Archive for July, 2009

අලි පටලැවිල්ල

මල්වතු අස්ගිරි උභය පාර්ශවය නියෝජනය කරන මහනාහිමි වරුන්ට පවා නැති ළතෙත් ගතියක් අපේ ජනාධිපති තුමන්හට ඇතැයි එතුමා පැහැදිලිව රටටම පෙන්වා දී ඇත.

ඒ අලි පටලැවිල්ලට තමාම මැදිහත්වීමෙනි.

මෙම අලි පටලැවිල්ල නිසා මෙවැනි තවත් බොහෝ අපූරු දේ උගන්නට අපට හැකිවිය. ඒ අතර පහත දැක්වෙන දේ ප‍්‍රධාන ය.

  1. දියවඩන නිලමෙ තුමා වනජීවි දෙපාර්තමේන්තුවට වඩා බලවත් බව ය.
  2. කොටි අතුගා දැමීමත් සමග මිනිසුන්ගේ ප‍්‍රශ්න විසදී ඇති නිසා දැන් අපි වන ජීවින්ගේ ප‍්‍රශ්න දෙස බැලිය යුතු බව ය.
  3. දරුවෙකු මවකගෙන් වෙන් කරන්නේ පුන්‍ය කටයුත්තකට නම් එහි බරපතල පවක් නැති බව ය.
  4. අත දරුවන්ට කිට්ටු වයසේ දරුවන් පවා සාසනයට පුදන රටක අලි පැටියෙකු පිදුවාට  ගණන් ගත යුත්තක් නැති බව ය.
  5. අපේ ජනතාව උතුරේ අවතැන් ජනතාවට දක්වන අනුකම්පාවට වඩා වැඩි අනුකම්පාවක් අලින් සම්බන්ධයෙන් දක්ව න බව ය.
  6. ලංකාවේ මාධ්‍යවලට ජනතාවගේ හදවතට දැනෙන යමක් කතා කිරීම සදහා අලුත් මාතෘකා සොයා ගන්නට තිබෙන බව ය.
  7. එන්ජීඔ් කාරයෝ බෞද්ධයින් පෙරහැර කරනවාට අකමැති බව ය.
  8. ජනාධිපති තුමා මේ වතාවේ නම් එන්ජීඔ් උගුලට අසුවී ඇති බව ය.

ප‍්‍රශ්නය කෙතරම් ව්‍යාකූල ද යත් ජනතාවට පැත්තක් ගත නොහැකිව අතරමංව තිබේ. අලි පැටියාගේ පැත්ත ගත්තොත් පන්සල අසරණ වෙන්නේ ය. පන්සලේ පැත්ත ගත්තොත් ජනපති වැරදි කාරයෙක් වෙන්නේ ය. මග හිටියොත් තමනුත් ගෙදර ගියොත් අඹුත් නසින්නේ ය.

හත්වලාමේ, දැන් ඉතින් මොකද කරන්නෙ?

වැඩේ දුර දිග යන පාටය! ගුරුවරුන්ටත් ජංගම දුරකථන එපා!

පාසල් ශිෂ්‍යයින්ට දමන ලද ජංගම දුර කථන තහංචිය තවත් ඉදිරියට ගෙන ගොස් ගුරුවරුන් ද ජංගම දුරකථන භාවිතයෙන් වැළකෙනු ඇතැයි ප්‍රකාශ කළේ පුංචි කෙනෙකු නොවේ. අපේ ඔටුනු නොපලන් රජතුමා ය.

ඒ නම් මේ රෝගය තව දුරටත් උත්සන්න වන ලකුණු ය. ගුරුන් ලගට එන‍්නේ දෙගුරුන් ය.

ඔවුන්ට ද මේ යෝජනාව නොබෝ දිනකින් එන්නට පුලුවන. මේ තීරණයේ සොමිය එපමණටම ඉහ වහා ගිය එකක් බව පෙනෙන්නට තිබේ.

ඇත්තටම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම් කළේ ළමයිනුත් ඒවා බලන නිසා ය. ගෙදර ජංගම දුරකථනයක් තිබුනොත් දෙමාපියන් අහක බලන වෙලාවක දරුවන් ඕක නොබලා ඉන්න එකක් නැත. දෙමාපියන්ට හොරෙන් ගොස් පෝලිමේ ඉද මුදල් ගෙවා බැලිය යුතු ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපටිත්  බලනවා නම් ගෙදර නිකම් තියෙන ජංගම දුරකථනයකින් දෙමාපියන් අහක බලන වෙලාවක් බලා ඕන නැති ඒවා බලන්නට ‍දරුවන් නොපෙළඹෙතැයි සිතන්න බැරි ය.

ඒ නිසා ගුරුන් පමණක් නොව දෙගුරුන් ද මේ වාරණයට ලක් විය යුතු ය.

එවිට ජංගම දුර කථන මුලුමනින්ම රටින් තුරන් කරලිය හැකි ය.

අන්තර් ජාලය ද මෙවැනි ම චෝදනාවට ලක් වූ මෙවලමකි. ඊළගට ඉවත් කිරීම සදහා සළකා බැලිය යුත්තේ එයයි.

අප යන්නේ අතීත ශ්‍රී විභූතිය කරා බැවින් ඇත්තටම මේ එක මල ඉලව්වක් නැතිව ඒ දෙසට ගමන් කළ හැකි ය. එසේ තිබියදී මේවා කර තබා ගන්නේ මක්කට ද?

එක අතකට මේවා අප වැනි රටවල් ගිල ගන්නට මාන බලන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන් විසින් වුවමනාවෙන් අපට හුරුකරන ලද මෙවලම් ය. වෛරස් ය. අපේ මුතුන් මිත්තන්ට මේවා තිබුනේ නැත කියා අඩුවක් වී ද?

අපේ රටවල පරිහානිය ඇති කර මේ ලෝ තලයෙන් සිංහල බෞද්ධ හැදියාවම නැති කර දැමීම උන්ගේ අභිප්‍රාය ය. අපේ නායක තුමා සිටිනා තුරු ඒ වැඩය පහසුවෙන් කර ගන්නට නම් උන්ට ඉඩ ලැබෙන්නේ නැත.

එතුමාගේ දෑත් දෙපා පමණක් නොව සරුවාංගයම ශක්තිමත් කර තවත් යුග ගණනාවක් එතුමාටම රට බාර දිය යුත්තේ ඒ නිසා ය.

එතුමාට ත්‍රිවිධ රත්න‍යේ සරණයි! මර්වින්ගේ ආරක්ෂාවයි!

ජීව විද්‍යා පොත්වලින් ප්‍ර‍ජනනය පාඩම ඉවත් කළ යුතු ය

මින් මත්තට වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටි ප්‍රදර්ශනයට අවසර නැතැයි රජය කියයි. එය විහිළුවට කිව්වා වන්නට බැරි ය.

ඇත්තටම ලංකාවේ ඉන්නා තරමක් ඉන්නේ කුඩා ළමුන් නිසා මේ තීරණය අප අගය කළ යුතු ය. උන් ඕවා බලා නරක් වන්නට ඉඩ තිබේ.

වඩාත් ඉදිරිපියවර කීපයක් ද ඒ සමග ක්‍රියාත්මක කිරීමට අපි යෝජනා කරමු.

ගෙවල්වල පිරිමි සමාජිකයින් සදහා එක පැත්තකුත් කාන්තා පාර්ශවය සදහා තව පැත්තකුත් දමා වෙන් කරන්නට නීති ද මේ සමග ගෙනා යුතු ය. අම්මලා තාත්තාලා එකට සිටීම නිසා ද දරුවන් නරක් වන්නට ඉඩ ඇති බැවිනි.

ගැහැණුන්ගේ කටයුතු සදහා වෙනම ආයතනත් පිරිමින්ගේ කටයුතු සදහා වෙනම ආයතනත් ඇති කළ හැකි ය. මේ දෙගොල්ලන් එකට ඉන්නා විට නරක් වන්නට ඉඩ වැඩිය. බොහෝ කතන්දර ඇතිවීමට මේ එකට හැසිරීම හේතු සාධක වී තිබේ. මේ තත්වය තහවුරු කරනු පිණිස නපුංසක හමුදාවක් හා පොලිසියක් වහා ගොඩ නැගිය යුතු ය.

ගැහැණුන්ගේ හිසේ සිට පාදාන්තය දක්වා පොත්තවත් පෙනෙන්නේ නැතිවන්නට වසා දමන්නට ද නීති ගෙනා හැකි ය. කාන්තා සිරුරේ බොහෝ අංග ලිංගික ආසාවන් උද්දීපනය වන ආකාරයට සකස් වී ඇති බැවිනි.

පුවත්පත්වල හා මාධ්‍යවල රූමත් කාන්තාවන්ට පෙනී සිටීම තහනම් කරමින් ද ආච්චිලා පමණක් වැඩසටහන්වලට සහභාගි කරගත හැකි වන පරිදි නීති සකස් කළ යුතු ය.

අමුඩය තහනම් කොට දිග සරමක් ඇද ගෙන කුඹුරු කොටන ලෙස අණ කළ යුතු ය.

මින් මත්තට ටියුබ්වල දරුවන් ඇති කරන දරු ගොවිපලවල් ඇති කර සංසර්ගය නීති වි‍රෝධී කළ යුතු ය. පොලීසියේ ලිංගික අංශයක් ඇති කොට ලිංගික කටයුතු වැළැක්වීමට පියවර ගත යුතු ය. කාමේසු මිච්චාචාරා වෙනුවට අභ්‍රමචාරියා සිල්පදය පන්සිල්වලට ඇතුළු කළ යුතු ය.

ජීව විද්‍යාව පොත්වලින් ප්‍රජනනය පාඩම ඉවත් කළ යුතු ය.

බල්ලන් හා බැල්ලියන් මෙන්ම බළලුන් හා බැළලියන් ද අශ්ශීල ලෙස හැසීරීම නීතියෙන් තහනම් කොට බලු-බළල් පොලිසියක වාරණයකට ඒ සංසිද්ධිය යටත් කළ යුතු ය.

ජාතියටම සිවුරු පෙරවා මහණ කරවීමේ ඉඩකඩ වහාම සොයා බැලීම සදහ ත්‍රෛයිනිකායික මහා සංඝ සභාවක් වහා කැදවිය යුතු ය.

අපේ සංස්කෘතික ඇමති තුමාට උපහාර උළෙලක් පවත්වා පුංචි එවුන් සහිත මේ ජාතිය බේරා ගත් අසහාය නායකයා ලෙස සුවි‍ශේෂ සම්මානයකින් පිදිය යුතු ය.

ලෝකයම විශ්මයට පත් කරන බොහෝ දේ කරන නිසා small miracle ලෙස නොව විශ්මලන්තය ලෙස අප රට නම් කළ යුතු ය.

ටැබූට වුනේ මොකද?

මේ ප්‍රශ්නය මතු කරමින් අපේ අඩවියට ප්‍රතිචාරයක් දක්වා තිබූ සගයෙක් නිසා මේ ගැන ලියන්නට සිතිණි.

ටැබූ ගේ අඩවියට අපි ද නිතර ගොඩ වැදුනෙමු.

බොහෝ දෙනෙක් අහුමුලුවල රහසින් කතා ක‍ළ දේ ටැබු තම අඩවිය තුළ විවෘතව කතා කළේ ය.

මේ කාලේ කතා කිරීම ඉතා අගුණ වූ මාතෘකා ද ඒ අතර විය.

ඒ නිසා ටැබූ ගමන් කළේ අතුරක ය.

ටැබූට වූ දේ කුමක් දැයි අපිදු දැන ගැනීමට කැමැත්තෙමු. ටැබූ අඩවියේ පළවූ සමහර සටහන් ඉවත් කර ඇති අතර ටැබූ නිහඩ ය.

තමන්ගේ වැයික්කියට අවසර නැති ව ඇතුළු වූ පරයෙකු ලෙස නම් කර ටැබූට සංග්‍රහ කළේ නම් එහි පුදුම වෙන්නට දෙයක් නැත. හීන මානයෙන් පෙළෙන තමන් ගැන විශ්වාසයක් නැති රට කරවන පාලකයින්ට පුංචි හෝ විරෝධයක් දරා ගන්නට පුලුවන් කමක් නැත.  එය අපේ යුගයේ ප්‍රධානම ඛේදවාචකවලින් එකකි.

ටැබූ එහෙම කාලයක රට කරවන්නන්ගේ පදනමටම අභියෝග කළේ ය.

පුදුමය ටැබූව මර්දනය කිරීම නොවේ. පුදුමයක් ඇත්නම් ඒ ටැබූව ටැබූ කිරීමට මෙතරම් පමාවීම ය.

මේ රට ඉල්ලා සිටින්නේ හූ මිටි තියන බස්සන් ය.

සරසවි නැවත අප්සෙට් යැ! ඒ වැයික්කියට ඇතුළු වූ පරයින් නිසා යැ!

සරසවිය නැවත අප්සෙට් ය. මෙවර ඒ ඉරණමට ගොදුරුව ඇත්තේ කොළඹ සරසවියයි. කැළණිය වැසුවේ ගම හා සරසවිය අතර ප්‍රශ්නයක් නිසා ය. රජරට සරසවිය වැසුවේ ද බාහිරින් එල්ල කර ඇතැයි කියන මැර තර්ජනවලට එරෙහිව කරන ලද සිසු උද්ඝෝෂණ නිසා ය. කොළඹ සරසවිය තුළ ගැටුම සිසුන් පාර්ශව දෙකක් අතර කියතත් එයට ද බාහිර දේශපාලනය ද මැදිහත් යැයි කියනු ලැබේ.

මේ සියල්ල පිටුපස බාහිර මැදිහත්වීම් ගැන කතා තිබෙතත් සරසවිය තුළ ගැටුම් ඇති වීමට එකම හේතුව එය නොවේ.මොරටුව සරසවියේ ගම හා නගරය අතර ගැටුම ගැන අපට වෙනම බ්ලොග් සටහනක් ලියන්නට සිදුවුන බව අපේ පැරණි මිතුරන්ට මතක ඇතැයි සිතමු.

සමහරුන්ට සරසවියේ මේ අර්බුද තිබීම හරි ආතල් ය.

මහ ලොක්කයන් යයි සිතා සිටින මුංගේ ඇත්ත තත්වය බලාපල්ලා යැයි කියන්නට ඉන් අවස්ථාවක් ලැබෙන බැවිනි.

ඇත්තටමත් සමහර සරසවි ශිෂ්‍යයෝ තමන් සමාජයෙන් වෙනස් සුවිශේෂි කණ්ඩායමක් යන මානයෙන් පෙළෙති.

එහෙත් අපට අවශ්‍ය ඒ සදහා ඔවුන්ගෙන් වාඩුවක් ගන්නට නොවේ.  අපිදු කලක් ඔය සරසවියේම ඉගෙන ගත්තෙමු. ඒ නිසා එහෙම ගැටළුවක් අපට නැත.

සමාජය දැක දැනුම් තේරුම් ඇති වූ විට සරසවි වරම් ලබා ගැනීම මහ බක්කක් නොවන බවත් සරසවි තුළ ඉන්නා අය සමහර කරුණු වලදී රටේ ඉන්නා සෙසු උදවියට ද වඩා බබ්බුන් ලෙස රගපාන බවත් අපි තේරුම් ගත්තෙමු. බොහෝ විට රටේ ඇති බොහෝ ව්‍යාධීන්ගෙන් සරසවි පරිසරය ද එහි ඉන්නා ඇත්තන් ද පෙළෙන බව ද අපට වැටහිණ.

කොළඹ සරසවියේ ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම වැයික්කිය පිළිබද ප්‍රශ්නයකි. එක් එක් කණ්ඩායම් බල්ලන් මුත්‍රා කර තම වැයික්කිය සටහන් කර ගන්නාක් මෙන්ම ඇතැම් සිංහලයන් බුදුම පිළිම තියා තම වැයික්කිය සටහන් කර ගන්නාක් මෙන් නිතර කණ්ඩායමක් ලෙස ගැවසී තම වැයික්කිය සටහන් කර ගෙන තිබිණි.

වැයික්කියට වෙන කෙනෙක් පිවිසීම මාතෘ භූමියට පරයෙකු පිවිසීමට සමාන විය.

ගැටුම ඇති වූයේ එවැනි වැයික්කි ප්‍රශ්නයක් නිසා ය.

මර්වින්ට තිබෙන මේ ප්‍රශ්නය මර්වින් විවේචනය කරන දේශපාලනයක නිරත ශිෂ්‍යයින්ට ද තිබීම හාස්‍ය ජනක ය. නමුත් සැබෑව එය ය.

රට ගෝත්‍ර මානසිකත්වයෙන් පෙළෙන කල සරසවියෙන් ඊට වැඩි දෙයක් අපේක්ෂා කිරීම අසාධාරණ ය. මක්නිසා ද යත් විශය දැනුමක් ලැබ තරග විභාගයකින් සමත්වීමෙන් පමණක් මේ ගෝත්‍රික මනසින් මිදිය නොහැකි නිසා ය.

‍සිංහල බෞද්ධ රටක BF වැනි බ්ලොග් අඩවියක් තිබීම වැයික්කිය ආක්‍රමණය කිරීම කි. ඔය ඉලව් යුදෙව් ක්‍රිස්තියානි රටක ගිහින් කර ගන්නවා යැයි කියමින් අපට කුණුහරුපයෙන් සංග්‍රහ කිරීම අපගේ තර්කයන්ට එදිරිවනවා වෙනුවට සමහරු තෝරා ගෙන ඇත්තේ ද ඒ නිසා ය.

සංවාද අපේක්ෂා කරන සරසවි‍යකින් එකිනෙකා මරා ගන්නා තත්වයක් ඇති වන්නේ ද ඒ හේතුවම නිසා ය.

යුදෙව් ක්‍රිස්තියානි මතවාදයට එරෙහි ජාතික චින්තන අරගලයේ ශාරීරික ප්‍රහාරයන් දියත් කිරීම වෙන් කළ නොහැකි කොටසක් ව ඇත්තේ ද ඒ නිසා ය.

බලය යොදා යටපත් කිරීම උත්කර්ෂත්වයට නංවා ඇති රටකින් මෙයට වඩා වෙනස් දෙයක් අපේක්ෂා කරන අය ඉබ්බාගෙන් පිහාටු බලාපොරොත්තු වෙන අය ය. සරසවිය තුළ රග දැක්වෙන්නේ රටේ රග දෙන නාඩගමේ අතුරු කතාවක් පමණ ය.

සිසු සිසුවියන් සිය දිවි හානි කර ගැනීමට තිත තියන්නට බලධාරීහු තීරණය කරති

අධ්‍යාපන විශේෂඥයන් පිරිසක් රැස්වී උද්ගත වී ඇති තත්වය සාකච්ඡා කළහ. එන පොට හොද නැත. එක් පාසලක ජංගම දුරකථන හුටපටයක් නිසා සිසුවියන් දෙදෙනෙක් සිය දිවිනසා ගන්නට උත්සහ ගත් අතර එක් උත්සහයක් සාර්ථකව තිබිණි. තවත් තැනක කණේරු ඇට කා සිසු සිසුවියන් අටක් රෝහල් ගත කරන්නට සිදුවූ අතර එක් අයෙකුගේ දිවි අහිමි වී තිබිණි.

කුමක් හෝ කළ යුතු ය.

ජංගම දුර කථන තහනම් කිරීමට ඉක්මන් තීන්දුවක් ගනු ලැබිණ. දැන් සාකච්ඡා කරමින් සිටින්නේ ගත හැකි අමතර පියවර ගැන ය.

ටයි පටියක් නොතිබුනේ නම් කොළඹ සිදුවු සිය දිවිනසා ගැනීම නවත්වා ගන්නට තිබූ බව විද්වතුන්ගේ විශ්වාසය විය. වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල්වල ටයිපටි තහනම් කරමින් චක්‍රලේඛනයක් නිකුත් කිරීමට තීරණය විය.

ඇත්තටම සියදිවිනසා ගැනීමට උත්සහ කර තිබුනේ වැසිකිළියක දී නිසා වැසිකිළි සම්බන්‍ධයෙන් කිනම් සම්බාධක පැනවිය යුතු දැයි තීරණයක් ගැනීමට අතුරු කමිටුවක් පත්කිරීමටත් මහජනයාගෙන් ඒ ගැන අදහස් විමසීමටත් තීන්දු කෙරිණි.

කණේරු ගස් වද කිරීමට (සිරස මාධ්‍ය ජාලයේ නොව) රාජ්‍ය මාධ්‍යයේ සහය ලබා ගෙන දීප ව්‍යාප්ත වැඩ සටහනක් දියත් කිරීමටත් කණේරු වද කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමටත් තීන්දු විය.

පෙම් සබදතා ඇතිවන්නේ එක්කො මිශ්‍ර පාසල් පැවතීම නිසා ය. නැත්නම් ටියුෂන් කඩ පැවතීම නිසා ය. මේ දෙකම තහනම් කිරීමේ ඉඩකඩ ද පරීක්ෂා කිරීමට සුවිශේෂ කමිටු තුන හතරක්ම පොලිස් දෙපාර්තමේන්තුව අනුයමින් පත් කළ යුතු යයි කළ යෝජනාවට විශාල සහයක් ලැබිණ.

සිය දිවි නසා ගැනීම් ගැන ප්‍රවෘත්ති මාධ්‍යවල පළ කිරීම තහනම් කිරීමේ යෝජනාවක් ද සාකච්ඡාවට භාජනය වූ අතර මිනීමැරුම් හා සියදිවිනසා ගැනීම් නැතිව යුද්ධයත් අවසන් වී ඇති තත්වයක් යටතේ පත්තර පවත්වාගෙන යා නොහැකිවනු ඇතැයි පත්තරේට සම්බන්ධ විද්වතෙක් කණගාටුවට පත්විය.

ළමයි සියදිවි නහගන්නේ ගුරුවරුන් අයුක්ති සහගත ලෙස බණින නිසා ය. ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් හදන්නට නොහැකි නිසා කණේ ඇබ ගසා ගැනීමට පාසල්වල ඇබ ව්‍යාපෘතියක් ආරම්භ කළ යුතු යයි තවත් යෝජනාවක් ඉදිරිපත් විය. වැරැද්ද ගුරුවරුන්ගේ යයි පිළිගැනීම කෙසේවත් නොකළ යුතු යැයි කියමින් ඒ යෝජනාව සාකච්ඡා නොකරම අයින් කර ගන්නා ලදී.

කෘමිනාශක තහනම් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ඉදිරිපත් විය. ගම්වල වැඩි‍දෙනෙක් සියදිවි හානි කරගෙන තිබුනේ කෘමිනාශක භාවිතා කිරීමෙනි. රේල්ලුවට බෙල්ල තබන්නට හැකි නිසා දුම්රිය මාර්ගය දෙපස විශාල වැටක් ඉදිරිපත් කළ හැකි ද යන්න ද සාකච්ඡා විය.

සහභාගී වූ එකෙක් ඇසූ ගොන් ප්‍රශ්නයක් නිසා සභාව තීන්දු තීරණ නොගෙනම අවසන් විය.

ඒ ගොන් ප්‍රශ්නය වූයේ  මේ තත්වයට අධ්‍යාපන ප්‍රතිපත්ති හෝ අධ්‍යාපන බලධාරීන් හේතු වී නැත් ද යන්න ය.

ඊනියා දේශප්‍රේමීන්ට රටේ උරුමක්කාරයින් ගෙනියන වංචාවේම සරණයි

අප යුද්ධය සදහා වියදම් කර ඇති මුලු මුදල රුපියල බිලියන 23000 ක් වෙතැයි ආණ්ඩුවෙන්ම ප්‍රකාශයට පත් වූයේ මෑතකදී ය. ඒ නියෝජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මුවිනි.

ඉහළ කොත්මලේ ජලාශය සදහා වැය වන මුදල රු බිලියන 30 කි. නොරෙච්චොලෙයි තාප විදුලි බලාගාරය සදහා වැය වන මුදල රු බිලියන 51 කි. රුපියල් බිලියන 23000 කින් කොපමණ දේ කරන්නට තිබිණි දැයි වැටහීමක් ඔබට ඉන් ලැබෙනු  ඇත.

අප මේ වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අනුමත කර ගෙන ඇති මුලු ණය ප්‍රමාණ‍ය වන රු බිලියන 299 මෙන් එය 75 ගුණයකි.

තවම වියදම් අවසන් වී නැත.

අවතැන් වූවන් දිගේලි කළ එලිමහන් සිර කදවුරු රජය සෑහීමකට පත්වන තුරු පවත්වාගෙන යාමටත් තෝරාගත් අය නැවත පදිංචිකිරීමටත් ඉතිරි අය ‘පුනරුත්ථාපනයටත්’ යුද්ධයෙන් විනාශ වූ ගෙවල් දොරවල් පමණක් නොව ජීවන රටා ද නැවත ගොඩ නැගීමටත් තවත් විශාල මුදල් කන්දරාවක් අවශ්‍ය ව තිබේ.

යුද්ධයෙන් තුවාල කරනු ලැබු මනස්වලට ප්‍රතිකාර කිරීම සදහා ද නැවත එවන් යුද්ධයක් ඇති නොවීම සදහා ද කළ යුතු වියදම් මීට අතිරේඛව ය.

අප දිගින් දිගට බ්ලොග් සටහන් ලීවේ මේ අතිවිශාල විනාශයත් එයින් රටට සිදු වූ සිදුවන හා සිදුවීමට නියමිත විනාශය හා වියදම ගැනත් සංවේදනාවෙන් ය.

අප යුද්ධය අවසන් වූ පසුත් නැවත මෙවන් දෙයක් හිස එසවීමට ඇති ඉඩකඩ අහෝසි කිරීමේ වැදගත් කම කීවේ ද ඒ සංවේදනාවෙන්ම ය.

තව තවත් ලෝකයට ණය වීමටත් ලෝකයා කියන පදයට නැටීම සිදුවීමටත් මේ විනාශය හේතු භූත වූ බව හා වන බවත් අපි නැවත නැවතත් කීවෙමු.

ලෝකයාට බම්බු ගහන්න යැයි ගැලරියට ඇහෙන්න කෑ ගසමින් ලෝකය ඉදිරි‍යේ දණින් වැටී ආධාර ඉල්ලීමේ ඊනියා නාඩගම ද අපි හෙලිදරව් කළෙමු.

ඒ කළේ ද ලොව ඉදිරියේ කෙළින් සිට ගතහැකි ජාතියක් ගොඩ නැගීමට අවශ්‍ය මානසික පරිසරය සකස් කිරීමට ය. සමාජ වටපිටාව සකස් කිරීමට ය.

එහෙත් මත් වූ බොහෝ දෙනෙකු මේ බලාපල්ලා අපි කෙලින් යනවා යයි පාරම්බාමින් ඇදේට යන ආකාරයටම අපේ රටේ උරුමක්කාරයෝ ද හැසිරෙති.

අපට දේශද්‍රෝහීන් යයි ගරහන බොහෝ දෙනෙකු රටේ අවාසනාවට සැබෑ දේශද්‍රෝහීන් හදුනාගෙන නැත.

උන් කෙළින් යනවා යයි කී පමණින් එය එසේ යයි විශ්වාසයට ගෙන අපට දෙහි කපන ඊනියා දේශප්‍රේමීන් සිදු වූ දේ තේරුම් ගන්නා විට ලංකාව පසුකර ගෙන බංග්ලා දේශය හා සමහරවිට සෝමාලියාව ද ඉදිරියට ගොස් තිබෙන්නට පුලුවන.

ඊනියා දේශප්‍රේමීන්ට රටේ උරුමක්කාරයින් ගෙනියන වංචාවේම සරණයි!

උගුරට හොරා බෙහෙත් වැළදිය නොහැකි යයි කියන්නේ කවුද? – මොන බොරු ද?

ජනාධිපති සුද්ධවන්තයෙකි. ජරා වැඩ කරන්නේ ගෝල බාලයන් පමණකි. මේ බොහෝ දෙනෙක් පෙන්නන්නට හදන දකින්නට කැමති චිත්‍රයයි.

ඒ අනුව බඩු මිල ඉහළ යවන්නේ බන්දුල ගුණවර්ධන ය. එලවන සුද්දන්ගේ පිටුපසින් ගොස් වැද වැටී ණය ඉල්ලන්නේ රංජිත් සියඹලාපිටිය හා නිව්රාඩ් කබ්රාල් ය.

ඉතින් මේ චිත්‍රය පවත්වා ගෙන යන්නට ලග දී සුවිශේෂි වැඩක් කරන්නට සිද්ධ විය. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය මුදල නිදහස් කිරීම සදහා ඉදිරිපත් කළ කොන්දේසි අරබයා ය.

ඒ කොන්දේසි පිළිගන්නා බව මුදල් ඇමතිතුමා අත්සන් කළොත් මිසක ණය මුදල දීමට නොහැකි යයි ජාත්‍යන්තර අරමුදල කීවේ ය.

අපේ ජනාධිපති තුමා නම් ඔය කොන්දේසි අත්සන් කරන්නේ නැත. එතුමා එතරම් රටට හිතවත් නිසා ය. එහෙත් මේ ණය මුදල නොගෙන රට ගොඩ නංවන්නට බැරි ය.

ඒ නිසා කට්ටිය වැඩක් සෙට් කළෝ ය.

රංජිත් සියඹලාපිටිය මහතා වැඩ බලන මුදල් ඇමති ලෙස පත්වන තුරු වැඩේ කල් දැමීම ය.

ඇත්තටම කොන්දේසි පිළිගන්නා ගිවිසුමට ඒ අනුව අත්සන් තබා ඇත්තේ ජනාධිපති තුමා නොවේ (එතුමා එහෙම රට විකුණන ජරා වැඩ කරන්නේ නැත). එහෙත් මුදල් ඇමති තුමා නම් ඊට අත්සන් කර ඇත.

දැන් සියල්ල හරිය. රැවුලත් බේරා ගෙන කැදත් බොන්නට පුලුවන් ශ්‍රී ලාංකික ක්‍රමයක් මේ අනුව අප ‍ලෝකයාට හදුන්වා දී තිබේ.

එය පුංචි විශ්මයක් (small miracle) නොවේ. ලොකු විශ්මයකි (Big miracle).

බුද්ධිය පමා නොවී පහළ වේවා යයි පතමු

දැන් යුද්ධය තාවකාලිකව හෝ ‘අවසන්’ වී ඇත. ඊළගට කුමක් ද?

යුද්ධය හේතුවෙන් වියදම් වූ මුදල් දැන් වඩා ප‍්‍රයෝජනවත් දෙයක යෙදවිය හැකි ය. එසේ යොදවන ක්ෂේත‍්‍ර නම් මේ යැයි කියා රටට දැන්වත් කියනවා නම් හොඳ ය.

එතකොට ජනතාවට ද ඒ ක්ෂේත‍්‍රයන්හි යම් ඉඩ හසරක් තමන්ටත් ඇතිවෙන්නට පුලුවන් යයි සිතා යමක් සැළසුම් කිරිමට හැකි වනු ඇත.

එහෙත් එහෙම වගක්වත් නැත.

තව තව ඇමතිවරු බඳවා ගන්නවාට අමතරව අපට පෙනෙන්නේ රැකියා සඳහා තම ගෝලබාලයින් බඳවා ගැනීම පමණකි. ඒ මාස දෙක තුනකට වරක් පැවැත්වෙන කුමක් හෝ මැතිවරණයන්ට හා එවන්විටෙක ඒඒ පළාත්වල ජනයා සඳහා දාන ශාලා ඇරීමට  අමතර වශයෙනි.

තමන්ගේ අයට සංග‍්‍රහ කිරීම යහපත් දෙයකි. එහෙත් ජනතාවගේ බදු මුදල් වලින් ජනතාවට දැනෙන යමක් නොකර කරන මෙවන් කටයුතු නම් යහපත් යයි කියන්නට අපේ දිව නොනැමේ.

අවසානයේ නටපු තොවිලෙකුත් නැති බෙරේ පලුවකුත් නැති තත්වයට පත්වන්නේ රට ගැන සැළසුමක් නැතිව මෙසේ තමන්ගේ හා පරපුරේ අනාගතය ගැන පමණක් සංවේදී වීම නිසා කරන අහම්බ වැඩ වලිනි.

යුද්ධය තාවකාලිකව හෝ ‘අවසන්’ කළා මෙන් මෙම දේශද්‍රෝහී වැඩ පිළිවෙලත් ඉක්මණින් අවසන් වනු දැක්ම ජනතාවගේ අපේක්ෂාව ය.

බත් කන ජනතාව වෙනුවෙන් අපි මෙම ප‍්‍රශ්නය රජයෙන් නගමු. දැන්වත් වැඩට බහිමු ද?

හිරකඳවුරු වල ගාල් කර ඇති ජනතාවත් ඉක්මණින් නිදහස් කොට දැන්වත් රටට දැනෙන යමක් කළොත් කළ පව් කොටසක් වත් සෝදා ගත හැකි ය.

ප‍්‍රමාද වුවහොත් වෙන්නේ අවසන් වූ එක් යුද්ධයක් වෙනුවට යුද්ධ දෙකක් උතුරෙත් දකුණෙත් එකවර ඇතිවීම ය.

(අප මෙම ප‍්‍රශ්නය නගන්නේ ජෝර්දානයෙන් ඉරානයෙන් රැසියාවෙන් ලැබුණු ණය වළඳා දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තවත් ණයක් ලැබෙන තෙක් බලා සිටිනා ආණ්ඩුවකින් බව අපි දනිමු. එහෙත් උන්ගෙන් නො අසා මේ ප‍්‍රශ්නය වෙන කාගෙන් අහන්න ද?)

ජාත්‍යන්තර අරමුදලට උම්මා එකක් – අනේ අම්මප උඹ ගැන එක එකා කියූ කතා! අපි නම් ඕවා විශ්වාස කළේ නැත

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට උම්මා එකක් දෙන්නට මට සිතුනේ අප රට විසින් ඉල්ලා ඇති ණය අනුමත කර ඇති බවට ආරංචිය කණ වැකීමත් සමග ය.

ඇමරිකාව ඇතුළු සුද්දන් සිතා සිටියේ ජාත්‍යන්තර අරමුදල ලවා අපට කෙළ වන්නට ය. ඇත්තටම සුද්දාට දෙකක් කතා කළ අපේ ජනාධිපති තුමාගේ කටට බයවී උන් ණය අනුමත කරන්නට ඇතැයි ජනතාව දත යුතු ය.

ගැලවූ ප්ල්ග් එක මෙසේ අපි ඉල්ලා ගසා ගත්තෙමු (කොහේදැයි අසා අපට කොචොක් කරන නරුමයන්ගෙන් අපට අඩුවක් නැත. අපට උන්ට කීමට ඇත්තේ අපි කොහේ ගහගත්තත් උඹලාට මොකද කියා ය).

එදා ප්ල්ග් එක දිගේ ආවේ කොන්දේසි ය. ඇත්තටම අපේ ජනාධිපති තුමාගේ කතාවට සුද්දා කොපමණ බය වී ද යත් මෙදා කොන්දේසි නැතිව එක දිගට එය දිගේ ගලා එ‍න්නේ අරමුදල් ය.

දෙන දෙවියෝ ගෙදරටම ගෙනැවිත් දෙනවා යයි කියන්නේ මේවාට ය‍. මේ අනුග්‍රහය ගැන ඉරිසියාවෙන් කතා කරන්නට ඉදිරිපත් වෙන විපක්ෂ කාක්කන්ට අපට කීමට ඇත්තේ දැන් තවත් මාස කීපයක් අපට ආවිස ලැබී ඇති බව ය. තොපේ අපේක්ෂාවන් ඉටු වීම මේ නිසා තවත් කල් යන බව ය. ඒ නිසා අපේ නායකතුමාගේ ඉතිරි හරියත් ශක්තිමත් කරන්නට අපේ පැත්තට දැන්වත් එන ලෙස ය.

මො‍්ඩ හරකුනේ, අපෙත් තොපෙත් වෙනසක් නැති බව පෙන්වා තිබියදීත් ඔය පැත්තටම වී නව නිග්‍රහ විදින්නේ ඇයි ද යන ප්‍රශ්නය තොපේ ඔලුවලට වැටෙන්නේ නැත් ද?

මේ අල ගෙඩිය කවදා වැටෙන්නේ දැයි සිතමින් උඹලා මෙතෙක් කල් බලා සිටියාහු ය. ඒ පස්සෙන් පෙරහැරේ ගියාහු ය.

එදාවේල ටුවර්ස් වුනාට මේ කරත්තයත් බර බරේ ඉදිරියට යන බවත් ගොනාට තව මයිල ගණනක් යෑමට පිදුරු ටිකක් ලැබී ඇති බවත් දැන ගනුව! ගොඩ වෙව!

කරත්තය කඩා වැටුනු දාකට අපිත් ‍ඉක්මණට මින් පැන ගැනීමට බලා ගෙන සිටිමු. එහෙත් මෙය බර බරේ හෝ ඉදිරියට යන කම් පයින් ගාටන්නට තොපට මෙන් අපට අමාරුවක් නැත.

අඩු ගණනේ ඉදිරි පළාත් සභා මැතිවරණ ප්‍රථිඵල වලින් පසුවවත් උඹලාට අහවල් එක පහළ වනු ඇතැයි අපි උදක්ම පතමු.

« Previous entries