත් කළ කමිටුව විසිරුවා හැර නැති බැවින් ඒ ගැන ඉදිරියේ දී තීරණයක් ගනු ඇතැයි අපි අපේක්ෂා තබා ගෙන සිටිමු.

ආණ්ඩුවට බඩුමිලෙන් අපව බේරගන්නට අමාරු නිසා ගෑණුන්ගේ මායම්වලින් හෝ අපව බේරාගන්නට කරන මේ උත්සහය අප දකින්නේ සාධනීය ඉදිරි පියවරක් ලෙස ය. එහෙත් කමිටුවක් ද පත්ව ඇති මේ අවස්ථාවේ හරියට වැඩේ කරගැනීමට අපිදු මැදිහත්වීමක් කිරීමට සිතුවෙමු.

සමහරු නම් කියන්නේ දණ හිසෙන් උඩට තියෙන ප්‍රමාණය සීමා කිරීමෙන් ගවුමක ශිෂ්ඨභාවය තීරණය කළ හැකි බව ය. හැබැයි ඒකට කාලෝ ෆොන්සේකා වැනි විද්වතකුගේ ද ජැක්සන් ඇන්තනි වැනි සිනමාවේදියෙකුගේ ද රෝහණ වීරසිංහ වැනි සංගීතඥයෙකුගේ ද කාලය කා දැමීමේ තේරුමක් නැත. පත් කළ එකාටම අගල් ගාන නිශ්චය කොට නීතිය පනවන්නට ඉඩ තිබුණු නිසා ය.

අප හිතන විදිහට නම් මේ වැඩේ සංකීර්ණ ය. විවිධ ක්ෂෙත්‍රවල නිපුනයන්ගෙන් යුත් විද්වත් මණ්ඩලයක්ම පත් කර ඇත්තේ ඒක ය.

තදට ඇදුමක් ඇන්දොත් පෙනෙන ප්‍රමාණය නග්නව ඇදුමකට වඩා දරුණු විය හැකි ය. ඒ අනුව එයින් කුප්පනු ලබන තීව්‍රතාවය නග්නත්වයේ ප්‍රමාණයට ද වඩා වැඩි විය හැකි ය.

ඒ නිසා එවැනි දෑ නැවැත්වීමට කළ හැකි එක් දෙයක් නම් සිරුර දිගේ හරස් අතට මණිනු ලබන පළලත් ගවුමේ එතැනම මණිනු ලබන විට ලැබෙන පළලත් අතර පරතරයට ද සීමාවක් පැළදීමට ය. එහෙම වුනොත් ටිකක් වැඩිපුර මිනුම් ගන්නට වෙන බව ඇත්ත ය. හොද යමක් කෙ‍රෙනවා නම් ලෙහෙසියම බලා බැරි ය.

බුරිය ප්‍රදේශය, පසුපස පිට පෙදෙස හා ඉදිරිපස ලැම පෙදෙස නිරාවරණය කළ යුතුවන්නේ කවර ප්‍රමාණයට ද යන්න ද මෙහිදී කමිටුවේ විද්වතුන්ගේ අවධානයට ලක්වෙනු ඇතැයි අපේ විශ්වාසයයි. ලැම පෙදෙස ඉතාම සංකීර්ණ ප්‍රශ්න රැසක් මතු කරනු ඇතැයි අපට සි‍තේ. සමහර ඇදුම් ඉස්සරහින් බැලුවහම ඩීසන්ට් වගේ පෙනුනාට වදින්නට පහත් වන විට පදාසයක්ම දිග හැරී හංස විලක්ම පාහේ මතු කරන අවස්ථා අප දැක තිබේ. මේවාට කෙසේ තහංචි පැනවිය හැකි දැයි අපට නම් හිතා ගන්නට බැරි ය. ඇත්තටම විද්වතුන් පත් කර ඇත්තේ අපට බැරි මේ වැඩ කිරීමට විය හැකි ය.

මේ සංකීර්ණතා නිසාම ඒ සදහා උත්තර සොයනු පිණිස දැනට ඇගලුම් අලෙවිසල්වල ඇදුම් විවිධ වර්ගයේ කාන්තාවන්ට අන්දා බලා යම් අවම පර්යේෂණයක් කරන්නටද සිදුවෙනු නොඅනුමාන ය. විද්වත් මණ්ඩලය තමන්ගේ අනුමාන ඔස්සේ යන්නේ නැතිව මෙවැනි විෂයමූලික පර්යේෂණ මත පදනම්ව සිය නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි අපේ අපේක්ෂාව ය. ඉතා තාර්කික විද්‍ය‍ඥයෙක් පවා පත් කර ඇත්තේ වැඩේ ඒ විදිහට කරගන්නට බව අපේ විශ්වාසයයි.

නීතියක් දැම්මාට මදි ය. එය පිලිපදිනවා දැයි පරීක්ෂා කර බැලිය යුතු ය. මට හිතෙන්නේ ඊළගට විද්වතුන්ගේ අවධානයට යොමුවිය යුත්තේ එය කවුරුන් ලවා කරවනවාද යන්න ගැන නිශ්චය ලෙස උපදෙස් ලබා දීම පිළිබදව ය. මට නම් හිතෙන්නේ ඒ සම්බන්ධයෙන් වෙනම සංස්කෘතික පොලීසියක් නිර්මාණය කිරීම හොද බව ය. සංස්කෘතික හමුදාවක් වුනත් නරක නැත. මේ දවස්වල කෙරෙන්නේ නැති කොයිකත් බාර දෙන්නේ හමුදාවට නිසා ඒ අදහසත් හොද ය. මණින වැඩේට මිනිසුන් අවශ්‍ය නම් මං වුනත් එහෙම වැඩකට අත හිත දෙන්න දෙපාරක් හිතන එකක් නැත. හමුදාවට පොලීසියට බැදෙන්නේ නැති අප වැනි හාල් පාරුවන් ද ඊට බන්දා ගැනීමට ද මෙයින් ඒ අනුව රැකුලක් ලැබෙන්නේ ය.

අබා හැදුවාට පසු පබාගේ ගානට වැටුනු ජැකාටවත් ස්ත්‍රොත ගීතවලට තණු හැදුවාට පසු සින්දු හැදීම එපා වී ඇති රෝහණටවත් තිලංග සුමතිපාලට ඉලෙක්ෂන් කරාට පසු ඔල්මොරොන්දන් වී සිටින කාලෝටවත් වැඩක් නැති නිසා මේ කටයුත්තට හොදින් ගැලපෙනු ඇතැයි කෙනෙක් තරහට කියන්නට පුලුවන. එහෙම තරහ කාරයින් දැන් වැහි වැහැලා ය.

අපේ විද්වත් මණ්ඩලය ඒවායින් නොසැලී පිරිමි අපට කරදරයක් නැතිව වැදපුදා ගන්නට ඉඩකඩක් සළසා දෙන්නට අධිෂ්ඨාන කරගනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. මේ කටයුත්ත හරියට කළොත් ඊට පස්සේ මුකුත් නොකර හිටියාත් කමක් නැත. මේ කටයුත්ත ඒ තරමටම කාලෝචිත ය. දේශප්‍රේමී ය. ත්‍රස්තවිරෝධී ය. සංවේදී ය. දේශීය ය. පින් කටයුතු ය. මනෝඥ ය. තීරණාත්මක ය. … ඇත්තටම මේකට අදාළ ‍ඔක්කොම වචන ලියන්න ගියොත් මේක ඉවර කරන්නවත් ලැබෙන්නේ නැත.

About these ads
Posted in: Uncategorized