Archive for August, 2009

ජයග‍්‍රහණයේ රහස – පිදුරු

ඇවිදිල්ලා පිස්සු කෙල්ල -නෑ ගෙනැල්ලා වඩාගෙන සබයට

ඒත් අනේ හරි හුරතල්
තාරුණ්‍යයට කුමට හෙටක්
අදම දෙනව ලොකුම ඉඩක්
දැකලා ඒ තරුණ ජවය
තිරිහන් වෙල  මහල්ලනුත්

නලින් ද සිල්වා දැන් ලෙඩා
පූට්ටු කරගෙන මුඛය
දොඩා ගන්නත් බැහැ හරියකට
කිව්වට වචන – එන්නෙ නැහැ කටට

පිටවෙන්නෙ පශ්චාත්භාගයෙන් අද ටිකක් ගදට

චින්තනෙන් හැලිල ජාතික
නිකම්ම චින්තනෙත් නරකයැ
ලුණු දෙහි දාල ගත්තහම

බලහල්ලා බාං ලා – කෙලීගෙන් විද්‍යාමාන වන ඔය චින්තනේ නරක දැයි කියාලා

හෙළ උරුමය බුදි
කාලා වැඩිවෙලා

ගිහිගෙයින් කලකිරිල  යනවලු තපසට හෙට අනිද්දා

අනේ අපොයි වෙච්චි වැ‍ෙඩ්
හක්ගෙඩියත් පුපුරල
පිම්බට නැහැනෙ වෙනදා වගෙ සද්දෙ

පවට පින් දෙතෑකි ද- කට පියාගෙන හිටියොත් පිනම තමා

විමල්ට නම් ආසාවේ බැරිලු
අලුත් ආවාසෙ
රස්සාවයි ආරස්සාවයි දෙකම එකවර
පරණ පන්සල කඩා වැටෙන්න කලින් යම්තම් පැන ගත්ත
අප්සරාවන් වගේ ද මේ කෙලී
ගාටන්නට බැරිවුනු සීගිරිය බලාගෙන විමල් මොනවදෝ මුමුණනවා

ලස්සනයි මේ කෙලී- දැක්කත් මදැයි මේ කෙළී

එලිවෙන ජාමෙටලු
හොද නාඩගම් එන්නෙ
ඒක නොවැ මිනිස්සු කට ඇරන් බලන් ඉන්නේ

පොදි ‘කකා’ -ජයග‍්‍රහණයේ රහස – ‘පිදුරු’
නිමල් සිරිපාලගෙ කතාව හරි ය
බඩ පිරෙන්නම දෙනව නම්
ගිල දමනවා විනා,

රහ බලන්නෙ මක්කට ද?

බෞද්ධයින්ගේ පංච මහා බලවේගය නැතහොත් අනුකුලක පහ

මිනිසුන් නානාප්‍රකාර වනවිට බෞද්ධයින්ට නානාප්‍රකාර නොවී සිටිය නොහැකි ය. මේ නානාප්‍රකාර බෞද්ධයින් එක ගොඩක ලා සැළකීම යුතු නැත. ඒ නිසා ම නිසි වර්ගීකරණයක් කළ යුතු යැයි ‍අපට දැනිණ.

සමහර බෞද්ධයින්ට ආගම පුංචි ගනුදෙනුවකි. බෝධි පූජාවක් කොට බෝ ගසේ කොඩියක් එල්ලා මලක් පහනක් හදුන්කූරක් පත්තුකොට විභාග සමත්වීමක් ලෙඩ දුකකට පිළියමක් වැනි කුමක් හෝ පුංචි පහේ වාසියක් පැතීමෙන් ඔවුන්ගේ ආගම අවසන් වේ. එහෙත් පෝයදාට පන්සල් යාමත් පන්සලට සලාක දානය සැපයීමත් වැනි ආවතේව ද ගෙදර දොර මලින් හා පහනින් බුදුන් පිදීම ද ඔවුහු ජීවිතයේ පුරුද්දක් ලෙස කර ගෙන යති.

සමහර බෞද්ධයින්ට ආගම පුංචි ආභරණයකි. කාටත් පෙනෙන්නට පෝයට සිල් අර ගැනීමත් විලාසිතාවක් ලෙස භාවනා කිරීමත් තමන් ලබා ඇති මාර්ග ඵල ගැන කාටත් දැන ගන්නට සැළැස්වීමත් ඔවුන් අතින් ඉටුවේ. ඔවුන්ගේ බලාපොරොත්තුව සිල්වත් බව පෙන්වා සමාජයෙන් ලැබෙන ලාභයක් භුක්තිවිදීම ය.

තවත් බෞද්ධයින් පිරිසකට එය තමන්ගේ බහුතර අනන්‍යතාවය පෙන්වීමට අවස්ථාවකි. තමන්ගේ වාහනයේ බුදුන්ගේ දේශයයි ස්ටිකරයක් අලවා ගෙන ‍බෞද්ධ කොඩියක් ගේ ඉදිරිපිට එල්ලා ගෙන පුලුවන් නම් බුදු පිළිමයක් හන්දියේ තනවා නැතිනම් වැඩ කරන ආයතනය තුළ රදවා හැකි හැම තැනකම පෙරහැර පවත්වා බණ පින්කම් සංවිධානය කොට බෞද්ධාගම වඩාත් නිවැරදි යයි සංවාදද පවත්වා ජයටම බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින්නේ මොවුහු ය. ඔවුන්ගේ අභිලාෂය තමන්‍ නියෝජනය කරන්නේ වඩාත් ජනප්‍රිය වඩාත් ප්‍රකට වඩාත් නිවැරදි දේ යයි කියා ඒ තුළින් තමන්ට නැති අනන්‍යතාවයකට උරුමකම් කීම ය.

හතරවෙනි පිරිස බෞද්ධාගම සළකන්නේ තම ජීවිතය එලිය කර ගත හැකි තවත් එක් මාර්ගයක් ලෙස ය. ඔවුන් ආගම ගැන කියවන්නට ලැදි දැනගන්නට කැමති පිරිස ය. ආගම දෙස විචාරශීලීව බලන්නට ඒ අයට වුවමනා ය. ඔවුන් ආගම අල්ලා ගන්නට හදන්නේ මනසිනි. එහෙත් ඒ තව කෙනෙකුට කියා ලකුණු දමා ගැනීමට නොවේ. තමන්ගේ මග සකස් කර ගැනීමට ය.

පස්වෙනි පිරිස බෞද්ධාගම සළකන්නේ තමන්ගේ ඒකායන ජීවන මග ලෙස ය. ඔවුන් වල්වැද ආරණ්‍ය වාසීව බවුන් වඩමින් විමුක්තිය ලබා ගත හැකි මං සොයති.

ඉතින් මේ සියල්ල එක ගොඩට ලා සැළකීම වැරදි ය. බෞද්ධාගම සම්බන්ධයෙන් පමණක් නොව වෙන ඕනෑම ආගමක් සම්බන්ධයෙන් ද මෙය සත්‍යය වේ. වෙනත් ලෙසකින් කියන්නේ නම් මේ පංච මහා බලවේගය හැම ආගමක් මතවාදයක් සම්බන්ධයෙන් ද දැක ගත හැකි විභේදනයකි.

මින්මත්තට කෙනෙකු තමන් අහවල් ආගමෙ යනුවෙන් හදුන්වා දෙන විට ඒ ආගමෙ කවර අනුකුලකයේ දැයි පෙරලා ප‍්‍රශ්න කර දැන ගැනීම වඩා ණැනවත් ය. යහපත් ය. එවිට ගනුදෙනුව හා කතාබහ පහසු වනු ඇත.

මේ අප පාඨකයින්ගේ ශරීර හිතසුව පිණිස අප විසින් ගෙනෙන පුළුල් වැඩ සටහනක තවත් එක් කොටසකි.

හැම තැනටම හොරෙන් රිංගන්නට පටන් අරගෙන ය

පොලිස්පති තුමා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පොලීසියට නොගැලපෙන පිරිසක් හොර රහසේ රිංගා ඇති බැවින් ඒ අය ගැන සොයා බලා ඔවුන් ඉවත්කිරීමට පියවර ගන්නා බව යි.

මේ අතර මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ අවතැන් කදවුරුවලට හොර රහසේ ත්‍රස්තවාදීන් පිරිසක් ඇතුළුව ඇති බවට ආරංචි පැතිර ඇති බැවින් රජය ඒ පිළිබද සෝදිසියෙන් පසුවන බව ය.

හමුදාවට ද පාවා දෙන්නන් රිංගා ඇති බව ජෙයරාජ් ප්‍රනාන්දු ඝාතන නඩුවේදී හෙළි වෙමින් තිබේ. ඉහළම තැන්වල සිටි එවන් කිහිප දෙනෙකුම සොයා ගෙන දැනටමත් ඉවත් කර තිබේ.

පාතාලයට ද ළගදි නොසන්ඩාලයින් වගයක් එක්ව සිටි හෙයින් ඔවුන් සුද්ධ කිරීම ද මේ දිනවල කෙරී ගෙන යයි. ඊයේ ද එක් අයෙකු ඉවත් කර තිබිණි. පාතාලය සුද්ධකර වඩා පිවිතුරු පාතාලයක් නිමවීමේ කටයුත්ත මේ දිනවල විවිධ බාධක මැද්දේ එසේ ඉදිරියට යමින් පවතී.

මේ ප්‍රවෘත්ති දෙක තුනම එකම දවසේ ඩේලිමිරර් වෙබ් අඩවියේ (අගෝ 28) සටහන්ව තිබිණි.

අප දැන් බලා සිටින්නේ ඊළග ඇමතුම ලැබෙන තෙක් ය. එයින් කියන්නට නියමිතව ඇත්තේ ආණ්ඩුව තුළට ද වැද්ද නොගත යුතු ආකාරයේ අය හොර රහසේ රිංගාගෙන ඇති බැවින් ඒ අය ඉවත් කිරීමට ඉක්මන් පියවර ගන්නේය යන්න ය.

එය ලැබෙන ඇමතුමක් වෙයිද?

අප දන්නා තරමින් එසේ හොරෙන් රිංගා ගෙන ඇති අය ඉවත් කිරීමට දැනටමත් හොරෙන්ම පියවර ගෙන ඇත. ඒ නිසා එය එලිපිට කියන එකක් නැත.

වැඩි ප්‍රසිද්ධියක් නැතිව එසේ ඉවත් කර ගෙන යන අය අතර මහාචාර්ය දයාන් ජයතිලක පාලිත කොහොන සරත් ‍පොන්සේකා යන අය ද සිටිති. ඒ අප කාලයක් කළණ මිතුරන් සේ සළකා පසුව පයින් ගසා ඉවත් කරන ලද මංගල සමරවීර ශ්‍රීපති සූරියරච්චි පමණක් නොව සෝමවංශ අමරසිංහ වැනි අයට ද අමතරව ය.

ඉස්සරහට මෙසේ හොරෙන් රිංගා ගත් අයට ඉඩක් නම් ලැබෙන්නේම නැත. සුද්ධ කිරීමේ කාර්යය අරඹා ඇති බැවිනි.

වඩාත් භයානක වන්නේ මිතුරන් ලෙස සිටින සතුරන් බැවින් මිතුරන් ගැන විශේෂයෙන් සොයා බැලිය යුතු ය.

මේ ආණ්ඩුවත් එක්ක ඩබල්ගේම් බැරි ය. “එක්කෝ උන් අප සමග ය. නැත්නම් එවැන්නන් සිටිය නොහැකි ය”. එය ආණ්ඩුවේ නිල මතය බව දැනගන්නට ලැබී ඇත.

ප්‍රශ්නය මේ අප යනුවෙන් අදහස් කරන්නේ කවුරුන් ද යන වග ය. එය වඩාත් ප්‍රහෙලිකාවක්ව ඇත්තේ ආණ්ඩුව වෙනුවෙන් දරදිය ඇද දුන් අයම ඉවත් කරමින් ඉන්නා නිසා ය. උත්තරය සමහර විට දන්නේ දෙවියන් පමණකි.

ඔබත් ආණ්ඩු පාක්ෂිකයෙක් නම් ඔබේ ඉරණම දෙවියන්ගෙන් අසා දැන ගැනීම හොද ය. ඔබට සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි.

මැණික් ‍‍ෆාම් හි රකිනු ලබන සුවිශේෂී බිත්තර කාගේද?

මැණික් ‍ගොවිපල  යන නමින් හදුන්වනු ලබන ගොවිපලක් උතුරේ තිබේ. ඉතා ශක්තිමත් ආරක්ෂක විධිවිධාන යටතේ මේ ගොවිපොළේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අමුතු බිත්තර ජාතියක් රැකීමේ ව්‍යාපෘතියකි. විශේෂ මුරකාවල් මැද මහත් වුවමනාවෙන් කෙරෙන මේ කාර්යය සදහා සමහර රටවල සහය ලැබී ඇති අතර සමහර රටවල් මේ දිහා අමුතු ආකාරයකට බලති.

ඒ මේ බිත්තර විශේෂ නිසා ය. වෙන ගොවිපලවල නැති විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇත්තේ ද මෙහි ඇති විශේෂත්වය සළකා බලා විය යුතු ය. වෙන ගොවිපලවලට මෙන් නොව පූර්ව අවසරයකින් තොරව කිසිවෙකුට මේ ගොවිපලට යාමට නොහැකි සේ තහංචි පනවා ඇත්තේ ද මේ සු‍විශේෂත්වය නිසා ය.

මෙසේ වුවමනාවෙන් හදා වඩා ගනු ලබන මනා සෝදිසියකින් රකින පූර්ව අවසරයකින් තොරව නැරඹිය නොහැකි මේ කුමන ආකාරයේ බිත්තර ද?

මේ ලංකාවේ ඊළගට ඇතිවන කැරැල්ලේ බිත්තර ය.

දෛවයේ සරදමකට මෙන් ඒවා රැකීමට නියමිතව ඇත්තේ පැටවු එලියට ආදාක උන් මඩින්නට නියමිත කට්ටියටම ය.

මට නොතේරෙන කාරණය නම් හැදුවහම විනාශ කරන්නට නම් ඉන්නේ නොහදාම හිටියා නම් අහවර නොවේදැයි කියා ය. ඒත් ඉතින් ඕවා කාගෙන් අහන්න ද?

අනර්කලීගේ සුන්දර හෙළුව හා අනිත් උන්ගේ ජුගුප්සාජනක හෙළුව

මේ සටහන අප වෙන්කරන්නේ අනර්කලී නැමැති ගැහැණිය වෙනුවෙනි.

අනර්කලී මැතිවරණයට අවතීර්ණ වීම බොහෝ අයට ප්‍රශ්නයක් වී ඇත. ඇයට විරුද්ධත්වය පළවන්නේ විපක්ෂයෙන් පමණක් නොවේ. ඇය නියෝජනය කරන පක්ෂය පිටුපස ඇති බලවේග වලිනුත් ඇයට අවලාද හා විවේචන එල්ල වේ.

ඇයගේ මනාප ගණන හැකිතාක් අඩු කරලීමට වෙනම සංවිධානයන් පවා ක්‍රියාත්මක වේ.

අප අපගේ පාඨකයින්ගෙන් අසන ප්‍රශ්නය මෙසේ සිදුව ඇත්තේ ඇයිදැයි හිතා බලන ලෙස ය.

අනර්කලී  සිය හෙළුව එක්තරා ප්‍රමාණයකට ප්‍රදර්ශනය කළ ගැහැණියකි. අප නගන ප්‍රශ්නය නම් ඇගේ පිළේ අය අතුරින් හෙළුව ප්‍රදර්ශනය කර ඇති එකම තැනැත්තිය ඇය පමණක් ද යන්න ය.

ආණ්ඩුවේ ඉන්නා තරමක් ඉන්නේ ‍තම හෙළුව පමණට වඩා ප්‍රදර්ශනය කළ උදවියම ය. අපට බ්ලොග් සටහන් එකක් ඇර එකක් ලියන්නට ඉඩ සැළැස්වුයේ ඔවුන් ය. එවැනි අය කෙල්ලකගේ හෙළුවට මෙතරම් බිය වී ඇත්තේ ඇයි?

මේ කෙල්ලගේ හෙළුව අඩුම වශයෙන් සුන්දර ය. එහෙත් හෙළුව ප්‍රදර්ශනය කර ඇති බොහෝ අයගේ ඒවා බලන්නට බැරි තරම් ජුගුප්සාජනක ය.

හෙළුව දකින්නට බල කරනු ලැබූ ජනතාව තෝරාගනු ඇත්තේ බලය නිසා පිස්සු හැදී දුවන වදින පනින නටන වැඩිහිටි නන්නාන්තර පිරිමින්ගේ හෙළුවට වඩා අනර්කලීගේ හෙළුව ය. ඒ හෙළුව සුන්දර නිසා ය. ඇගේ පිළේ බොහෝ දෙනෙකේගේ ඉහමොළ රත්ව ඇත්තේ මේ හේතුව නිසා ය.

බැරිවෙලාවත් ඇයට වැඩිම මනාප ලැබ‍ුනොත් (නොලැබෙන්නට ඉඩක් නැත) හෙළුව පෙනෙන්නේ ඇගේ නොව ඇය පෙනී සිටින සමස්ථ බලවේගයේ ය. විශේෂයෙන් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම් කර මෙය බාලයින්ගේ දිවයිනක් කරන්නට හැදූ සදාචාර පොලීසියේ ය. 

ඇයගේ ආගමනයම ඔවුන්ගේ නොසතුටට හේතුව තිබේ. එහෙත් ලොක්කාට එහෙම එකක් නැත. සදාචාරයත් අනර්කලීත් එක මේසයේ හිදුවාගෙන මතට තිත ගැන දේශනයක් ‍ද දෙමින් බලය සිතුසේ වැළදිය හැකි ය යන්න ලොක්කා දනී. ජනතාව අතිශය ලෙස මත්කර ඇති නිසා උන්ට මේවා ගැන හොයන්නට තවදුරටත් ඕනෑ නැත.

ලොක්කාට තියෙන මොළයෙන් කළදක් අන්තාවේසිකයින්ට නැත. උන් සීරියස් පිට සදාචාරයේ ය. ලොක්කා විහිළුවට කරන දෙය සීරියස් ගන්නා අයට අනර්කලීගේ ආගමනය මොළය කොළොප්පම් කරන සුළු ය.

අනර්කලී නොව පොල්පිත්තක් තිබ්බත් දිනන ආණ්ඩුවක් අනර්කලීගේ සරණ යන්නේ ඇයිදැයි අනර්කලීගේ ආගමනයෙන් උඩුකුරුඤඤව ඉන්නා සාදාචාරවාදීන්ට පැනයකි.

ඒ පැනයට උත්තර අප නොදුන්නාට මේ බ්ලොග්අඩවියට පිවිසෙන බොහෝ අයට දිය හැකි ය. අපි ඔවුන්ට සවන් දෙමු.

ලංකාව ලෝකයට හඳුන්වාදීමට සුදුසු නමක් – tag line එකක්

ලංකාව ලෝකයට හඳුන්වාදීමට සුදුසු නමක් සෙවීමේ කාර්යයේ මේ දිනවල අපේ කට්ටිය යෙදී සිටිති.

සුදුසු නමක් යෝජනා කරන ලෙස ඉල්ලා සංචාරක අමාත්‍යංශය නොබෝදා ජනතාවගෙන් ආයාචනයක් ද කර තිබිණි. අපිදු ඒ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වන්නට මෙම උත්සහයට කිසියම් අනුග‍්‍රහයක් දක්වන්නට සිතුවෙමු.

“වෙන කොහේවත් නැත මෙහෙම කොදෙව්වක්” එක් යුගයක අපේ රට හඳුන්වාදීමේ පාඨය විය. ඇත්තටම එය සනාථ කරන්නට අපි හැසිරුනෙමු. හැම බ්ලොග් කඩමාල්ලක්ම මේ නම විහිලුවට ගෙන සටහන් ලියන්නට පටන් ගත්තෙන් අලුත් නමක් හොයන්නට කට්ටියට සිදුවිය.

ඊට පසු මිලියන 18 ක් ගෙවා බොහෝ උත්කර්ශවත් ලෙස හඳුන්වාදීමේ අලුත් පාඨයක් ගොඩ නගා යොදා ගන්නා ලදී.  එයින් කියවුනේ පුංචි විශ්මය කියා ය.

එහෙත් අපේ රටේ පොඩි වැඩ කරන අය නැත. මෙය ලෝකෙන් උතුම්ම රට ය. ඒ නිසා කට්ටියට මේ නම දිරවා ගත නොහැකි විය. දැන් සොයමින් සිටින්නේ මීට වඩා ටිකක් හයිය නමක් ය.

ලොකුම විහිලුව කියා දමන්නට පුලුවන. විහිලු දැකීමට කැමති අය මෙහි එන්නට පුලුවන් නිසා ය. විහිලු සැපයීමේ අවසානයක් නැති තරමට ජනතාවට විහිලු සපයන පාලකයින්ගෙන් අපට අඩුවක් නැති නිසා එය නොගැලපෙන්නේ ද නැත.

ලොකුම අනාථ කඳවුර කියා දමන්නට ද පුලුවන. ඒ උතුරේ සහෝදර ජනතාව වැඩි දෙනෙක් අනාථ කඳවුරු වල සිටින නිසා ම නොවේ. අප බොහෝ දෙනෙක් ද අනාථව ඇති නිසා ය. එහෙත් අනාථ කඳවුරු බලන්නට එන්ජීඕ කාරයෝ ඇරුණහම එන කෙනෙක් නැත. උන් කොහොමටත් අපට අරහන් නිසා ඒ නමින් කාරි නැත.

ලොකුම සොමිය කියා දමන්නට ද පුලුවන. මෙහෙම සොමියක් ඇති රටක් නැති බැවිනි. වැරදි කර නිදහසේ ඉන්නට පුලුවන. හදිසියේ රක්ෂිත බන්ධනාගාර ගතවුවත් ගෙවන වාට්ටුවක නවතින්නට පුලුවන. මුකුත් නොකර මාසේ අන්තිමට පඩි ගන්නට පුලුවන. මෙහෙව් සොමි දේශයක් තිබිය හැක්කේ කොහි ද? ඒ නමේ නම් පොඩි ජොලියක් තිබෙන්නට පුලුවන. එහෙත් අප සොයන්නේ පොඩි එකක් නොවේ. ටිකක් ලොකු එකකි.

ලොකුම කැබිනට්ටුව කියා ඕනෑනම් නම් කළ හැකි ය. එය ආකර්ෂණීය නොවේ නම් ඇබෑර්තු ඇත කියා අගට එක්කළ හැකි ය. පළමුව වැන්න වැඩ කළේ නැත්නම් අතුරු පාඨය වැඩ කරන්නට ඉඩ තිබෙන බැවිනි.

ලොකුම බොරුව කියා ද නම් කළ හැකි ය. බොහෝ රටවල නැති නිසා එවැන්නක් දැකීමේ ආසාවක් සංචාරකයින්ට වුව ඇති විය හැකි ය.

ලොකුම හීනය කියා දමන්නට ද පුලුවන. හීන දකින අය දවල් පවා හීන දකින අය ඉන්නා රටක් නිසා ඒක ටිකක් හරියන්නට පුලුවන.

ඒ වුනාට හයියට එකක් තාම ලැබුනේ නැත . ඔබ ළග මීට වඩා හොඳ නම් තිබෙන්නට පුලුවන. එකක් මතක් වුනොත් මෙහෙටත් එවන්නට පුලුවන් ය.

හරි නමක් ලැබුනොත් ඒක එලාගෙන බුදියගන්නවත් බැරියැ සද්ද කොරන එක නවත්තලා. මෙ බ්ලොග් කඩ මාල්ල පවත්වාගෙන ගිහිල්ල දැන් හොඳටෝම මහන්සිත් නෙවැ.

ජන මාධ්‍ය පිළිබද කැබිනට් නොවන ඇමතිගෙන් පොලිස්පතිට නියෝග

කැබිනට් නොවන ජන මාධ්‍ය ආමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පොලීසිය තුළ සිදුවන අකටයුතුකම් හා නොපනත්කම් ගැන පොලිස් කොමිසමට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිට උපදෙස් දී තිබේ.

මෙයින් පෙනී යන්නේ 

  • හොර රහසේම අමාත්‍ය ධුරවල ‍විශාල වෙනසක් සිදු කර ඇති බව ය.
  • පොලිස් දෙපාර්තමේන්තුව ජන මාධ්‍ය තුළ ඇතිකරන අති විශාල බලපෑම හේතුකොට ගෙන එම දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත කර ඇති බව ය.
  • තම‍න්ගේ අමාත්‍යංශය කුමක්දැයි ජනමාධ්‍ය ඇමතිට අමතකව ගොස් ඇති බව ය.
  • පොලිස්පතිට නිසි බලධාරියෙක්ගේ හරි උපදෙසක් නොලැබෙන නිසාත් ජනමාධ්‍යවේදීන් ඒ ගැන ප්‍රශ්න කරන්නේ තමන්ගෙන් නිසාත් ඒ කටයුත්ත අවසරයක් නැතිවම තමන්ට පවරා ගන්නට එතුමා තීරණය කර ඇති බව ය.
  • වැඩේ වෙනවා නම් කවුරු කරහම මොකදැයි එතුමාට සිතුන බව ය.
  • ජනමාධ්‍ය සමග සම්බන්ධ වූවිට ඕනෑම වැඩක් ආතල් පිට කළ හැකි නිසා පොලීසිය ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවතිය යුතු යැයි ලොක්කා තීරණය කර ඇති බව ය.
  • ඇත්තටම වුනේ මොකක් වුනත් සිද්ධ “විය යුතු” ආකාරයට යම් යම් දේ වාර්ථා කිරීමේ ජනමාධ්‍ය සතු කුසලතාව පොලීසිය සම්බන්ධ‍ මේ අර්බුදයේද භාවිතයට ගත හැකි නිසා එසේ කළ බව ය.
  • ජනමාධ්‍යවලට කතා කිරිමට මාතෘකා සැපයීමේ වගකීම ජනමාධ්‍ය ඇමති හැටියට එතුමා සතු බව එතුමා තේරුම් ගෙන ඇති බව ය.
  • පොලීසියේ ප්‍රශ්න තිබුනත් ඒවා ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොවන තාක් ඒවා ප්‍රශ්න නොවන නිසා පොලීසිය “නිවැරදි” කළ හැක්කේ ‍”නිවැරදි” ජනමාධ්‍ය භාවිතය තුළින් බව ලොක්කා පසක් කර ඇති බව ය.
  • මේ සියල්ල වන්නේ අපේ අහේතුව නිසා බව ය.

මහින්ද රත්නතිලක මහතා පින් තකා මැදිහත් වෙයි. ඒ පින් අපිත් සමාදම් වෙමු.

මහින්ද රත්නතිලක මහතා පොලීසියට පැන පොලිස් අත්අඩංගුවේ සිටි සිය හිතවතෙකු උස්සා ගෙන ගොස් තිබේ.

මේ ගැන විවිධ අය විවිධ කතා කියති.  ඒවා වලින් ලංකාවේ ජන ජීවිතයේ විවිධ පැති කඩ නිරාවරණය වෙයි. ඒ නිසාම ඒවා විමසන්නට වටී.

ඔහු මේ නිදහස් කිරීමේ මානුසීය මෙහෙයුම දියත් කළේ

  1. තමන්ගේ ඥාතියෙකු වූ නිපුනට පොලීසිය කළ හදිය හොදින්ම දන්නා නිසා එවන් දෙයක් තම හිතවතෙකුට නැවත සිදු නොවිය යුතු යයි ඔහු විශ්වාස කළ නිසා ය
  2. පොලීසියේ රාළහාමි කෙනෙක් හප්පා ගෙන ගිය විට දඩුවම් ලැබෙන්නේ උසාවියේ නොව පොලීසිය ඇතුළේදීම බව එතුමා අසා ඇති නිසා ය
  3. හිතවතෙකුව පොලිස් කූඩුවකින් නිදහස් කර ගැනීමටවත් බලයක් නැත්නම් මේ ඇමති කම කිරීමේ තේරුමක් නැති නිසා ය
  4. මහින්ද රත්නතිලක මහතා මාධ්‍යවල මිත‍්‍රයෙක් නිසා හොද ප‍්‍රවෘත්තියකින් ඊට සංග‍්‍රහ කිරීමට කල්පනා කළ නිසා ය
  5. ඇත්තටම මේ රජාගේ පාලන කාලය තුළ රටේ මොනම පාලනයක්වත් නැතැයි රටට ම මදිවාට ලෝකයට ද හෙළිකිරීම තම යුතුකම යැයි ඔහු විශ්වාස කළ නිසා ය
  6. ඇත්තටම නීතිය ක‍්‍රියාත්මක කළ යුත්තේ දේශපාලනඥයින් විසින් බවට බොහෝ ආදර්ශයන්  තමන්ගේ කැබිනට් සගයින් විසින් ලබා දී ඇති නිසාත් ඒ පිළිබදව මහතැන මෙතෙක් මුණිවත රැක ඇති නිසා ත් ය
  7. මේ රටේ ඕනෑම බඩ කඩුත්තුවක් කර බේරී යාමට පුලුවන් නිසා ය
  8. වැදගත් වන්නේ ක‍්‍රමය හෝ ක‍්‍රමවේද ය නොව අවසන් ඵලය නිසා ය
  9. අමාරුවේ වැටුණ හිතවතෙකුට උදව්වක් කිරීම  පුණ්‍ය කටයුත්තක් නිසා ය
  10. මැතිවරණයකදී  ඡන්දය ලැබෙන්නේ තමන්ගේ ඡන්ද දායකයින්ගෙන් පමණක් නිසා කොළඹ ටික දෙනෙක් පුංචි සද්දයක් දැම්මාට කලබල විය යුතු නැති නිසා ය
  11. නීතියේ ආධිපත්‍ය පිහිටුවන්නට කලින් තව බොහෝ දේ මේ රටේ කළ යුතුව තිබෙන නිසා ය
  12. මහින්ද රත්නතිලක තාම රහත්වී නැති නිසා ය. අඩුවශයෙන් එතුමා වැස්සකටවත් දහම් පාසලකට ගොඩ වී නැති නිසා ය (හෙට අනිද්දා සබරගමු පළාත් සභාවේ බල ප්‍රදේශය තුළ ඉරිදා ටියුෂන් පන්ති තහනම් කිරීමට තීරණය කර ඇත්තේ සබරගමුවෙන් ආරංචි වන මෙවැනි අලුගේත්තුරු වැඩ නිසා යයි විරුද්ධවාදීන් ගොතන කතා නම් විශ්වාස කළ යුතු නැති තරම් ය. ඇත්තටම මේ සිද්ධීන් අතර මොනම සම්බන්ධයක් වත් නැත).
  13. අන් බොහෝ දේශපාලනඥයින් මෙන්ම මහින්ද රත්නතිලක ඇමති තුමාත් නීතිය ගැන දන්නේ නැති නිසා ය. දැන ගෙන හිටියා නම් මෙහෙම වැඩක් කරන්නේ නැත.
  14. මහින්ද රත්නතිලක ඇමති තුමා සිතන්නට ඇත්තේ මර්වින්ට කළ හැකි නම් තමන්ට කළ නොහැක්කේ ඇයි ද යන්න ය. එතුමාට වැරදුනේ එතැන ය.
  15. එළිපිට තම ගෝලයින්ට බොරුවට බණින්න අවස්ථාවක් ලබා දීමෙන් ලොක්කාගේ ප්‍රතිරූපය පුම්බන්නට ඕනෑ කළ නිසා ය. බැන්නත් මුකුත් නොකරන නිසා බැණුම් අහන්න ලැබීම මහා ලොකු දෙයක් නොවේ. දේශපාලනඥයින් හැමදා බැණුම් අහන නිසා මේ කණින් අසා අනෙත් කණින් පිට කිරිමේ කලාව එතුමා ප්‍රගුණ කර ඇත්තේ කලකට ඉහත දී ය.

යුක්තිය පසිදලීමේ කාර්යය අධිකරණයෙන් ඉවත් කොට රජතුමා බාර ගෙන වත්ද?

අප හිතුවේ අප රටේ නඩු අසා දඩුවම් පමුණුවන්නේ නඩුකාරවරුන් ඉන්නා අධිකරණයකින් කියා ය.

ජනාධිපති තුමා අගුලාන මිනීමැරුමේ චුදිතයින්ට දිය හැකි උපරිම දඩුවම දෙනවා යයි කියන්නේ ඒ අධිකරණ ආසනයේ වාඩිවී නඩු ඇසීමට තෙමේම ඉදිරිපත් වීමට අපේක්ෂිත නිසා ද?

තමන්ගේම වැරදි නිසා ආයතන ආම්බන් කර ගන්නට බැරිව ලතැවී ඉන් ඇතිව තිබෙන ලජ්ජාව වහ ගන්නට ද?

මියගිය තරුණයන් දෙදෙනාගේ දෙමාපියන් ඉදිරියේ එසේ පාරම්බානවා ඇරෙන්නට වෙන කරන්නට දෙයක් නොවූ නිසා ද?

නැත්නම් මුකුත් නොදන්නා බබ්බුන්ගේ රටේ බබා පාට් එකක් දමා හීන් ජොලියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ද?

ඉස්සර කාලයේ නම් යුක්තිය පසිදලූවේ රජවරුය. හැමෝම මහරජාණන් යයි තමන් අමතන නිසා යුක්තිය පසිදලිමට වෙනම අධිකරණ ඇතැයි එතුමාට අමතක වී ගියා වත් ද?

ජනාධිපති තුමාගේ ඉහත ප‍්‍රකාශය අපට ඉතිරි කරන්නේ එවැනි උත්තර නැති ප‍්‍රශ්න ය.

අපට ඇති ලොකුම හිතේ අමාරුව රටම ගොනාට අන්දාගෙන රජකම් කිරීම නොවේ. නොනවත්වා අපව ගොන්නුන්ට ඇන්දීමට ගන්නා උත්සහයට ය.

කසාපබ්බතගේ සෑම්පලය රජතුමාගේ කොන්දට තව වතාවක් අනියි

කසාපබ්බත රජතුමාගේ කොන්ද පරීක්ෂා කිරීමට හැදුවේ විදේශ ඇමති රෝහිත බොගොල්ලාගම මහතාගේ නොපනත් විය පැහැදැම් ගැන ජනාධිපති යමක් කරන්නේ ද නැත් ද යන කාරණය ඉදිරියට ගනිමිනි.

එහෙත් කසාපබ්බත ගේ අපේක්ෂාව ඉටු වුනේනැත. ඒ ගැන වගේ වගක් නැතිව කසාපබ්බත දිගටම වෙනත් දේ ලියයි.

දැන් රෝහිත අලුත්වැඩකට ද අත ගසා ඇත. ඒ සිය පවුලේ උදවිය සමග කළ කෙන්යා සංචාරය සදහා විදේශ අමාත්‍යංශයෙන්  මුදල් ලබා ගැනීමට ය.

කසාපබ්බත දිනපතා පාහේ උපුටා දක්වන දිවයින පත්තරයට අනුව (අගෝස්තු 24 දින මුල් පිටුවේ අතිශයින් කුඩා මුල්ලක) මේ ගමන නම් රෝහිතගේ වෑයම සාර්ථකව තිබේ.

ඇත්තටම කසාපබ්බතට මා යෝජනා කරන්නේ රජතුමාගේ කොන්ද පරීක්ෂා කිරීමට තමන් ගත් සෑම්පලය වැරදි බව එලිපිට පිළිගෙන වෙන සාම්පලයක් යෝජනා කරන ලෙස ය.

මොන සෑම්පලයක් ගත්තත් වන්නේ ඔය ටික බව සැබෑ ය. එහෙත් ගත් සාම්පලය නිරතුරුවම මේ පරීක්ෂාව මතක් කරන එක ටිකක් අප්සෙට් වගේ ය. රජතුමාට නැතත් කසාපබ්බතට එය හරි නැත.

« Previous entries