Archive for June, 2009

මුකුත් දෙනව එහෙම නෙවෙයි රජෝ!

හැමදාමත් අපට තිබුන ප‍්‍රශ්නය නැවතත් මතු වී තිබේ. අප කොපමණ දිය යුතු ද කොපමණ තියා ගත යුතු ද?

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම කොපමණ ඉක්මණින් කළ යුතු ද කොපමණ ප‍්‍රවේශමෙන් කළ යුතු ද?

යුද්ධය කාලේ දමා ගත් බාධක පොලූ කොපමණ තබා ගත යුතු ද? කොපමණ ඉවත් කළ යුතු ද?

යුද්ධය කාලේ පැන වූ තහංචිවලින් කවර ඒවා කවර ප‍්‍රමාණයෙන් කවර කාල වකවානුවල ඉවත් කළ යුතු ද? තබා ගත යුතු ද?

අප කොතරම් ප‍්‍රමාණයකට බලය බෙදා ගත යුතු ද? තබා ගත යුතු ද?

අවදානම ටිකක් වත් දැරීමට අකමැ ති බොහෝවිට බියෙන් පෙළෙන බොහෝදෙනා කියන්නේ අවමය දිය යුතු බව ය. අවදානමක් ගැනීමට කැමති අය කියන්නේ දෙන්නට අදි මදි කිරීම නැවත වතාවක් ප‍්‍රශ්න ඇති කිරීමට තෝතැන්නක් සකසන බව ය. ඒ නිසා කුම්මැහිකම පැත්තකට දමා ටිකක් වැඩිපුර හා ටිකක් ඉක්මණට දිය යුතු බව ය. එය සමගියක් ඇති කිරීමට සංහිඳියාවක් ඇති කිරීමට හේතු වන බව ය.

ජය ගනු ඇත්තේ කුමක් ද?

අතීත අත්දැකීම අනුව නම් මොකක්වත් නොදී ගොඩම බදා ගැනීම හා දෙන මගුලක් පුළුවන් තරම් කල් අර ගෙන දීම මෙහිදීත් කෙරෙන්නට පුළුවන.

ප‍්‍රතිඵලය වනු ඇත්තේ නැවත විරෝධාකල්ප එලි බැහීම ය.

අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නට අකමැති අය කිසිදා ඉගෙන ගන්නේ නැත.

ඒ නිසා එක්කෝ ඉන්දියාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර පීඩනය එනතෙක් එසේත් නැත්නම් නැවත නැගිටීමක් එනතෙක් අපට අපේම සිහිනයක ජීවත්විය හැකි ය.

මුකුත් දෙනව  එහෙම නෙවෙයි රජෝ!

අලූත්දේ ඉගෙන ගත හැක්කේ පැරණි ඉගෙනුම් අයින් කර ඉඩ හසර ලබා ගන්නට හැකි අයට ය

අප වෙත නිරන්තරයෙන් එල්ල කරන චෝදනාවක් ඇත. ඒ අප ඍණාත්මක බව ය. ධනාත්මක නොවන බව ය. අඩුපාඩු පමණක් දකින බව ය. වැරදි පමණක් පෙනෙන බව ය.

පළමුව කිව යුත්තේ මේ බ්ලොග් අඩවියේ අරමුණම අපට අප ගැන සිනහසීමට අවස්ථාවක් දීම බව ය. ඒ නිසාම අප විසින් අපේ මුග්ධ ක‍්‍රියා හෙලිදරව් කළ යුතුව තිබෙන බව ය.

එය කෙනෙකුට ඍණාත්මක යයි අර්ථ දැක්විය හැකි ය.

එහෙත් සැබෑ ලෙස ඍණාත්මක යයි කිව හැක්කේ අප මේ තත්වයෙන් මන්දෝත්සාහී වී සියල්ල අත්හැර දමන්නේ නම් ය.

අපට අපේක්ෂාවක් තිබේ. අපට බලාපොරොත්තුවක් තිබේ. ඒ ඉක්මණින් අප රට අපේ ජාතිය ගොඩ නැගිය හැකි බව ය. අප රටේ ජාතියේ සිදුවන දේ ගැන කණගාටුව පළ කරන්නේත් සිනහවන්නේත් ඒ සඳහා ය. ඒ තාක් දුරට අප ධනාත්මක ය.

අළුත් යමක් නිර්මාණය කළ හැක්කේ පැරණි දේ කඩා ඉවත් කිරීමෙන් ඇතිවන ඉඩ හසර තුළ ය.

පැරණි දේ ගැන අන්ධ භක්තියෙන් ඉන්නා තාක් එය කඩා ඉවත් කළ නොහැකි ය.

යම් විවේචනයක් කරන්නේ නම් එය අප කරන්නේ ඒ වෙනුවෙනි.

අලූත්දේ ඉගෙන ගත හැක්කේ පැරණි ඉගෙනුම් අයින් කර ඉඩ හසර ලබා ගන්නට හැකි අයට ය.

ඒ නිසා විවේචනය හා විචාරය නිර්මාණයේ නිවුන් සොහොයුරන් ලෙස අපි සළකමු.

අපගේ විවේචනයන් වඩාත්ම එල්ල වන්නේ බහුතරයක් විවේචනය නොකරන දේ සම්බන්ධයෙනි. බහුතරයක් නිවැරදි යයි හඳුනාගනු ලබන වැරදි දේ සම්බන්ධයෙනි.

ලංකාවේ බොහෝ හොඳ දේ සිදුවන බවත් ඒවා අප විසින් අගය කළ යුතු බවත් ඇත්ත ය. එහෙත් ඒවා දකින අය බොහෝ ය. ඒවා අගය කරන අය බොහෝ ය. අප අන් අය විසින් කරන කාර්යය නැවත කළ යුතු නොවන නිසා අප ද ඒවාට සම්මාදම් වීමේ තේරුමක් නැත.

කාගේ හෝ අවධානයට ලක් නොවන හොඳ වැඩක් තිබේ නම් අප ඒ දේ උලූල්පා පෙන්වන්නට පසුබට නොමෙමු.

මිගාරගේ කවි ගැනත් ඉන්දිගේ දායකත්වය ගැනත් අප ලීවේ එබැවිනි. කරුමයකට ඇත්තේ දිනපතා සිදුවන අමන වැඩ නිසා හොඳ දේ ගැන ලියන්නට ඉඩක් කාලයක් නොමැති වීම ය.

දුක් මුහුණක් දාගෙන දෙකට ගනින්න බැරිව වාගේ සිටීම හරහා වැටී ඇති ජය මාවත

නැති බැරි කම අපේ සමාජයේ අනුකම්පාව ලැබීමට සුදුසු කමෙකි. එය අපේ අවාසනාව ය.

ඇති හැකි අය පවා ඒ නිසා කැමැත්තක් දක්වන්නේ තමන්ට නැතැයි කීමට ය. ඇති හැකි දේ සගවා ගෙන මුළු වැදීමට ය. එක් විදිහකට නැත්නම් තවත් විදිහකට සමාජ අනුකම්පාව දිනා ගැනීමට ය.

සල්ලි සම්බන්ධයෙන් නොව තමන්ගේ හැකියාවන්ගෙන් ද එළිපහලියට නොපැමිණ මුළු වැදී සිටීම නිසා ඉරිසියා කරන්නන්ගෙන් හා වෙනත් තර්ජනයන්ගෙන් බේරි සිටිය හැකි ය.

දුක්මුහුණක් දාගෙන දෙකට ගනින්න බැරිව වාගේ සිටී නම් අනුකම්පාව ලැබේ.

වැඩ කිඩ පෙන්වන්නට ගියොත් නොවැරදී දෝස්මුරය ද ලැබේ.

ඇයි මුදුනා වෙන්න ද යන්නේ ?
තනියම බුදුවෙන්න වගේ ?
යන්නකො උඩට, වෙන්නෙ මොකද කියල බලන්න බැරියැ?
හොඳ වැඬේ  ඕකට! හිතා හිටියේ ඌට වඩා කෙනෙක් නෑ කියලනෙ?
පැදුරෙ ඉන්න අපි කොහොම ද බිමට වැටෙන්නෙ?
පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ!

මෙහෙව් රටකටත් කලක් යාවි ද? තාමත් වෙනස් වෙන්නට වේලාව ඇවිත් නැත් ද?

සරසවි ප‍්‍රවේශයට නව මිණුම් දණ්ඩක්

සරසවි ප‍්‍රවේශය සඳහා විභාග ලකුණුවලට අමතරව විශය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා ද ලකුණු දෙන ක‍්‍රමයක් ඇති කිරීමට යෝජිත ය.

එය හොඳ යෝජනාවකි.

පොතේ ගුරන් විතරක් තනන අධ්‍යාපන ක‍්‍රමයක් වෙනුවට සම්පූර්ණ මිනිසුන් බිහිකරන අධ්‍යාපන ක‍්‍රමයක් ගොඩ නැගීමට කරන උත්සහය කොහොමටත් හොඳ ය.

එහෙත් ප‍්‍රධාන ප‍්‍රශ්නය තවදුරටත් ඉතිරි වනු ඇත. දරුවන්ගේ ආතතිය තවදුරටත් වැඩි දියුණුවනු ඇත.  දැන් පොත්පත්වලට අමතරව ක‍්‍රියාකාරකම් සඳහා ද යොමුවන්නට ගෙවල්වලින් බල කරනු ඇත. ලකුණු නොලබන සියලූ ක‍්‍රියාකාරකම් පැත්තකට තල්ලූ කර ලකුණු ලබන ඒවා ට පමණක් යොමු වීමට ඔවුන්ට බල කෙරෙනු ඇත.

ප‍්‍රශ්නය ඇත්තේ සරසවි ප‍්‍රවේශය සඳහා අධි තරගයකට මුහුණ දීමට සිදුවීම තුළ ය. එය වැළැක්විය හැක්කේ සරසවි ප‍්‍රවේශය සඳහා අවස්ථා වැඩි කිරීමෙන් පමණි.

ඒ නිසා ම යෝජනාව හොඳ වුව ද එයින් දරුවන්ට ප‍්‍රතිලාභයක් ලැබීමට නම් සරසවි අවස්ථා පුළුල් කිරීම ද අවශ්‍ය ය.

පාසලේ හැංගිමුත්තන්- වැඩි දියුණු කරන ලද සෙල්ලමකි!

පාසල්වල නීති තිබේ. මේවා තිබෙන්නේ කුමකට ද?

කියන්නේ නම් ලමුන් තුළ විනය ඇති කිරීමට බව ය. එහෙත් භාවිතයේ දී පෙනෙන්නේ ඒවා පවත්වා ගැනීමේ යටි අරමුණ පාසලේ බලය ඇත්තේ කාටදැයි පෙන්වීමට බව ය.

කොණ්ඩය බොහෝ සෙයින් වවා ගෙන පාසලට පැමිණිම යහපත් නැත. එහෙත් කොණ්ඩය පිළිබඳ නීති රීති පවත්වාගෙන යන උදවිය කොණ්ඩය තරමක් වැවී ඇති (වවා නොව වැවී ඇති) දරුවෙකු අල්ලා කොණ්ඩය අපිළිවෙලට කපා දමා තම බලය ප‍්‍රදර්ශනය කරති. එහිදී උපහාසය ද අපහාසය ද මොනවට ක‍්‍රියාත්මක වේ.

කොණ්ඩය බූ ගාගෙන පාසලට පැමිණිම ද තහනම් ය.

ඉතින් තරමක් වැඩිපුර කොටට කපා ඇති සිසු දරුවෙකු අල්ලාගෙන කළු පොලිස් අතුල්ලා දඩුවම් කරති. එය ද දෙතිස් වදය සමග ය.

මෙයට භාජනය වන සමහර සිසු දරුවන්ට මෙය හිරිහැරයක් වෙතත් සමහරු මෙයට කැමති ය. ඒ මෙයින් ශිෂ්‍ය නායකයින් හා ගුරුවරුන් හිරිහැරයට පත් කිරීමට ඔවුන්ට ද අවස්ථාවක් ලැබෙන බැවිනි.

ඇත්තටම මේ ක‍්‍රියාවලිය සිහිකරන්නේ හැංගි මුත්තන් සෙල්ලම ය. හොයා ගන්නා පමණක් නොව හැංගෙන්නා ද වැඩි වෙලාවක් හැංගී සිටීමෙන් අසීමිත වින්දනයක් ලබන නිසා ය.

පාසල තුළ සෙල්ලම් පැවැත්වීම හොඳ ය. ඒ ගැන අපේ ගැටළුවක් නැත. එහෙත් පාසල තුළ කිරීම සඳහා මීට වඩා නිර්මාණාත්මක සෙල්ලම් සොයා ගත හැකි නම් වඩා හොඳ ය.

ගැටුම්වලින් තොර සරසවියක් හා රටක්- තිරනාටකය හා අධ්‍යක්ෂණය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම

සරසවිවල මින්මතු බාහිර අය සමග සම්බන්ධව පවත්වන උත්සව තහනම් කරමින් ද  අභ්‍යන්තර උත්සවයක් පැවැත්වෙන්නේ නම් එවැන්නක් එක් දිනකට සීමා කරමින් ද පනවා ඇති නීතින් දෙකක් ප‍්‍රතිපාදන කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

අපේ ඊනියා බුද්ධිමතුන්ගේ බුද්ධියේ වපසරිය පෙන්නුම් කිරීමට මෙය මනරම් අවස්ථාවකි.

කැළණිය සරසවියේ බාහිර කලාකරුවන් ද සහභාගී කරගෙන උත්සවයක් පැවැත්විණි. එය දින කිහිපයක් තිස්සේ පැවැත්වෙන උත්සවයකි.

කැළණි සරසවි ශිෂ්‍යයින් හා ගම අතර ගැටුම ඇති වුනේ ඒ අතරවාරයේ ය.

ඒ නිසා කළ යුතු වන්නේ එවැනි උත්සව තහනම් කිරීම ය.

පිරිත් පිංකමක් පවත්වන අතරවාරයේ මේ ගැටුම ඇතිවූයේ නම් ඔවුන් පෙළඹෙනු ඇත්තේ සර්ව රාත‍්‍රික පිංකම් තහනම් කිරීමට ය.

(අහෝ මොළය! පිනි බාන්නට නොදී ආරක්ෂා කර ගත යුතු)

ඇත්තටම මේ නීති පද්ධතිය පොඞ්ඩක් රටටත් රැුගෙන යා හැකි මහාර්ඝ මට්ටමේ එකකි.

සංගීත සන්දර්ශණ කීපයකම ගැටුම් ඇති විය. මේ නිසා පොලිසිය විසින් කළ යුත්තේ සංගීත සන්දර්ශන තහනම් කිරීම ය.

ක‍්‍රීඩා තරග ගණනාවක ද ගැටුම් ඇති විය. රජය කළ යුත්තේ ක‍්‍රීඩා තරග තහනම් කිරීම ය.

අවසානයේ ඉතිරිවන්නේ වැඩ පළට සාමකාමීව ගොස් ජාතික කොඩිය උස්සා ජාතික කොඩිය ගයා වැඩ කොට කඩෙන් තමන්ට මිලදී ගත හැකි බඩු ටිකක් රැුගෙන ගොස් යමක් හදා ගෙන ආණ්ඩුව කියන මලඉලව්වක් මාධ්‍ය නැමැති හොරණාවෙන් අසා නින්දට ගොස් හෙටත් ඒ ටිකම කිරීමට ඉස්පාසුවක් ගැනීම ය.

සටන් අරගල මුකුත් නැති ජීවිතයකට හොඳම පදනම එසේ දැමිය හැකි ය.

කොහොමටත් කරමින් තිබෙන්නේ එවැන්නක් නිසා මේ යෝජනා පවා අවශ්‍ය නැතිවන්නට ඉඩ තිබේ.

ඔබ හැමට ති‍්‍රවිධ හමුදාවේ හා පොලීසියේ සරණයි. පිහිටාරක්ෂාවයි.

දරුවන් වැදීම තව තවත් දරුවන් වැදීමෙන් පරාජය කරන්නට බැරි ය

සිංහල ජනගහණය වැඩි දියුණු කිරීමට කළ යෝජනාවේ විකාර සහගත භාවය ගැන අප ලියූ බ්ලොග් සටහනට අපට ලැබුණු එක් ප‍්‍රතිචාරයකින් කියවුනේ ඔය බණ සිංහලයන්ට කියන්නට කලින් වතුකරයේ දෙමළුන්ට ත් මුස්ලිමුන්ටත් කියන ලෙස ය.

අප මේ පිළිබඳව කලින් ලියූ සටහනක සියයක් නිසරු පුතුන් ලබනවා ට වඩා ගුණ නැණ බෙලෙන් එක පුතකු ලැබීම වැදගත් බව සඳහන් කළෙමු. එවැනි බණක් අප කැමති කලින් අපේ අයට කියන්නට ය. අප ආදර්ශයක් නොවී අනුන්ට කීමේ තේරුමක් නැති නිසා ය.

ඒ නිසාම අප බණ කියන්නේ මුලින් අපටම ය. ඊළගට අපේ ළගම හිතවතුන්ට ය. ඊළගට අපේ අසල්වැසියන්ට ය. ඊළගට අපේ ජාතියට ය. ඊළග රටට ය. ලෝකයට බණ කියන්නේ අන්තිමට ය.

එය බුදුන්ගේ ක‍්‍රමයයි. මෛත‍්‍රිය පළමුව තමාට ය. ඊට සමානව මුලින්  නිවැරදි විය යුත්තේත් තමා ය. දෙවනුව ළග ඉන්නා අය ය. එය ඈතට විහිදෙන්නේ ක‍්‍රමයෙනි.

අප වදන්නට උනන්දු වූ විට අනිත් අයට ද තරගයට වදන්නට පුලූවන. එයින් අවාසිය සැළසෙන්නේ අප හැමට ය.

බොහෝ දේ බෝවෙයි. අප නපුරුකම් කරන විට අන් අය ද නපුරුකම් කරති.

වරක් මිනිහෙක් රණ්ඩුවනු පිණිස ගලක් ගෙන මේ ගල මගේ යයි කීවෙලූ අනෙකා කීවේ උඹේ නම් උඹ ගනින් කියා ය.

ජේසුස් වහන්සේ කීවේ කම්මුලට ගැසූ තැනැත්තාට අනිත් කම්මුල පාන ලෙස ය.

බුදුන් කීවේ වෛරය වෛරයෙන් නොසංසිඳෙන බව ය.

වැදීම වැදීමෙන් පරාජය කරන්නට බැරි ය.

ජාතික හෙල උදාව නොදන්නා අපේ රටේ බොහෝ දෙනෙක් තේරුම් ගන්නට උත්සහ නොකරන කාරණය එයයි.

අයහපත ජය ගත හැක්කේ යහපතෙනි. මෝඩකම ජය ගත හැක්කේ නුවණක්කාර වීමෙනි. වෛරය ජය ගත හැක්කේ මෛත‍්‍රියෙනි.

බොහෝ සිංහල බෞද්ධයන් නොදන්නා ඒ කරුණ අප ජිවන මාර්ගය කර ගෙන ඇත්තෙමු.

ඒ නිසා අප අනෙකුත් ජාතීන්ගේ ඇහේ තියෙන රොඞ්ඩ අරන් දාන්නට යොමුවන්නේ අපේ ඇහේ ඇති පොල්පරාල අරන් දැමීමෙන් පසු බව කියන්නට කැමැත්තෙමු.

උන්ගේ කරුම විපාක කර ගැසිය යුත්තේ උන් ය. අපට කර ගැසීමට සිදුවන්නේ අපේ කරුම විපාකයන්ට ය.

ඊළග දමිළ නැගිටීමට නායකත්වය දෙනු ඇත්තේ ප‍්‍රභාකරන් කෙනෙකු ද? ගාන්ධි කෙනෙකකු ද?

අප (සිංහල ජනතාව) වෙනස් නොවුනහොත් ඊළග දමිළ නැගිටීමට නායකත්වය දෙනු ඇත්තේ ප‍්‍රභාකරන් කෙනෙකු නොව තුවක්කුවෙන් පැරදවිය නොහැකි ගාන්ධි කෙනෙකැයි කෘතහස්ත ජනමාධ්‍යවේදියෙකු වන  87 හැවිරිදි එස් පියසේන මහතා සති අන්ත පුවත්පතකට ප‍්‍රකාශ කළැයි කියා තිබුනේ ලංකාඊනිවුස් වෙබ් අඩවිය යි.

දැන් හොම්බෙන් යන්නට දී තිබෙන බැවින් ද නැවත එන නැගිටීමක් නියපොත්තෙන්ම කඩා දමන්නට සපථ කර ඇති බැවින් ද එහෙම වෙන එකක් නැතැයි ජයෙන් උදම්ව ඉන්නා අය කියන්නට පුලූවන.

එහෙත් බොහෝ දෙනා නොදන්නා කාරණය නම් සමහර මිනිස්සු  නිවටව දිගු කලක් ජීවත්වනවාට වඩා තම අභිමානය වෙනුවෙන් නිදහස වෙනුවෙන් එක් දවසක් හෝ සිංහයෙකු සේ සටන් වැද මියැදෙන්නට සූදානම් බව ය.

ඒ නිසා පියසේන මහතා නිවැරදි ය.

එහෙත්  ඔහු මුළුමනින් නිවැරදි නැත. ඔහුට එක් කරුණක් වැරදී තිබේ. දමිල නැගිටීමක් ඒ ද නො ඒ ද යන්න පමණක් නොව එහි නායකත්වය ගනු ඇත්තේ ප‍්‍රභාකරන් කෙනෙක් ද නැත් ද යන්නත් දමිළ ජනතාව අත පමණක් ඇති තීන්දුවක් නොවන බව ය.

එය (එහි වැඩි බර) ඇත්තේ ද අප අත ය.  මතුවන ගාන්ධීලා සුදුවෑන් යොදා උස්සාගෙන ගොස් අතුරුදන් කරන්නේ නම් දමිළ අරගලය ගාන්ධිලා නිපදවන එකක් නැත.

සුදු අධිරාජ්‍යවාදීන් තිරශ්චීන වූ බව සැබෑ ය. එහෙත් නිරායුධ ගාන්ධි ඉදිරියේ දිගින් දිගට ආයුධ පාවිච්චි කිරීමට හිත හදා ගැනීමට ඔවුන්ට නොහැකි විය. 

අපට එහෙම අවුලක් නැත. අප ඊට වඩා ම්ලේච්ඡු ය. අපට යටත් වූ මිනිසාට පවා තිරිසන් ලෙස සැළකිය හැකි තරමේ ‘මානුෂිකත්වයක් මෛත‍්‍රියක් කරුණාවක්’  අප සතුව තිබේ.

බිහිවන්නා තීරණය වන්නේ පවතින ඒ වටපිටාව අනුව ය.

ලංකාව අප්‍රිකාවක් කරන්නට සැරසෙන “අපේ අයියලා”ගේ වැඩ කිඩ

පහත දැක්වෙන්නේ මේ දිනවල මහත් පරිශ්‍රමයෙන් ගොඩ නගන්න හදන රටේ ස්වභාවය, මතු කෙසේ විය හැකි දැයි යන්න දැන ගත හැකි දත්ත සමූහයකි.

පිළිවෙල        රට     ‍ජනගහණ වර්ධනවේගය       ඇස්තමේන්තු වසර

1 Niger
7.75
2009 est.
2 Mali
7.29
2009 est.
3 Uganda
6.77
2009 est.
4 Afghanistan
6.53
2009 est.
5 Somalia
6.52
2009 est.
6 Burundi
6.33
2009 est.
7 Yemen
6.32
2009 est.
8 Burkina Faso
6.28
2009 est.
9 Congo, Democratic Republic of the
6.20
2009 est.
10 Angola
6.12
2009 est.
11 Ethiopia
6.12
2009 est.
12 Sierra Leone
5.88
2009 est.
13 Congo, Republic of the
5.84
2009 est.
14 Liberia
5.79
2009 est.
15 Western Sahara
5.61
2009 est.
16 Malawi
5.59
2009 est.

සිංහල ජනගහනය සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බැවින් එය ඉහල නැංවීම අරමුණු කරගෙන රයිගම් කෝරලයේ රයිගම් රාල කෙනෙක් විසින් ප්‍රචාරය කරන්නට යෙදුන වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් මේ තොරතුරු සපයා තිබුනේ ඔහු විසින් ම ය. ඉහත දක්වා ඇත්තේ ජනගහණ වර්ධන වේගය අතින් කප් ගසා තිබූ මුල් රටවල් දහසය යි.

ඔහුට අනුව ලෝකයේ සෙසු රටවල් සන්සන්දනයේදී ශ්‍රී ලංකාවේ ජනගහන වේගය (1.99) ඉතා අඩු ය. එය තරමක් හෝ කිට්ටු වන්නේ ඇමරිකාව (2.05) කැනඩාව (1.58) සිංගප්පූරුව (1.09) හා යුරෝපාකරයේ ඇති ඒ සමාන වෙනත් ‘දුගී’ රටවලට ය.

(ඇත්තටම මේවා අපට ඔරොප්පු වූ රටවල් ය. අප සිට ගත යුත්තේ අපට ඔරොප්පු වූ රටවල් සමග එකට නොව අප සමග එකට සිටගත් අප්‍රිකා ආසියා රටවල් සමග ය.)

ඒ නිසා මේ තත්වයේ වෙනසක් පතන්නට ඔහු කැමති ය. ඔහු ඒ සදහා ඉදිරිපත් වී ඇති සංවිධානයක් ගැන ද ඔහු සදහන් කරයි. ඒ හෙල උදාව ජාතික ව්‍යාපාරයයි. ඉතින් මේ ව්‍යාපාරය හා එක්ව උන්දෑ‍ගේ කල්පනාව අප රටත් අප්‍රිකාවේ ආසි‍යාවේ ඉතාම නොදියුණු රටවල කිහිපය අතරට පත් කිරීමට ය. ඒ දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් වදන්නට පෙළඹවීමෙනි.

ඕන දෙයකට හොට දමා සවුත්තුවීමට ලක ලෑස්ති සිටින, එනමුදු දරුවන් වැදීම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කිසිවක් කළ නොහැකි, හාමුදුරු කණ්ඩායමක් ද වයසට ගිය නිසා දරුවන් හැදීමේ කාර්යයට කෙළින්ම භෞතික දායකත්වයක් දිය නොහැකි ඊනියා විද්වතුන් කණ්ඩායමක් ද මේ සංවිධානය වෙනුවෙන් මේ පුණ්‍ය කාර්යයට අත ගසා ඇත.

එය වත්මන රට යන දිසාවටම යන බැවින් බොහෝ දෙනෙක් විසින් නිවැරදි යයි පිළිගන්නට ඉඩ ඇති බැවින් ද ඒ ගැන විමසිය යුතු ය.

මේ අයගේ උත්සහය අප්‍රිකාවේ ගෝත්‍රික යුද්ධවලින්, සාගතයෙන් හා ආර්ථික දරිද්‍රතාවයෙන් පෙලෙන රටවල් ගොල්ලට අපවත් තල්ලු කර දැමීමට ය. උපත් වර්ධන වේගයෙන් කප් ගසා ඇති රටවල් ‍දහසයම පාහේ වැලේ වැල් නැති එවැනි රටවල් ය. අනුන්ගෙන් අත පා ජීවත්වන රටවල් ය.

මුන් හෙලයට උදාකරන්නට හදන අනාගතයට දැන් පිඹුරු පත් සකසා අවසාන ය.

එහෙත් අනිත් සියල්ල සාර්ථක වුව ද අපේ රටේ අම්මලා නම් මේ ගොන්කමට සහභාගි කරවා ගැනීමට උන්ට පහසු වන එකක් නැත. අඩ අඩා හිටියාට අපේ රටේ ඉන්නා වාහේලාට වඩා උන්ට ප්‍රායෝගික නුවණ ඇති නිසා ය.

ඒ උන් ගෑනුන් නිසා ය. උපත් පාලනය නිසා විදි නිදහස පිළිබද අත්දැකීම් ඇති ගෑණු නිසා ය.

(ගෑණු ඕනෑවට වඩා නිදහස ලැබුයේ මේ උපත්පාලනය නිසා ය. උන් දරුවන් සමග ගෙදරට ගාල් කර තැබිය හැකි නම් පිරිමින්ට ඊට වඩා සහනයක් තවත් නැත. මේ උපත්පාලනයට විරුද්ධ පෙළ ගැසීම තුළ සැබෑවට ඇත්තේ ඒ වුවමනාව ද?)

අනේ කාලේ වනේ වාසේ!

ඉස්සර රජයේ පත්වීම් පිළිබද ලිපිය අප ලබා ගත්තේ තැපැල් පියුන් අතිනි. දැන් ඒ ලිපි අප අතට පත් වන්නේ එක්කෝ ඇමැත්තන්ගේ නැත්නම් ජනාධිපතිගේ ගෞරවනීය දෑතෙනි.

ඒ කාලයේ පත්වීම් ලිපි ලබා ගත් අවස්ථාවේ දණ ගසා වදින්නට අපට සිදු වූයේ නැත. දැන් බොහෝවිට දණ ගසා වදිනු දක්නට ලැබේ.

ඒ කාලයේ පත්වීමක් ලබා ගැනීමට අවශ්‍ය වුයේ සුදුසුකම් ය. දැන් අවශ්‍ය පන්දම් අල්ලා තිබීම ය.

ඒ කාලයේ පත්වීම් දුන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සදහා අවශ්‍ය මිනිසුන් බදවා ගැනීමට ය. දැන් පත්වීම් දෙන්නේ පත්වීම් ලබන්නන්ට කළ ගුණ සැළකීමට ය.

ඉස්සර රාජ්‍ය අංශයක් අවශ්‍යව තිබුනේ සේවා සැපයීමට ය. දැන් රාජ්‍ය අංශය අවශ්‍යව ඇත්තේ රැකියා සැපයීමට ය.

ඉස්සර රැකියා අපේක්ෂකයින් කළේ තමන්ට උචිත තනතුරු සොයා ඒවාට අයදුම්පත් යැවීම ය. දැන් කරන්නේ ඒ තනතුරු ලබා දෙන ලෙස ඉල්ලා උපවාස කිරීමය. පිකටින් කිරීමය. උද්ඝෝෂණය කිරීම ය.

ඉස්සර රජයේ රැකියාවක් ලද විට ඔබට ඒ සමග ලැබුනේ නිල නතතුරක් පමණකි. දැන් ඒ තනතුරත් සමග නව පවුල් සම්බන්ධතා රැසක් ද ඔබට ලැබේ. ඒ අයියා අක්කා හා නංගි මල්ලි හැටියට ය. එහි වාසිය අයියලා අක්කලා වෙනුවෙන් කඹුරන්නට ඔබට ඉඩ ලැබීමත් එහි වාඩුව ගන්නට නංගිලා මල්ලිලා ලවා ඔබට අවශ්‍ය වැඩ ටික කරගන්නට ලැබීමත් ය.

ජීවත්වෙන්නට තිබුනේ ඒ කාලයේ නොව මේ කාලයේ යයි කෙනෙකුට සිතුනොත් පුදුම වෙන්න දෙයක් නැත. නිවට වීමට සිදුවුනත් මේ අලසව දිවි ගෙවා දැමිය හැකි විදිහක් නිසා ය.

අපේ එවුන් පාලනය බාර ගත් දා සිට අපේ රට අගාදය කරා ඇදෙමින් තිබෙන බවට තිබෙන සාක්කිවලින් මේ එකක් පමණකි.

බර කරත්ත යුගය කරා යන මේ ගමන ළගකදී නම් ආපසු හැරවෙන පාටක් නැත.

අනේ කාලේ වනේ වාසේ! කිවුවා නොව කියවුනාය.

« Previous entries