Archive for September, 2009

ජනාධිපති නොහිටින්නට!

නීතිවිරෝධි කටවුට් වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිතුමා විසින් පොලිස්පතිට උපදෙස් දී තිබෙන බව ඩෙලිමිරර් වෙබ් අඩවිය වාර්ථා කර තිබිණි.

ඇත්තටම බොහෝ දෙනෙක් සිතා සිටියේ මෙම කටවුට් ප‍්‍රදර්ශනය සම්බන්ධයෙන් ජනාධිපති ද වගකිව යුතු බව ය. එය එසේ නොවන බව දැන්වත් අප රටෙ ගුණමකු ජනතාව තේරුම් ගන්නවානම් හොද ය.

සමහරු කොචොක් එකට අහන්නෙ මෙතරම් කල් දකුණේ පදිංචිව ඉදලාවත් ඔවා  ජනපති නොදැක්කේ ඇයි කියා ය. ඇත්තටම කියන්න එතුමාගේ කණ්ණාඩි කුට්ටම කැඩී තිබී හදාගෙන ඇත්තේ ඊයේ පෙරෙදා ය.

තවත් සමහරු කිචෙට අහන්නේ පොලීසිය නීතිය ක‍්‍රියාත්මක කිරීම සදහා ජනපතිගේ ඔඩර් එනතුරු බලා සිටින්නේ ඇයි දැයි කියා ය.

ජනපති ඇරුණහම ආණ්ඩුවෙ බොහෝ තැන්වල ඉන්නේ බබාලා ය. එවැනි වටපිටාවක ජනපති තුමා කරන හරිය හොදටම ඇති ය. එහෙම කිව්වහම සංගෙ නැතිඑවුන් අහන්නේ පොලිස්පති පත් කරෙ අපි ද කියා ය.

මුන්ගේ කටට හෙණ ගහන්නම ඔනෑය. ඔය හදන්නේ පොලිස්පතිගේ අඩුපාඩු ද ජනපති පිටින් අරින්න ය.  අනේ හැබෑට මෙතරම් කරලාත් උන්ට මදි ය. තමන්ට විශ්වාසවන්ත නෑදෑයින් තනතුරුවලට පත්කරලා දැන් අහල ගම් හතකින් වත් එහෙම එකෙක් හොයා ගන්නට බැරි ය. ඉතින් එතුමා මක්ක කොරන්න ද?

තවත් සමහරු කියන්නේ මෙ හදන්නේ ආණ්ඩුවෙ කටවුට් ඉතිරිකොට විපක්ෂයේ ඒවා ගලවන්නට කියා ය. ඇත්තටම ජනපති එහෙම කියා තිබුනේ නැත. එතුමා කියා තිබුනේ නීති විරෝධි කටවුට් ඉවත් කරන ලෙස ය. පළාතේ කරන ලද සංවර්ධන වැඩ ගැන කටවුට් ඊට අදාළ නැත. කියන්නේ ඒවාත් ගලවන්නට කියා ද?

අපේ ජනතාවගේ මෝඩකමෙ නම් කෙළවරක් නැත. ජනාධිපති නොහිටින්නට මුන් සියල්ල මැරිල වල දැමු තැන්වල ගසුත් පැලවෙලා ය. එතුමාට පින්සිද්ද වෙන්න ජීවත්වෙන ගමන් මෙහෙම අවලාද කීම නම් හරි නැත.

කවුදෝ කුපාඩියෙක් ලංකාඊනිව්ස් වෙබ් අඩවියෙන් ගාල්ල මැතිවරණ කාර්යාලය ළගම කටවුට් ඇතැයි කියයි. ඒක ඔප්පු කරන්නට ඡයාරූප ද පළ කරයි. ඔවායින් අපිව අන්දන්නට බැරිය. චැනල් 4 කට්ටිය කළ දේ අපි දනිමු. ඔවාත් පින්තූර එකතු කොට හැදූ වල් භූත ය.

අපේ රටෙ තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇමරිකාවෙත් නැත. ඒ නිසා ලංකාඊනිව්ස් නොව සක‍්‍රයා ඇවිත් කිව්වත් අපි නම් ඔවා පිළිගන්නේ නැත.

අපට කෙළවන්න ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙ. වඩාත් සතුටෙන් ඉන්න මිනිසුන් ඉන්නා රට යන නම්බු නාමය ලැබීමෙන් පසු උන් අප ගැන පසුවන්නේ ඉරිසියාවෙනි.

වෙන කුමක් කරන්න ද ඉවසා දරා ගනු මිස!

පසුගිය සුමානේ ඉරිදා ටයිම්ස් පුවත්පතේ අපූරු දැන්වීමක් විය. එය පළ කර තිබුනේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙනි. ඒ යාපනයේ ඉදිකිරීමට යෝජිත රෝහල සදහා කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් ඉල්ලා ය.

යාපනය දැන් ඉන්දියාවේ කොටසක් ද?

යාපනයේ රෝහලක් ඉදිකිරීමේ කාර්යය ඉන්දියාවට බාර දීලා ද බාර අරගෙන ද?

සාමාන්‍යයෙන් ‍විදේශ රජයක් මුදලින් ආධාර දෙනවා හැරෙන්නට මෙහි ඉදිකිරීම් කටයුතු හෝ වෙනත් එවැනි දෑ තමන් විසින්ම කරන බවක් අප දන්නේ නැත.

එයින් පෙනෙන කරුණු කීපයක්ම තිබේ. එහෙත් වඩා වැදගත්ම කාරණය නම් තමන් දෙන මුදල් කෙසේ වියදම් කරන්නේ ද යන්න ගැන ඉන්දියාවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බව ය.

මීට කලින් ද ඉන්දියාව වෛද්‍යවරුන්ද සමග රෝහලක්ම මෙහි එව්වේ ය. එ ද ඒ කටයුතු හරියාකාරව කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසය පළ කළ නොහැකි නිසා ය.

බටහිර රටවල් මේ ආකාරයෙන් සිදුකරන්නට පැමිණි මැදිහත්වීම් නම් ඉවත දමන්නට ආණ්ඩුව කටයුතු කළේ ය. එහෙත් ඉන්දියාව සම්බන්ධයෙන් ආණ්ඩුව තරමක් බය පක්ෂපාත කමක් දක්වයි. සමහර විට පැරණි පරිප්පු සිද්ධි මෙන්ම බංග්ලා දේශයේ බිහිවීම අරබයා තිබෙන මතකයන් වන්නට පුලුවන.

අපි අනාගෙන ඇති තරම මෙයින් පෙනේ.

වෙන කුමක්කරන්න ද ඉවසා දරා ගනු මිසක!

කණ්ණාඩිවලට තුවක්කුවලටත් වඩා බිය ජාතියක්!

‘මහජරා’ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රාවාදය මේක ද?

මෙය පහර දීමෙන් අලාභ හානියට පත් තමන්ගේ කාර්යාලය ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු දමා තිබූ බැනරයක තිබූ වචන පෙළකි.

පහර දීම පිළිබද පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු ද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා ඇතිවූ සාධාරණ කෝපය පිට කර ගැනීමක් මෙහි දී  සිදුවී ඇත.

එහෙත් අප මෙන් නොව නීතිය ‘අකුරටම්’ ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලිසිය මේ කුණුහරුපය ප්‍රදර්ශනය කළ තැනැත්තා අල්ලා දින 14 ක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණයේ ද අවසරය ඇතිව කටයුතු කළේ ය.

මානව අයිතිවාසිකම් කැඩීමට නිදහස ඇති අප‍ රටේ එසේ කැඩීම පිළිබදව කෙදිරි ගෑම හිරෙ විලංගුවේ වැටෙන්න පුලුවන් වරදකි.

ඉතින් මෙහෙව් රටකට ජී ඇස් පී ප්ලස් දෙන්නැයි යුරෝපා සංග‍මයෙන් ඉල්ලීමට හැක්කේ කාට ද? එසේ ඉල්ලුවත් ලැබේ යයි අපේක්ෂා තැබිය හැක්කේ කාට ද?

ජී ඇස් පී ප්ලස් සම්බන්ධයේ චෝදනාව එල්ල කරන මහත්තුරුන්ට කණ්ණාඩියක් ඉදිරිපිට ගොස් සිටගන්නැයි ඉල්ලා සිටිය යුත්තේ ඒ නිසා ය.

එය නම් කිසිදා නොකෙරෙන්නකි. උන් කණ්ණාඩිවලට තුවක්කුවලටත් වඩා බය ය.

මේවා සහගහන අපරාධය!

අපරාධ කොහොමටත් සහගහතත් සමහර අපරාධ සහගහන අපරාධ ලෙස නම් කරන්නට අපේ රටේ ජනතාව පෙළඹී සිටිති. තිස්සනායගම්ට ආණ්ඩුව කර ඇත්තේ ද එවැනි සහගහන අපරාධයකි.

තව බොහෝ මාධ්‍යවේදීන්ට ආණ්ඩුව දඩුවම් කර ඇති බවට විවාදයක් නැත. එහෙත් ඒවා පිළිබද වගකීම අපට ආණ්ඩුවට එල්ල කළ හැක්කේ අනුමානයට ය.

මේ අපරාධය එසේ නොවේ. සාක්කි ඇතිවම එලිපිට කරන ලද හෙයින් එහි ජුගුප්සාව වැඩිය. ඒ සියල්ල වසා ගත්තේ ත්‍රස්තවාදය උපුටා දැමීමේ සටන් පාඨයට මුවාවෙමිනි.

තිස්සගේ පුවත්පත වූ ටයිම්ස් පත්‍රය කෙසේ‍ෙවතත් සන්ඩේලීඩර් පත්‍රය සිද්ධියේ සුලමුල සපයමින් වාර්ථාවක් සපයා ඇත.

ඒ අනුව තිස්සට විරුද්ධව කටයුතු කර ඇත්තේ ඉතාම නින්දා සහගත ආකාරයකට ය. ඔහු අත්අඩංගුවට ගත්තේ සගයෙක් බලන්නට හිර ගෙදරට ගිය ඉස්පාසුවක ය. නැතිව වරෙන්තුවක් ඇතිව නොවේ. ඔහුට විරුද්ධව කරුණු එකතු කිරීම සිදුවන්නේ ද ඉන්පසුව ය. අත් අඩංගුවට ගැනීමේ නියෝගය විනිසුරු අත්සන් කරන්නේ කලින් දිනයක් යොදා ගෙන ය. අත්සන් කර ඇත්තේ විනිසුරුගේ සොහොයුරිය බව ද එක තැනක සදහන් ය.

ඔහු විසින් කරන ලද පාපෝච්චාරණයක් පැහැදිලිව පෙනෙන පරිදි වෙනස්කොට ඒ වෙනස් කරන ලද ලියවිල්ල උපයෝගී කරගෙන ඔහුට විරුද්ධ නඩුව මෙහෙයවා තිබේ. ඒ වෙනස් කිරීම කොතරම් මුග්ධ ලෙස කර ඇත් ද යත් ලියවිල්ලේ සිද්ධි පෙළගසා තිබීමේ තර්කානුකූල සම්බන්ධයම එයින් බිද වැටී ඇත.

උසාවියට නීති ප්‍රකාර ඉදිරිපත් නොකර ඔහු රදවා ගෙන සිට තිබේ. ඔහුට ‍ඔහුගේ නීතිඥයා පමණක් නොව බිරිද පවා මුණ ගැසෙන්නට සිදුව ඇත්තේ නිලධාරියෙකු ඉදිරිපිට ය. තවත් බොහෝ දේ එහි සදහන් ය.

අප මුළු ලිපිය කියවිය හැකිවන පරිදි එහි සම්බන්ධය මෙසේ පළකරමු.

http://www.thesundayleader.lk/20090927/focus.htm

අප දන්නා බුදුදහමේ නම් කියා ඇත්තේ ‍අපරාධ සහගහන බව ය. එ දවස උදාවෙන්නේ කවදාදැයි අපිදු බලා සිටිමු. 

ඒ සහගහන වෙලාවට මේවා කළ ආණ්ඩුවට පමණක් නොව ඒවාට උඩගෙඩි දුන්නාවූ ද යටිහිතින් ඒ පාපයන් අනුමත කළාවූ එවුන්ට ද සහගහනු ඇතැයි අපි විශ්වාස කරමු. 

සමහරවිට GSP+ නොලැබීම හරහා ඉදිරියේදී අප රට මත කඩා පාත්වන්නට නියමිත ඒ පාපයන් වෙනුවෙන් ගෙවන පළමු වන්දිය විය නොහැකි ද?

පැරණි අතීතය සිහිකරන අලුත් අධිකරණයක් – රජතුමාම විනිශ්චය ආසනයේ මැදමුලන ගැහැණුන් වාඩි කරවයි- දැයට කිරුළ හිමිවෙයි!

මෙවර අහුවී තිබුනේ කුඩු ගෙන්වන මහා පරිමාණ ව්‍යාපාරිකයින් ය. කුඩු බෙදාහරින එකෙක් අහුවුනාම කරන හරිය දන්නා ජනාධිපතිට මෙවන් මහා පරිමාණ ව්‍යාපාරිකයින් කොටු වූ විට කරන්නේ කුමක් දැයි විචිකිඡ්චාවක් ඇති විය.

ඉස්සර නම් මොකක් හෝ තෝරා බේරා ගන්න බැරිවූ විට අම්මාගෙන් නැන්දලාගෙන් විමසන්නට පුරුදුව සිටි රජතුමාට දකුණේදී දී මුණ ගැසුනු මැද මුලන ගැහැණු ටික දුටු විට ඒ පැරණි අතීතය නැවත මතක් වූවා විය යුතු ය.

එතුමා ඔවුන්ගෙන් විමසා සිටියේ ඒ අය සම්බන්ධයෙන් කුමක් කළ යුතු ද යන්න ය.

ගැහැණු ටික එක හඩින් කියා සිටියේ දඩුවම් කළ යුතු බව ය. ඔවුන් එහෙම කියන්නේ නම් දඩුවම් කරන බවට රජතුමා සපථ කළේ ය.

ගැහැණු ටිකට දැන් හරි ආඩම්බරේ ය. රජතුමා රාජ්‍ය විචාරන්නේ තමන්ගෙන් අසා දැනගෙන බැවිනි.

ලංකාදීප වෙබ් අඩවියේ පළව තිබූ මේ කතාව අපට මේ නිහතමානී රාජ්‍ය නායකයා පිළිබද අසීමිත ගෞරවාදරයක් ජනිත කරයි. ඒ හේතු කීපයක් නිසා ය.

දඩුවම් නියම කිරීම උසාවියෙන් තමන් වෙතටම පවරා ගෙන රටේ සියලු බර දරා සිටීමට රජතුමා කටයුතු කිරීම ඊට එක් හේතුවකි. කාට හෝ දඩුවම් කිරීමට තරම් දරදඩු හිතක් නැති වීම මෙයින් පෙන්නුම් කිරීම තවත් හේතුවකි. තමන්ගේ රාජකාරියේ කටයුතු සදහා මහජන අදහස් විමසීමට තරම් නිහතමානයක් තිබීම තවත් හේතුවකි.

දැන් ඉතින් අපට යෝජනා කිරීමට ඇත්තේ උසාවි විසුරුවා දමා රජවාසල නඩු ඇසීමටත් රජුට අනුශාසනා කිරීමට මැද මුලනින් ගැහැණුන් ටිකක් ගෙන්වා ගැනීමටත් වහ වහා කටයුතු කළ යුතු බව ය.

දැයට කොහොම වෙතත් මැදමුලනට කිරුළ බාරදුන් රජිදෙකු ලෙස එවිට අපේ රජතුමා ඉතිහාස ගත වනු නොඅනුමාන ය.

උතුර දකුණ යා කරන ඩග්ල‍ස්ගේ-ඩලස්ගේ පාලම

යාපනය කොළඹ මාර්ගයේ ලංගම බස් ධාවනය නොවේ. ඒ වෙනුවට ඇත්තේ ඉන්ටර්සිටි බස් ය. ගාස්තුව රු දෙදහස ඉක්මවයි. බස් ඇත්තේ කිහිපයකි (ආගිය අය කියන්නේ ගණන හතරක් පහක් පමණ බව ය). ඒවා සියල්ල අයිති අපට ආරංචි වූ ආකාරයට ඩග්ලස් දේවානන්ද ට ය.

උතුරේ වසන්තය උදාව ඇත්තේ කාටදැයි එයින් පෙනේ‍.

ඇත්තටම හූල්ලන්නට හේතුවක් නැත. මෙම මුදලෙන් තවත් දොල පිදේනි දීමට වාහන අයිතිකරුට සිදුව ඇති බවට කැට ඕනෑ නැත. ලංකාවේ වැඩ වෙන්නේ ඒ ආකාරයට ය.

ඇමරිකාවේ වුවත් එහෙම ය. ඒ නිසා ප්‍රශ්නයකුත් නැත.

මේ සෙල්ලම මුලින්ම පටන්ගෙන ඇත්තේ දේශප්‍රෙමී ජනතා සංගමය පවසන ආකාරයට ඇමරිකාවේ ය. ඒ කතාවට අනුව බරක් ඔබාමාගේ දේශපාලන හිතවතෙකුට එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයකට මෙසේ බස් එකක් යෙදවීමේ තනි අයිතිය ලබා දී තිබේ. ඒ දේශපාලන හිතවත්කම් වලට ය.

බැසිල් පදිංචිව සිට ඇත්තේ ඉන් එක් ප්‍රාන්තයක ය. අනෙත් ප්‍රාන්තයේ පදිංචිව ඉද ඇත්තේ ඩලස් ය. දෙන්නා‍ටම ලැබී ඇති මේ අත්දැකීම දෙන්නා එකතු වී ලංකාවේ අත් හදා බලා තිබේ. ඇමරිවේත් එහෙම නම් ලංකාවේ කළාට මක්ක වෙනවාද යන්න ඔවුන් මතු කරන ප්‍රශ්නයයි.

උතුරේ වසන්තය බාර ගත්තේ බැසිල් ය. එහි ගමනාගමනය අයිති තවමත් ඩලස්ට ය. මේ සියල්ල  උතුරේ පවත්වන ඉදිරි මැතිවරණයකදී පැවරීමට නියමිතව ඇත්තේ ඩග්ලස්ට ය. එවන් වටපිටාවක දැන් යොදා ඇති වැඩ පිළිවෙල අනාගතය බලා යොදා ඇති එකකි. කොහොමටත් ඩග්ලස්ට උරුමවන්නට තියෙන දෙය දැන් දුන්නහම එක අතකට මක්ක වෙනවා ද? බැසිල් හා ඩලස් අහන ප්‍රශ්නයත් ඒක යයි කියා ද කණින් කොණින් ආරංචි වෙයි.

ඇමරිකාවේ පුරවැසියන් රජයේ කටයුතු මෙහෙයවන විට ඇමරිකාවේ විදිහට වැඩ සිදුවීම බලාපොරොත්තු විය යුතු එකකි.

අප‍ යාප‍නයේ බස් සේවය පිළිබද තොරතුරු අනාවරණය කරගත්තේ යාපනයට මෑතකදී ආගිය කෙනෙකුගෙනි. සමහරු ඉරිසියාවට බොරු කියන නිසා මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට අපිදු කැමැත්තෙන් සිටිමු.

උතුරු දකුණු ජනයා යා කරන පාලම නම් පටන් ගත් තැනම හබක් බව පෙනේ.

එක් කොඩ්යක් ඇති කළ හැකි වුවද මේ විදිහට එක් රටක් බිහි කිරීම නම් සිහිනයක් පමණක් වනු ඇත.

අදුනාගැනීමේ පහසුව සදහා රජ ආයිත්තම් අන්දමු

ඒකනායක ඇමතිවරයාගේ පුතාට පුස්පාට් දාන්නට ඉදිරිපත් වුනු පොලිස් කොස්තාපල් කෙනෙක් අනුරාධපුර මහ ඉස්පිරිතාලයේ ය. ඒ අඩුපාඩුවක් නැතිව සංග්‍රහ විදීමෙන් පසු ය.

පොලිස් රාළහාමිලා හැමෝටම දාන ජාතියක් ඇමතිවරයා පුතාට දාන්න ගියා දැයි අපි නොදනිමු.

එහෙම වෙලාවක වුවද ඒ සදහා ගත හැකි නීත්‍යානුකූල ප්‍රතිපාදන කොතෙකුත් තිබේ. වඩා සුදුසු විදිහ වන්නට තිබුනේ පුද්ගලයා ගැන ඉහළට පැමිණිල්ලක් දැමීම ය.

පොලීසිය උසා‍වියේ රාජකාරිය බාර ගන්නා ගාණටම ඇමති පුතා පොලිස්පති අධිකරණය ඇතුළු රට කරවන සමස්ථ යන්ත්‍රණයේම රාජකාරිය තමන් විසින් බාර ගෙන තිබේ. ඇත්තටම පැරණි රජදවස වුවද කටයුතු සිදුවුනේ එහෙම ය.

අප මේ කරන්න යන්නේ පුංචි යෝජනාවකි. ඒ රාජකාරිය ඉටුකරන අවංක යහපත් පොලිස් නිලධාරීන් අතලොස්සගේ ප්‍රයෝජනය සදහා ය. මේ රජ දවස බව අවබෝධ කරගන්නට තවමත් නොහැකිව ඉන්නා පොලිස් බබාලාට ද සෙසු බබාලාට ද ප්‍රයෝජනවත් වන යෝජනාවකි.

අදුනාගැනීමේ පහසුව සදහා මෙවැනි බලය සහිත ඇමතිවරුන්ට ඇමති දරුවන්ට කිසියම් රජ ඇදුමක් පෙර රජ දවස මෙන් ඇන්දුවොත් මොක ද? උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට යන නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය කිරීමට පෙර දෙවරක් සිතීමට ඉන් අනුබල ලැබෙනවා ඇත.

ඇත්තටම දැනටත් උන්දැලාට අඩු එපමණ ය.

මේ රට හදනවාට වඩා, කරන්න බැරි දේ කරන්න යනවාට වඩා, ඇමතිවරුන්ට හා උන්ගේ පුතුන්ට අච්චු කරන්නැයි ඉල්ලනවාට වඩා, අපේ ආරක්ෂාව අපි බලාගන්නට එක පහසු ය. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ මෝඩ වැඩ කිරීමේ තේරුමක් නැත.

හදිසියේ අපට වුනත් යන එන විට මුණ ගැහුනොත් කාණුවකට බැස හෝ මේ ලොකු මහත්තැන්ලාට ඉඩ දෙන්නට එවිට පුලුවන් වෙනවා ඇත. ඉස්පිරිතාලෙ ලගිනවාට වඩා කාණුවකට බහින එක කොහොමටත් ඇගට සනීප ය.

ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගැනීමට එතුමාට හැකිවෙවා

මුතුහෙට්ටිගම කියා ඇත්තේ තමන් ගරු කරන්නේ ජනාධිපතිටත් යුද දිනූ හමුදාපතිටත් පමණක් බව ය. තමන්ට අවස්ථාව ලැබුනු දාක පොලීසියට පාඩමක් උගන්වන බව ය.

ඇත්තටම රජ දවස මිනිස්සු බිය වූයේද රජතුමාට හා සේනාධිනායකට පමණි. ඒ දෙපළේ අනුග‍්‍රහය තිබුනේ නම් වෙන කාගේවත් බුලත් අවශ්‍ය වූයේ නැත.

ඇත්තටම පහුගිය කාලයේ මර්වින් භුක්ති වින්දේද රජ කල ඇමති වරු විඳි ඒ නිදහස ය.

ඒ අතින් මුතුහෙට්ටිගම හරි ය.  සුද්දාගේ ආයතන නිකම් කඩදාසි නිර්මාණ ය. ගුලි කර දමා හෝ මොහොතින් ගිනි බත් කර දැමිය හැකි දේ ය. එකම පැවැත්ම ඇත්තේ රජුගේ අනුහසේය.

එහෙත් මුතුහෙට්ටිගමට නපුරට හිටියේ රජුගේ අනුහස ලැබී තිබුනේ ඥාතිවරයාට ද පැරෂුට් නිලියට ද යන්න තේරුම් බෙරුම් කරගන්නට බැරි වීම ය.

ප‍්‍රශ්නය ඇත්තේ ආයතනයක පවතින නීති රීති හා පද්ධති මෙන් නොව රජුගේ කැමැත්ත ඉතා ඉක්මණින් වෙනස් විය හැකි වීම ය.

කිසිවෙකුට කල් තියා කිව නොහැකි වීම ය.

දී ඇති මොහොතක රජු විසින් ගනු ඇත්තේ කාගෙ පැත්තදැයි දැන ගැනීමට රජුගේ සිත කියවීමට දන්නා පරචිත්ත විජාණන ඥානය සහිත කෙනෙකුට හැර වෙනත් කිසිදු පාර්ශවයක් සමත් නො වීම ය.

රජුගේ හිත කියවීමට මුතුහෙට්ටිගමට බැරිවුනත් මර්වින්ට පුලුවන් වූයේ ය.

මර්වින්ට අතුරු ආන්තරාවක් නොවීමටත් අපේ කතා නායකයා හත්පොළේ ගා ගැනීමටත් හේතුවූ ඒ කතාව දුකාගේ දැන ගැනීම සඳහා මෙසේ පළකරම්හ

තව බොහෝ දෙනෙකුටම මෙන්ම සිදුවන්නේ කුමක්දැයි හරියට තේරුම් ගැනීමට මුතුහෙට්ටිගමට තවත් කල් ගත වනු ඇත.

එතුමා රක්ෂිත බන්ධනාගාරයෙන් නොබෝ දිනකින් එළියට විත් සියල්ල පිළිබද සමාව අයැදින ප‍්‍රකාශයක් කිරීමට නියමිත ය.

ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගැනීමට එතුමාට හැකිවෙවායි අපි පතමු.

වැරදි පාඩම

මර්වින් මැරකම් කළ නමුදු ලොක්කාගේම ආශිර්වාදය ලැබ දැහැමෙන් සෙමෙන් වාසය කරයි. ලොක්කා සමග විදේශ සංචාරය සදහා ලොක්කාට ලෝස් නැතිව කඹුරන විමල් වීරවංශ සමග හරි හරියට ඔහුට ද ආරාධනා ලැබෙයි.

තමන්ගේම පක්ෂයේ අයට අඩම්තේට්ටම් කර අවසානයේ එයින්ද ගැලවෙයි. ගුටි කන තැනැත්තේ ප‍්‍රකාශයක් කරමින් තමන් මර්වින් සිල්වා ඇමතිතුමා සමග අමනාපයක් නැතැයි ප‍්‍රකාශ කරයි.

පොලීසිය පවා මර්වින් දුටු විට බිය වෙයි. කැළණිය උඩින් කාක්කන් පියාඹන්නේ ද ලග පාතක මර්වින් නැති බව සැක හැර දැන ගැනීමෙනි.

මර්වින්ට ද වඩා පුරුෂයෙක් වෙන්නට දකුණේ පොරකට වුවමනා විය.

මර්වින්ට ද වඩා සුදුසුකම් ද සබදකම් ද ඔහුට වෙතැයි කියවෙ. පිරිස්බලයෙන් ද ඔහුට අඩුවක් නැත.

එහෙත් මර්වින් නොගිය රක්ෂිත බන්ධනාගාරයට යන්නට ඔහුට සිදුවුනේ ය.

මෙම වෙනසට හේතු පැහැදිලි කළ හැකි ජගතෙක් ඔනෑ කර තිබෙ. ඇමරිකාවෙත් ඔහොම තමයි කියා ලිස්සා යන්නේ නැති කම එකම සුදුසුකම ය.

මුතුහෙට්ටිගම සහ අනර්කලී- මෙ දෙන්නාගෙන් කවුදැයි ලොකු?

එක් පැත්තකින් මර්වින්ට සමකරන්නට හැකි චණ්ඩියෙකි. අනෙත් පැත්තෙන් සුකුමාර තරුණියකි.

එක පැත්තකින් වැඩිහිටි සිංහල බෞද්ධ පිරිමියෙකි. අනෙත් පැත්තෙන් හරියට සිංහලවත් කතා කර ගත නොහැකි සංකර ගැහැණියෙකි.

එක පැත්තකින් ගමෙ පොරකි. අනෙත් පැත්තෙන් පැරෂුට් එකකින් ගෙනත් ගොඩ බෑ කතකි.

එක් පැත්තකින් රජතුමාට නෑකමක් ඇති තැනැත්තෙකි. අනෙත් පැත්තේ රජතුමාට ඔනෑකමක් ඇති තැනැත්තියකි.

එක පැත්තක ගමෙ නියෝජිතයෙකි. අනෙත් පැත්තේ ජාතික දේශපාලන නායකයෙකුගේ අපිරිමිත ආශිර්වාදය ලත් කෙනෙකි.

එක් පැත්තකින් මහා වගාඩම්බර කියන පෝරිසාදයෙකි. අනෙත් පැත්තේ අපේ අනුකම්පාව යදින යුවතියකි.

අවසානය කුමක් වෙද?

දන්නේ මෙ රට පාලනය කරන උරුමක්කාරයින් පොල්මක්කාරයින් පමණ ය.

අපට හිතෙන හැටියට අවසානයේ ඔප්පු වනු ඇත්තේ මුතුහෙට්ටිගම යනු නොම්බර එකේ බූරුවෙකු බව ය.

ඒ අනර්කලී අවිහිංසක නිසා නොවෙ ඇය කාන්තාවක් වුව ද ඇය සංකර වුව ද ඇය පැරෂුට් වුව ද ඇයට ආශිර්වාද ලැබෙන්නේ ඉහලින් බැවිනි. සමහර ඔනෑකම් නෑකම් ඉක්මවන බැවිනි.

මෙම වාර්ථාව උපුටා ගත්තේ ඩෙලිමිරර් වෙබ් අඩවියෙනි.

Muthuhettigama, who has been in the crux of controversy lately with his run-ins with fellow candidate, film star Anarkalli Aakarssha,  had made allegations against the police service, calling it  ‘corrupt’ and had also charged that he had been attacked by them near a bus terminal in Galle.

He had also made allegations against the Presidential Security Division, saying that he had been ‘attacked’ by sixteen jeeps attached to the PSD, that had come to the Udugama area last week.

මුතුහෙට්ටිගම මෝඩයෙකැයි කීවෙ මෙතරම් දේශපාලනය කරලාත් ඒ බව අවබෝධ කරගන්නට බැරිව ඇති නිසා ය (ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන 16 ක්තමන් වටලා පහර දුන්නේ ඇයි දැයි ඔහු නොදන්නා තරමට බබෙකු නිසා ය).

රජු පක්ෂපාත වන්නේ සංකර පැරෂුට් කතකට වුවද රජුට පක්ෂපාත හෝ නෑකමක් ඇති පලියට සිංහල බෞද්ධ ගමෙ බයියෙකුට ඊට එරෙහි වන්නට බැරි ය. ගම ගැන ලස්සන සිහින මැවෙන යුගයක වුව ද රජු පරදවන්නට ගමෙ බයියලාට බැරි ය.

(ඇමරිකාවෙත් එහෙම තමා ය. ඉතින් අපි එහෙම වුනාම මොකද?)

« Previous entries