Archive for October, 2009

දෙපැත්ත මාරු වීම

එක් කලෙක විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කළ හා එය රටට අත්‍යවශ්‍ය යයි කියූ අය අද එය ඉවත් කරලීමට කටයුතු කරති.

එක් කලෙක විධායක ජනාධිපති ක‍්‍රමය දැඩිලෙස විවෙචනය කළ අයම දැන් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස්කිරීමට ගෙන යන වැඩපිළිවෙල කුමන්ත‍්‍රණයක් යයි කියති.

හෙට කුමක් වනු ඇත් ද?

අප ඉන්නේ ලංකාවෙ ය. ඒ නිසා හෙට වනු ඇත්තේ කුමක්දැයි කියන්නට අප හරියටම දන්නේ නැත.

සමහරවිට එය කුමක් වෙදැයි කියන්නට දෙවියන් වත් දනී දැයි කියන්නට බැරි ය.

බලය දූෂනයට හේතු වෙන අතර අසීමිත බලය අසීමිත දූෂණයට හේතු වෙයි. පුද්ගලයා කවුදැයි අදාළ වන්නේ ඉතාම කලාතුරකිනි.

ඒ නිසා කවුරු බලයේ හිටියත් අපි කැමති ඔය බඩ කඩුත්තුව අකුලා ගන්නවා නම් ය.

(ආයි දෙකක් නැහැ. මූ නම් කුමන්ත‍්‍රණ කාරයෙක්!)

උසාවි කුමකට ද? රෝහල් කුමකට ද? පොල්ලක් තිබුනහම ඇති ය

උසාවි ඔන වුනේ ඉස්සර ය. දැන් ඒ වැඩ පොලීසියත් හමුදාවත් මහජනතාවත් බාර ගෙන ඇත.

එය පසක් වූයේ පහුගිය දවසක බස්රථයකට හා දුම්රියකට ද ඉන් අනතුරුව තමන් පන්නන් ආ හමුදා සෙබළෙකුට ද ගල් ගැසූ  මිනිසෙකුට දඩුමුගුරු වලින් පහර දී දියේ ගිල්වා මරා දමන ලද නිසා ය.

ඒ කි‍්‍රයාදාමය මහජනයාගේ ඇස් යට සිදුවූ නිසා ය.

එයට හමුදා සෙබළකුගේ ද පොලීසියේ ඇත්තන්ගේ ද කෙළින් හා වක‍්‍ර සහභාගිත්වයක් ඇතැයි ද කියවෙන නිසා ය.

දුම්රියට හෝ බස්රථයකට ගල් ගැසීම වැරදි ය. එසේ ගසන ලද ගලක් වැදීමෙන් මගේ ඇඹෙනියද වරෙක තුවාල වූවා ය. ඇගේ එක් ඇහැක් බෙරුණේ යන්තමිනි.

එසේ වුවද මෙසේ ගල් ගසන්නන් අල්ලා ඔවුන් එසේ කිරීමට හේතු පිරිසිද දැක ඒවා ට ප‍්‍රතිකර්ම නොකර ඇගේ වැසූ මදුරුවෙකු මෙන් තලා පෙලා මරා දැමීම අනුමත කළ හැක්කේ මනස විකල් වූ සමාජයකට පමණි.

මෙකී පුද්ගලයා බොහෝවිට මානසික රෝගියකු විය හැකි ය. එසේ නම් තත්වය වඩාත් දරුණු ය. මානසික රෝගීන් රෝහලකට යවනු වෙනුවට පරලොව යැවීමට තීරණය කිරීම නිසා ය.

ලංකාවෙ වත්මන් පාලකයින්ගේ මතවාදය උන්ගේ සියලු ගෝල බාලයින් විසින් මනාව පසක් කර ගෙන ඇති ආකාරය මෙයින් මනාව පැහැදිලි වෙයි.

(මෙහි වගකීම පොලීසියට හෝ හමුදා සෙබලෙකුට පවරා ආරක්ෂක හමුදා පට්ට ගැහීමට අප බලාපොරොත්තු වන්නෙ නැත. එතැන් වල ක‍්‍රියාත්මක වන්නේ ද පොදු ජන මනස පමණක් බවත් ඊට වෙනස් දෙයක් ඒ තුළ ඇතිකිරීමට පාලකයින් අසමත්ව ඇති බවත් සටහන් කිරීමට කැමැත්තෙමු).

ඒ නිසාම කෙනෙකුට අවශ්‍ය නම් එය මෙසේ ද දැකිය හැකි ය. ලංකාවෙ ජනතාව හැමදාමත් කටයුතු කළේ මෙහෙම ය. එය එසේ නම් වත්මන් පාලකයින් කරන්නේ ඒ ජන මානසිකත්වය අමු අමුවෙ කි‍්‍රයාවට නැගීම ය. ඒ අනුසාරයෙන් එම අශිෂ්ඨ මතවාදය තවදුරටත් තහවුරු කර ඊට උඩගෙඩි දීම ය.

ඒ දෙකෙන් කුමක් වුව පැහැදිලි වන්නේ අප ශිෂ්ඨ නැති බව ය.

ඔනෑම රටක අශික්ෂිත මිනිස්සු සිටිති. එහෙත් ඒ අශික්ෂිත මිනිසුන් එවැනි අශික්ෂිත වැඩ කරන්නේ එලිපිට නොව සැගවිලා ය. බහුතරයක් වූ ශිෂ්ඨ  මිනිසුන්ගෙන් වසන් වීලා ය. මෙසේ එලිපිට නොවෙ. මෙතැන දී අප ප‍්‍රශ්න කරන්නේ ජාතියක් හැටියට අපේ ශිෂ්ඨභාවය ය.

අප ශිෂ්ඨ ජාතියක් වන්නේ කවදා ද?

හැමදාම නගන ප‍්‍රශ්නය නැවත නැවතත් අසන්නේ එය ඉදිරියට යන රටකට අවශ්‍යයම සාධකයක් නිසා ය. එපමණක් නොවෙ ශිෂ්ඨත්වයක් නැතිව ඉදිරියට යෑමක් ද නැති නිසා ය.

මෙන්න හමුදාවල වැඩ කිඩ!

A new study, Factors Associated with Women’s Risk of Rape in the Military Environment, reveals that 1 in 3 women are raped in the military. That means that simply by joining the military a woman automatically increases her chances of being raped.

And that’s not all. Researchers found that 37% of attempted raped and raped women also reported being raped more than once and 14% of them reported being gang raped.

What’s worse? Seventy-five percent of raped women in the military aren’t reporting the crimes, which means women suffer in silence and rapists walk free.

බය ගන්න එපා ය. ඒ දැක්වුයේ ලංකාවෙ මිලිටරියේ කතන්දරයක් නොවෙ. ඇමරිකන් මිලිටරියේ වැඩ කිඩ ය. ඒ ප‍්‍රවෘත්තියට අනුව ඇමරිකානු හමුදාවෙ කාන්තාවන් තිදෙනෙක්ගෙන් කෙනෙක් එම හමුදාවෙ සොල්දාදුවන් විසින් දූෂණය කර ඇත.

සියයට 37 වතාවක දූෂණයට ලක්වූ හෝ තැත්කරන ලද කාන්තාවන්ට එම තර්ජනයට එක් වතාවකට වැඩියෙන් මුහුණ දීමට සිදුව තිබෙ.

ඊට අමතරව අතවරයට ලක්වූ අවස්ථාවන් වලින් සියයට 75 ක දීම ඒවා බලධාරීන්ට වාර්තා නොකිරීමට මෙම කාන්තාවන් කටයුතු කර ඇත.

කාට හරි හිලරිට ගහන්න වුවමනා නම් මෙම කරුණු බොහෝ ප‍්‍රයෝජනවත් විය හැකි ය.

එසේ වුවද මෙවා ඉදිරිපත් කළේ බලය තිබෙන තැනක ඇතිවිය හැකි අවනඩු ද රාශියක් තිබෙන බව කියන්න ය.

අපේ හමුදාවෙන් නම් මෙහෙම දේ වෙන්නට ඉඩක් නැත.

ඒ ඔවුන් සිල් අරන් ඉන්නා නිසා ය.

දැන් ඉතින් කට්ටියට එකතුවෙලා ඇමරිකාවට රිඹ යන්නට දෙන්නට පුලුවන.

අපේ හමුදාවන් (රජයේ හා එල්ටීටීයේ) විසින් කළේ යැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමෙන්තුව කල්පනා කරන වැඩ කිඩ මොනවාදැයි දැන ගැනීමට මෙම සබඳතාවයට පිවිසෙන්න.

http://www.state.gov/documents/organization/131025.pdf

නාසිවාදය = ඊලම්වාදය, හමුදාව = එල්ටීටීය, පූසා = බල්ලා

ප්‍රභාකරන් අහිංසක නිරායුධ මිනිසුන් මැරුවේ ය. හිට්ලර් ද අහිංසක නිරායුධ මිනිසුන් මැරුවේ ය.

ප්‍රභාකරන් ඊලම් ව්‍යාපාරයේ නායකයා ය. හිට්ලර් නාසිවාදයේ නියමුවා ය.

ඊලම්වාදය = නාසිවාදය

ඒ නිසා නාසිවාදය වර්ණනා කොට ලියූ ඩේවිඩ් අර්වින්ගේ ද ඊලම්වාදයට උඩ ගෙඩි දුන්නා යැයි කියන ලසන්තගේ ද වෙනසක් නැත.

මේ තර්කය අප දුටුවේ අපගේ පසුගිය බ්ලොග්සටහනක පිළිතුරු ප්‍රතිචාරයක තර්කනයේ ය.

මේ තර්කනය අපූරු එකකි. මෙය තවදුරටත් ව්‍යාප්ත කළ හැකි ය.

බල්ලාට කකුල් හතරකි. පූසාට ද කකුල් හතරක් ති‍බේ.

බල්ලා = පූසා

එය ද දරා ගත හැකි ය. එහෙත් කෙළවන්නේ මෙය තවදුරටත් ව්‍යාප්ත කරන්නට යාමේ දී ය.

යුද හමුදාව මිනිසුන් මැරුවේ ය. එල්ටීටී හමුදාවද මිනිසුන් මැරුවේ ය.

යුද හමුදාව = එල්ටීටී ය

හත්වලාමේ මොකද මේ වෙන්නෙ?

වචන තහනම් කළාම ප්‍රශස්ති ගයන්නේ කොහොම?

වචන තහනම් කළාම

ප්‍රශස්ති ගයන්නේ කොහොම….

පැහෙන්නේ නැතිව උඹ හිටහං

ඒකට සේනාවක්ම ඉන්නෙ

තහනම් උඹලට උන්ට නෙවේ

එතකොට කොහොම ද

එක හඩින් ගයන්නේ

ඈ ‍යකෝ උඹට ‍මේ හදිසියේම

පහළවෙල මොකද

අලුත් උණක්

ප්‍රශස්ති ගැන

අපි බලාගන්නම්

කොහොමටත් දැන් ඒකට

ඕනැවටත් වඩා වැඩියි සෙනග

උඹ නිදහං

ඕන වුනොත් කූද්දන්නං

හීනෙන් වත් කියවනව එහෙම නෙවෙයි

වචන!

එහෙම වුනොත් උඹට

අහගන්න වෙන්නෙ හරුප

ලුනු ඇඹුල් ඇතිව

දැන් ඉතින් හොද එකා වගේ

ගුලිවෙල නිදහං

කම්මැලි නම් ගැනහං

වහලෙ උළු

නින්ද යනකම්!

තොපිට කට පියා නොගත්තොත්

කොහොමටත් වෙන්නෙ

ගනින්න තමා උළු, මහඋළු ගෙදර!

(කොටින්ගෙ ගැත්තො

බටහිර ඒජන්තලා

රනිල්ගෙ බත් බැලයො

කුඩුකේඩු ජෙප්පො

තොලොංචි කරල දාන්නයි තියෙන්නෙ

විරුද්ධ පක්සයක් මක්කටෙයි

රාජාණ්ඩුවකට!)

සිංහ වෙස්ගත් විමල් ගේ හඩ බ්ලොග් අඩවියක් තුළින් මතුවෙයි

විමල් වීරවංශ මෙච්චර ජනප‍්‍රිය ඇයි  හිසින් යුතුව සිංහ හඩක් නගා තිබුන නිසා අපි දු හේතුව දැනගැනීමට එම හඩට සවන් දුන්නෙමු.

එම බ්ලොග් සටහනින් කියන්නේ මහින්ද රාජපක්ෂ ලගට ජනප‍්‍රිය මෙම පුද්ගලයා බව ය. ඒ කියන්නේ ගොඨාභයටත් වඩා බැසිල්ටත් වඩා සරත් ෆොන්සේකාටත් වඩා ඔහු ජනප‍්‍රිය බව ය.

ඊටත් අමතරව එම සටහනෙන් දැක්වූයේ වඩාත් දැඩිව කොටි හා උන්ගේ ඒජන්තයින්ට පහර ගැසීම නිසා එම චරිතය ජනප‍්‍රිය වී ඇති බව ය.

විමල් වීරවංශ තරමටම මර්වින් සිල්වා ද නිශාන්ත මුතුහෙට්ටිගම ද ජනප‍්‍රිය බව සිංහ හඩට අමතක වී තිබිණි.

ඔය තරම් ජනප‍්‍රිය විමල්ට තමන්ගේ මල්ලීව වත් වෙන කොහෙන්වත් නොව දකුණෙන් (දකුණු පළාත් සභාවට ඉල්ලුවිමල්ගේ ගෝලයෝ කවුරුවත් තේරුණේ නැත) ගොඩ දාගන්නට නොහැකි වූයේ මන්දැයි ඔහු කියා තිබුනේ ද නැත.

විමල්ට ඇත්තේ සිංහ හඩක් වුවද ඇග නරියෙකුගේ බව පමණක් අප සටහන් කර තබන්නට කැමති ය.

ලංකාවට අඩුවක් නැතිවම ඉන්නේ මොළේ නැති ඔවැනි සිංහ හඩවල්ය.

අපේ රට දිනෙන් දින වළපල්ලටම යන්නේ ඔවැනි ආවෙගයින්ට අමතන හිස් මිනිසුන් ඔලුව උඩ තබාගෙන ඉන්නා නිසා ය.

එහෙත් ඔය සිංහ හඩින් කතා කරන්නේ සිංහ වෙස් පොරවා ගත් නරියෙකු බව දැනගත් විට ජනතාව තවදුරටත් ඔය චරිත කර උඩ තියාගෙන ඉන්න එකක් නැත. ගෙවී යන්නේ නරියන්ගේ අවසන් හෝරාව ය.

වචන භයානක ය – දුටු තැන මරනු – අල්ලාගත් කෙනෙකුට දහසින් බැදි පියල්ලක්!

වචන බියකරු ය

ආයුධවලටත් වඩා දරුණු ය

හදවතටම අනියි

කොනිත්තයි හෘද සාක්ෂිය

මුණ ගස්වයි අපේ හැබෑව

අප ඉදිරියේ තබා

හොල්මන් කරයි රෑ

නිදි නැති ආත්මයම හොල්ලා

වැරදුනොත්

තපින්නට සිදුවෙයි

මහඋළු ගෙදර

බරපතල වැඩ ඇතිව

නැතිනම් කානු පල්ලක

ලගින්නට වෙයි

ගුටි ඇණ දමා ගමකට

සමහර විටෙක

මරා හංගාවි

ලකුණක්වත් ඉතිරි නොකරම

දාමුද තහනම් කරල

ඔය අනෙත් කොයිවත් වගේ

නිදාගත හැකි සැනසිල්ලෙ

නරක ආරංචි නැතිව

වහකදුරු වන් ප්‍රවෘත්තිත් නැතිව

ටෙලිග්රෑම් එකක් බලා ගන්න දැනගත්තෑම ඇති

වෙන වචන මොකට ද?

වචනවලට විනාශය! ජනතාවට විමුක්තිය!

(මාධ්‍ය නිදහස සම්බන්ධ දර්ශකයේ 162 ස්ථානය ලබා ගෙන බො‍හෝ රටවලට පිටුපසින් සිටිනා අතරතුර ඒ ගැන වගේ වගක් නැතිව සන්ඩේ ලීඩර් පුවත්පතේ කතු ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයෙන් පසු එම තනතුරට පත් එහි කතුවරිය ෆෙඩ්රික් ජෑන්ස් හා එහි ප‍්‍රවෘත්ති කර්තෘ මුන්ෂා මුස්ටාක් මහත්මියට මරණ තර්ජන එල්ල කරමින් තවදුරටත් ලිපි එවන රටක දිවි ගෙවීමට සිදුවීම නිසා ඇති වූ කම්පනය හේතුවෙන් ලියූ සටහනකි)

ලසන්ත වික‍්‍රමතුංගට ලංකාවෙ ඉදි නොවන විශාල සමරුවක් ඔස්ට්‍රියාවේ ඉදිවන්නේ ඇයි?

අප අසා ඇති පරිදි වත්මන රහත් වූ මිනිසුන් නැත (ඉස්සරත් හිටියා ද යනු අප හරියටම දන්නේ නැත). ඒ නිසා මොන ලෝකෙ මොන කොදෙව්වක සිටිය ද මිනිස්සු වැරදි කරති. එක වැරැද්දකින් වැළකෙන මිනිසෙක් යම් හේතුවක් දක්වමින් වෙනත් වැරැද්දක් කරයි.

ඇමරිකාවෙත් ඔහොම තමා යයි අප විහිළුවෙන් මෙන් කියන්නේ ද මෙම සත්‍යතාවය ගැන ය.

එහෙත් සමහර රටවල් මිනිසුන්ගේ මෙම වැරදි කිරීමට පෙළඹීමට ඇති ඉඩ කඩ තේරුම් අරගෙන ඒවා වැළැක්වීම සඳහා උපක‍්‍රම හා යාන්ත‍්‍රණ සකසා තිබේ.

සමාජයක් දියුණු යයි අප කියන්නේ එවැනි යාන්ත‍්‍රණවලින් පොහොසත් වූ විට ය.

ඊට අමතරව බහුතරයක් මිනිසුන් මෙම යාන්ත‍්‍රණ ක‍්‍රියාත්මක කිරීමට කැප වූ විට ය.

එවැනි යාන්ත‍්‍රණ පවත්වාගෙන යෑම වැදගත් යයි ද තීරණාත්මක යයි ද සිතන විට ය.

එවැනි යාන්ත‍්‍රණ රැකීමට ඉදිරිපත්වන විට ය.

එවැනි යාන්ත‍්‍රණ තව තවත් ශක්තිමත් කිරීමට හා වැඩි දියුණු කිරීමට ඉදිරිපත් වන විට ය.

එහෙත් නොදියුණු රටවල මිනිසුන් කරන්නේ එවැනි යාන්ත‍්‍රණ අහෝසි කර හෝ ඒවා වටා ගොස් තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා දෙන බලයක් සහිත නියෝජිතයන් ගේ පිහිට පැතීම ය.

ඔවුන් නොදන්නවාට එම මැදිහත් වීම් විසින් ඔවුන් අවලංගු කර දමන්නේ තම සමාජයේ පැවැත්මට හා වර්ධනයට අදාළ මූලික අත්තිවාරම ය.

මන්ත‍්‍රී පසුපස ගොස් එයාට දොළ පිදේනි දී රස්සාවක් ගන්නා මිනිසා ද වැරැද්දක් කළ විට ඊට දඩුවම් නොලබා පොලීසියට පගාව දී ගැලවෙන්නා ද ඒවා ට සහභාගී වන මන්ත‍්‍රීවරයා හා පොලීසිය ද කරන්නේ මෙම යාන්ත‍්‍රණ අවලංගු කිරීම ය. තොරොම්බල් කිරීම ය. හෑල්ලු කිරීම ය.

පස්සේ උන්ම කෑවෝ කෑවෝ කියමින් කෑගසන නමුත් කන්නේ තමන් විසින් තමන්ම බව බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැත.

ලසන්ත වික‍්‍රමතුංගට ලංකාවෙ ඉදි නොවන විශාල සමරුවක් ඔස්ට්‍රියාවේ ඉදිවන්නේ ලසන්තට ඇති සුවිශේෂි ලෙන්ගතු කමක් නිසාම නොවේ. ස්වාධීන මාධ්‍යයක පැවැත්ම ශිෂ්ඨ සමාජයක් විසින් අගය කළ යුතු යයි උන්ගේම රටේ ඇත්තන්නට නැවත නැවතත් ඒත්තු ගන්වන්නට ය.

මාධ්‍ය නිදහස හෝ එවැනි වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රික යාන්ත‍්‍රණ රැක ගැනීම සඳහා නිරන්තර අවදියෙන් සිටිය යුතු යයි ද ඒ සඳහා අරගල කළ යුතු යයි ද දියුණු රටවල මිනිස්සු විශ්වාස කරති.

උන් නෙලා ගන්නේ උන් හෙළු දහඩිය කඳුළු වල අස්වැන්න ය.

එවැනි රටවල ට සංක‍්‍රමණය වන ඇත්තන් නොදන්නා මුත් ඒ රටවල අගය ඇත්තේ මෙම යාන්ත‍්‍රණවල  ය.

ඒවා ගොඩ නගා ගන්නට අප සමත් වෙතොත් අපමණ වෙහෙස දරා  අනුන්ගේ රටවල තුන්වෙනි පන්තියේ පුරවැසියන් වෙන්න ට වුවමනා නැත.

එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ මෙම අවබෝධය රට තුළ ඇති කර රට වෙනස් කිරීම පහසු කාර්යයක් නොවීම ය.

ඒ නිසා තම දිවි පරදුවට තබමින්ද දුක් මහන්සියෙන් හම්බු කළ සේසත වියදම් කර ගනිමින් ද සංක‍්‍රමණිකයින්ගේ පෝලිමට නිල හා නොනිල වශයෙන් එකතුවන අයගේ අඩුවක් නම් වෙන එකක් නැත.

ඔස්ට‍්‍රියාවෙ ගොඩනගන සමරු මෙහෙ හදන්නට ඉදිරිපත් වුනොත් අපටත් කලක් යනු ඇත. එතෙක් පන එපා කියා මුහුදට පනිනවා ඇර කළ හැකි යමක් නැත.

හැබෑවටම තෙල් සංස්ථාවේ ඉන්නෙ මොක්කුද?

අපි මෙහේ පන යනකම් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් තිබෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරාජය කරන්න පැල් බැදගෙන වැඩ කරන අල්ල පනල්ලෙ මේ කොහෙද යන පාත්තයො ටිකක් අකුරට ද මොකද්ද එකකට කියල පටන් අරගෙන නොවැ ගිනි විජ්ජුම්බරයක්.

අනේ හැබෑට මුනුත් දේශප්‍රේමී ද?

හැබෑවටම තෙල් සංස්ථාවේ ඉන්නේ මොක්කු ද?

දැන් ඉතින් රටක් රාජ්ජයක් ජයගත්ත අපේ රජතුමා නේද මේවා වලින් ජාත්‍යන්තරය ඉස්සරහ කොන් වෙන්නේ අසමත් රජෙක් හැටියට.

එකත් එකටම මුන්ට ඩොලර් හම්බුවෙනවා ඇති.

ඇත්තටම පඩිය කියන්නෙ මේ වෙලාවෙ ඉල්ලන්නට වටින දෙයක් ද?

තව ඔයිට වඩා කොච්චර වැදගත් වැඩ තියෙනවද රටේ කරන්න.

දැන් ඉතින් ආණ්ඩුවට වෙන්නේ දේශප්‍රේමී හමුදාවට මේ වැ‍ඩත් බාර දෙන්න.  දෙමළු මැඩ රට නිදහස් කර ගන්නට දේශප්‍රේමී හමුදාවට පුළුවන් වුනා නම් මේ අයිල තෙල් කාරයින් හමුදාවට කජ්ජක්ද? ඇත්තටම රටම බාර දුන්නොත් මොක ද?

වැරදුනා. පොඩ්ඩක් නෙවෙයි ගොඩක්ම වැරදුනා. එතකොට පකිස්තානෙ වගේ වෙයිනෙ. එහෙම හරි නැහැ. කොහෙත්ම හරි නැහැ. සරත් ෆොන්සේකා ගැන හිතල මේව කියනව කියල කවුරු හරි වැරදි විදිහට තේරුම් ගන්න එපා. හමුදා ආණ්ඩුවක් හොද නැහැ. රජාණ්ඩුවක් තමයි හොද. රජවරු යුවරජවරු ඔය කොයි කොයි අයත් ඉන්න එකක් හොදයි.

එතකොට තෙල් වැඩේ?

ඒක අපි කෙළින්ම ඉන්දියාවට බාර දෙමු. ඉන්දියානු ඔයිල් සමාගමටම. ඇත්තටම එහෙම කරොත් ඉන්දියාව තව ටිකක් ෂේප් වෙයි නේද?

දැන් මේ ගෙවී යන හෝරාවෙ ජනතාවගේ කාර්ය භාරය විය යුත්තේ කුමක් ද? තෙල් කාරයින්ට රිඹ යන්න දෙන එක ය. මාධ්‍ය හරහා මේ කටයුත්ත අත ගැසීමට දේශප්‍රේමී ජනතාව පෙළ ගැසී සිටිය යුතු ය.

ඇත්තටම අපට ඇති බය නම් මේ මොහොතේ මේ වෘත්තීය සමිතිකාරයෝ තමන්ටම පිහියෙන් ඇන ගෙන එහි වගකීමත් අපේ ආණ්ඩුවට පවරාවිද කියා ය. හැබැයි දැන්ම කියලා තියන්න ඕනෑ ය. ඕවාට නම් මෙදා ගමන අපි අහුවන්නේ නැත.

තව එකක් කියන්නට තිබේ. උතුරේ වසන්තය මේවා නිසා පමා වුවහොත් එහි වැරැද්ද අපේ යුවරජතුමා පිට නම් පටවන්න එපා කියා ය. ඇත්තටම මේ තෙල් කාරයින්ගේ වැඩේ නිසා හබක් වන්නේ රටේ වේගයෙන් සිදුවෙමින් තිබෙන සංවර්ධන වැඩ කටයුතු ය.

නිමල් සිරිපාල සොයා ගෙන ඇති ආකාරයට පිදුරු කන මිනිසුන් ලංකාවේ සිටින නිසා බැරි වුනොත් බස් වෙනුවට කරත්ත සේවයක් දැමීමේ ඉඩකඩ ඩලස් සහෝදරයා මේ දිනවල හොයා ගෙන යයි. ජී ඇස් පී ප්ලස් නැතිවීම නිසා රටේ විකල්ප කර්මාන්ත නගා සිටුවීමට අවස්ථාවක් ලැබෙන්නේ යම්සේ ද තෙල් කාරයින්ගේ මේ වැඩය නිසා දේශීය ප්‍රවාහන සේවයක් ඇති කිරීමේ අවස්ථාවක් අපට උදා වී ඇත.

කොයි අදුරු වලාවේත් රිදී රේඛාවක් ඇතැයි කියන්නේ නිකම්ම නොවේ.

කොළඹ මැවෙන වන්නි සටන බැලුවා ද?

(නොබැලුවානම් ඒ දෑස කුමකට ද?)

ජනප්‍රිය දහවෙනි දිනය ද පසුකරා! වැළ නොකැඩී සෙනග!

ත්‍රාසජනක සටන්, ඇග කිළිපොළන ප්‍රහාර, මේ සියල්ල බලාගන්නට යා යුතු හොදම තැනයි.

හොලිවුඩ් චිත්‍රපටියකට ද වඩා ආශික් ය. ඒවා මොනවාද? ඒ 2 ඩී ය.

ඇත්තටම මේක 3 ඩී ය. ඒ කියන්නේ ත්‍රිමාන ය.

බලන කෙනෙක් විසිල් පහරක් නොගහ සිටින්නේ නැත.

පවුල් පිටින් එකට සිට නැරඹිය හැකි ය.

සාමනේර හිමියන්ට විශේෂ අනුග්‍රහ! ලොකු හාමුදුරුවන්ට ගරු සරු!

කුඩා ළමුන්ට ක්‍රීඩා කිරීමේ ඉඩකඩ. සෙල්ලම් කිරීමට අලුත්ම යුද උපකරණ.

සියලු සැණකෙළි මීට පැරදෙන්නේ ය.

ගුත්තිලගේ වීණා නාදය කුමක්දැයි හිතෙන බව කීවේ මෙය දුටු සක්විති රජ්ජුරුවෝ ය. බලා සිටින අයගේ ඇකයෙන් දරුවන් ද වැටේ (ඒ බව නම් කීවේ ලග සිටි ඩිස්පෙන්‍සරියක වැඩ කළ දොස්තර කෙනෙකි).

දැනටමත් මෙවැනි සැණකෙළි පැවැත්වීමට තවදුරටත් විදේශ ආධාර ගත හැකි දැයි සොයන්නට මේ අතර ජනාධිපති තුමා වියට්නාමයට ගොස් තිබේ.

පුලුවන් නම් මේ සැණකෙළිය ගමට ද ගෙන යා හැකි වන පරිදි දවසක පඩිය පරිත්‍යාග කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටීමට දේශප්‍රේමී ජනතා සංවිධානය දැනටමත් තීරණය කර ඇත.

මෙහෙමත් සතුටෙන් ජීවත්වන ජනතාවක් ආසියාවේම නැත.

සැණකෙළිය බලා ඔබේ සතුටද දෙගුණ තෙගුණ කරගන්න!

කොළඹ මැවෙන වන්නි සටන ගමට ද ගෙන යන්නට ඔබේ ආධාරය දී පින් රැස් කරන්න. එපින් බලෙන් නිවන් දක්නා ජාති දක්වා සතර අපායට නොවැටී දෙව් මිනිස් සැප කෙළවර ලබන්නාවූ අමා මහ නිවනම සාක්ෂාත් කරගන්නට හේතු වාසනා ඇති කරගන්න.

ඔබට ත්‍රිවිධ හමුදාවම බාර සරත් ෆොන්සේකාගේ සරණ ය. මල්ටි බැරල්වල ආරක්ෂාව ය.

« Previous entries