වාමාවර්ථව කරකවා නැවත දක්ෂිණාවර්ථව ආපසු කරකැවීම හරහා නැවතත් මුල් තැනට පැමිණීමේ කලාව

වරක් දකුණට කරකවා රවුම් භාගයක් යන අපි ඊළග මොහොතේ වමට කරකවා නැවත රවුම් භාගයක් යමු.

එවිට අපට මුල් තැන නැවත හමුවේ. මෙසේ අවුරුදු 26 කට පසු නැවත 83 වෙතට ආවෙමු. ඒ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙනි.

අධිකරණය සම්බන්ධයෙන් දැන් අවුරුදු 11 ක් නැවත ආපස්සට යාමට අපට සිදුව තිබේ.

ව්‍යාවස්ථාදායක මණ්ඩලයක් පත් කර ස්වාධීන කොමිසම් සභා පත් කළ අපි දැන් නැවතත් ව්‍යාවස්ථාදායක මණ්ඩලය අමතක කර පාලනය ගෙනි යමු. එහිදී අප පිවිසියේ අවුරුදු 9 ක් පැරණි තැනකට ය.

ජාත්‍යන්තර අරමුදලේ ප්ල්ග් ගැලවූ අපි එය නැවතත් ගසා ගැනීමට සෑහෙන උත්සහයක නියැලුනෙමු. තවම එය අත්හැර දමා නැත. බැරිවෙලාවත් එය ‍සාර්ථක නොවුනහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නැවත පලු පැලෙන්න බණින්නට අපට පුළුවන.

රක්ෂණය ජනසතු කළ අපි එය නැවත පුද්ගලීකරණය කළෙමු. පුද්ගලීකරණය කළ රක්ෂණය නැවත ජනසතු කෙරුවෙමු.

13 සංශෝධනය යටතේ බලය බෙදු අපි එය අකුලා දමා නැවත බලය නතු කර ගැනීමට කැමැත්තෙන් සිටිමු.

ජනපදකරණය නිසා යුද්ධයක් ඇතිකර ගත් අපි නැවත ජනපදකරණය ගැන අපේක්ෂා ඇතිව සිටිමු.

නැවත නැවතත් මුල් තැනට පැමිණිම නිසා ඉදිරියට පමණක් දුවන අයට සාපේක්ෂව අප සිටින්නේ බොහෝ පිටුපසිනි.

අප පිටුපසින් සිටි රටවල් කීයක් අප පසු කරගෙන මේ වන විට ඉදිරියට ගොස් ඇත් ද?

1960 වසරේ අපට වඩා ඉදිරියෙන් හිටියේ රටවල් 70 කි. 1977 වනවිට රටවල් 41 අප පසු කර ගෙන ගොස් සිටියේ අප 111 වෙනි තැනට පත් කරමිනි. 1993 වන විට තව රටවල් 15 ක් අප පසු කරගෙන ගොස් තිබිණි. 2006 වන විට තවත් රටවල් 17 ක් අප පසු කරගෙන ගොස් තිබිණි. වෙනත් විදිහකින් කියන්නේ නම් 1960 සිට ගත වූ අවුරුදු 46 තුළ අප පසු කරගෙන ගොස් තිබෙන රටවල් ගණන 73 කි.

මේ සංඛ්‍යා ලේඛන ලබා ගත්තේ Nationmaster වෙබ් අඩවියෙනි. එහි ඇත්තේ 1960 සිට 2006 වනතෙක් සංඛ්‍යාලේඛන පමණකි. 1948 සිට 2009 දක්වා සංඛ්‍යාලේඛන ගත හැකිව තිබුනේ නම් නිදහසින් පසු යුගයේ අපේ කෙරුවාවන්ට පින් සිදුවන්නට අප පසු කර ගෙන ගොස් තිබූ රටවල් ගණන මීට වඩා බොහෝ සෙයින් වැඩිවන්නට තිබිණි. මේ යන විදිහට තව අවුරුදු කීපයකින් අප 200 වෙනි ස්ථානය ලබා ගැනීමට වුව දුෂ්කර නොවන්නට ඉඩ තිබේ.

හෝදා හෝදා මඩේ දැමීම නිසා අපගේ උත්සහයන් වතුරේ ගොස් ඇත් ද? අප මේ ‘සංසාර’ චක්‍රයෙන් ගොඩ එන්නේ කවදා ද? උත්තර නැති ප්‍රශ්න ලෙස මේවා ඊලග පරම්පරාවට ඉතිරි කර තබමු ද?

මේ ප්‍රශ්න නගන්නන් දේශද්‍රෝහීන් කිරීමෙන් හෝ උන් මරා දැමීමෙන් මේ නාරාවලෙන් ගොඩ එන්නට පුලුවන් වනු ඇතැයි සිතන්නන් ගැන අපට ඇත්තේ අනුකම්පා කිරීමට පමණකි.

9 Comments »

  1. Modern-Traitor Said:

    රට පෙරට..

    ජනාධිපති ධුරය වෙනුවට මහ රජානන් කෙනෙක් ඉල්ලා අපි අවුරුදු 1500 ක් පමණ පැරනි, රටේ ජනතාවට වෙනුවට ඔවුන්ගෙන් යැපෙන සුලුතරයකට වරප්‍රසාද ලැබෙන පාලනයක් ඉල්ලා සිටියෙමු.

    අධිකරණයේ බලය රජ්ජුරුවන්ගේ නෑදෑ හිතමිත්‍රාදීන්ට, මැති ඇමතින්ට පවරා ඔවුන්ට කියා නඩු නීතිය ක්‍රියාත්මක කිරීමේ පැරනි ක්‍රමයද අපි හිරිකිතයකින් තොරව සාධාරණීකරණය කලෙමු.

    රට බේරාගත්තේ යයි කියන ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් රට තුල කිරීමේ බලයද අපි පවරා ඇත්තෙමු (කලින් තිබුනු විදියට රට තිබුනා නම් මේ වනවිට ලකාව ඉවර වීමට ඉඩ තිබුනු නිසා රට බේරාගත් අය
    කුමක් කලත් කම් නැත ).

    සමහරෙකුට නොතේරුනාට, “රට පෙරට” යයි කීවේ එහෙයිනි.

    • beyondframe Said:

      ඔබ හරි ය

      පිටුපසට හැරී පෙරට යන විට යන්නට වන්නේ පස්සට ය

      එහෙත් හැරී ඇති නිසාත් ඉස්සරහට යන බව පෙනෙන්නට තිබෙන නිසා ත් මේ කට්ටියට පස්සට යන බව දැනෙන්නේ නැත

      අපේ රටේ ශෝචනීය උරුමයව ඇත්තේ එයයි

  2. පසුගිය වසර 30ක යුද්ධය නිසා රටේ සංවර්ධනය අඩාල වූ බව නම් පිළිගත යුතුය. 1970-77 කාලයේ අනුගමනය කළ ක්‍රමය දිගටම පවත්වාගෙන ගියා නම් සමහර විට අපට ගොඩ එන්නට හැකියාව තිබුනි. නමුත් අදූරදර්ශී පාලනයත්, රටට කලින් බඩ ගැන සිතනා නරුම මිනිසුන් නිසාත් ජේ.ආර්. පප්පා ට බලයට පැමිණ රට කන්නට හොඳ අවස්ථාවක් ලබා දෙන ලදී

    සංවර්ධනය මනින එකම සාධකය දළ දේශීය නිශ්පාදිතය පමණක්ම නොවේ. මෙයට වඩා හොඳ නිර්නායකයක් ලෙස සළකන්නෙ මානවා සංවර්ධන තත්ව දර්ශකයයි. ශ්‍රී ලංකාව මේ අතින් 104 වන ස්ථානයේ ඇත. මා.සං.ත.ද. ගැනද විවේචන ඇත්තේ එය රටක පරිසර, සාමාජයික කරුණු සැලකිල්ලට නොගන්නා බැවිනි. භූතානයේ රජු දළ ජාතික සතුට නොබලන්නේ මන්දැයි වරෙක ඇසුවේ මේ නිසා විය යුතුය.

    මූලාශ්‍රය: http://en.wikipedia.org/wiki/List_of_countries_by_Human_Development_Index

    • beyondframe Said:

      මිගාර මහත්තයෝ තත්වය තවත් ශෝචනීය වන්නේ එවැනි ප්‍රබල මානව සංවර්ධන තත්වයකට උරුම කියද්දීත් අප පසු කර බොහෝ රටවල් වේගයෙන් ඉදිරියට යාම ය

      එවැනි ප්‍රබල මානව සංවර්ධන දර්ශකයකට උරුම කම් කියද්දීත් ප්‍රශ්න විසදා ගැනීම සදහා මෘග බලයම පාවිච්චි කිරීමට අපට සිදුව තිබීම ය

      අප සමග එක පෙලට සිටින්නේ සිටින්නේ අප්‍රිකාවේ නොදියුණු රටවල් දකුණු ආසියානු සහෝදරයන් හා මෑතක් වන තුරු සමාජවාදය අත්හදා බැලූ රටවල් වීම ද මිගාර මහත්තයාගේ සැළකිල්ල සදහා යොමු කිරීමට කැමැත්තෙමු

      • තත්ත්වය පැහැදිලියි. මේ සියල්ලේම මූලය වනුයේ 1971 සිට අප රට මුහුණ දුන් කැරළි තුනයි. එමගින් රටේ දියුණුව වසර 50කින් පසුපසට ඇද දැමුවා යයි කීවොත් නිවැරදිය. අද අප අත් දකින හිරිකිත වූ දේශපාලන සංස්කෘතිය බිහිවූයේ ඊනියා නිජබිමත්, පන්ති සටනත් මතින් තම ප්‍රතිරූපයන් මවා ගැන්මට උත්සාහ කළ අයවළුන් මගිනි. ඔවුන්ගේ කෘරත්නය මැඩීමට රජයටත් කෲර වීමට සිදු විය. රටේ පාලකයන් සිටි තැන මා සිටියත් beyondframe සිටියත් මෙයට වඩා මානුෂික විකල්පයක් ලැබෙනු ඇතැයි මම නොසිතමි.

      • beyondframe Said:

        කුමන කණ්ඩායමකට වරද පැටවුව ද ඒ සියල්ල පාලනය කර ගැනීමට නොහැකි වීමේ වරද සමාජයක් හැටියට අප බාර ගත යුතු ය

        එසේ වූයේ ඇයි දැයි සෙවිය යුතු ය

        එවැනි දෑ නැවත මතු නොවීම සදහා අපට කුමක් කළ හැකි දැයි සෙවිය යුතු ය

        නොවන්නේත් එයම ය

        රට ම නාඩගමක් වන විට මිනිසුන් කැරලි නොගසාවි යයි සිතන්නෝ අමනයෝ ය

      • SC Said:

        @ මිගාර

        අපේ රටට පිටුපසට යන්නට සිදුවූනු කරුණු ලෙස ඔබ දක්වා ඇති සියල්ල අවස්ථාවාදී දේශපාලනයේ පලවිපාක බවටකිසිදු විවාදයක් නැහැ. ඒවාට පාට ගෑමට යෑම බොළද ක්‍රියාවක්. එත් ඊට විසදුමක් ලෙස ඔබ යෝජනා කරන්නේත් අවස්ථාවාදී දේශපාලනයමයි.
        විසදුමක් කෙසේ වෙතත් ඉස්සරහ සහ පස්ස පැහැදිලිව හදුනා ගැනීමට උත්සාහ ගන්නා ලෙස මම ඔබට යෝජනා කරමි.

  3. අම්බලං කොණ්ඩයා Said:

    මිගාර මහත්තැන් හරි බං. අපට කන්ඩ නැතුව සාගින්දරේ මැරන්ඩ ගියත් සිංහල වංශය කබල් ගගා සොමියේ ඉන්ඩ තමා ඕනෑ. කොහේද මේ ජේ. ආර්. පප්පා ඇවිත් අපට කන්ඩ දීල ඒ සොමිය නැති කලානෙ.

  4. අවලං කොණ්ඩයා හිතන්නෙ උගේ ශ්‍රී උදරය ගැන විතරයි.


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment