Archive for May, 2009

වැඩි ගේමක් නැතිව ම දික්කසාද විය හැකි නීති ගේමුද ?

පහසුවෙන් දික්කසාද විය හැකි නීති ඇති රටවල සියදිවි නසා ගැනීමේ ප‍්‍රවණතාවය එසේ පහසුවෙන් දික්කසාද විය නොහැකි රටවලට වඩා බෙහෙවින් අඩු බව සොයා ගෙන තිබේ. එපමණක් නොවේ එසේ පහසුවෙන් දික්කසාද විය හැකි නීති රීති ඇති රටවල නිවෙස් තුළ සිදුවන හිංසනයන් මෙන්ම සැමියා විසින් සිය බිරිඳ මරාදැමීමේ අවස්ථා ද විශාල ලෙස අඩු බව වාර්ථා වෙයි.

http://bpp.wharton.upenn.edu/jwolfers/Papers/Divorceweb.PDF

මේකා නම් මේ රටේ පවුල් සංස්ථාවට පවා තර්ජනයක් වන පිටස්තරයෙකැයි කියා මා බැහැර කිරීමට ඔබට පුලූවන.

එහෙත් සත්‍යය අප දකින්නට කැමති දෙයට වඩා වෙනස් නම් අප එයට පිටු පෑ යුතු ද?

අපට අවශ්‍ය රණ්ඩුවෙමින් ජීවත්වන මරාගැනීමකින් හෝ සිය දිවි නසා ගැනීමකින් අවසන් වන ලෝකෙට පරකාසෙට ගෙදරට මරගාතෙට ජීවත්වන යම්තම් අටවා ගත් පවුල් සංස්ථාවක් ද නැත්නම් ස්වේච්ඡුාවෙන් එක්ව අකමැති නම් පහසුවෙන් වෙන්ව යෑමේ ඉඩ සහිත එතෙකුදු ආදරයෙන් ජීවත්වන පවුලක් ද යන්න අප විසින් තීරණය කළ යුතු ය.

ගබ්සාව නීත්‍යානුකූල කිරීම තරම්ම බරපතළ වන වඩා නිදහසේ වෙන්වීමේ ඉඩකඩ ලබා දීමට විරුද්ධව කට්ටිය වීදි බහිනු ඇත් ද?

ඔවුන්ගේ සටන්පාඨ කවරේදැයි දැනගැනීමට කැමැත්තෙන් පසුවෙමි.

Year of IT and English – ලෝකෙට පරකාසෙට ද නැත්නම් සැබෑ වුවමනාවකට ද?

මේ වසර ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වසර ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළේ  උත්සවාකාරයෙනි.

ඒ සදහා පැවති උත්සවයට ඉන්දියාවේ මේ පෙරළිය ඇති කළ විද්වතෙක්ද ගෙන්වන ලද අතර ඔහු මේ පිළිබද ජනාධිපති උපදේශකයෙක් ලෙස ද පත් විය.

පත් වී සතියක් යන්නටත් පෙර ‍ඔහු ඒ පදවියෙන් පලක් නැතැයි ඉල්ලා අස් විය. ඔහු ප්‍රකාශ කරන ලද්දේ නම් පුද්ගලික හේතු නිසා අස් වූ බව ය.

එයින් පසු ප්‍රකාශයට පත් කළ ඒ වසරට සිදුවූ දෙයක්  දැනගන්නට නැත.

අඩු වශයෙන් මේ වසර ප්‍රකාශයට පත් කළ එකේ ලජ්ජාවට මෙවර IT සහ English පාඨමාලා සදහා වෙනදාට වඩා වැඩි සංඛ්‍යාවක් විශ්ව විද්‍යාලවල බදවා ගන්නේ ද ඒ සදහා අවශ්‍ය ගුරුවරුන් පුහුණු කිරීම දැනටමත් ආරම්භ කර ඇත්තේ ද යන කාරණා ගැනවත් කිසිවක් දැන ගන්නට නැත.

මේ බ්ලොග් ලියන අයියලා මල්ලිලා අතර මේ ක්ෂේත්‍රයේ වැඩ කරන අධ්‍යයන්හි යෙදෙන කීප දෙනෙක් ම ඉන්නා නිසා මේ ගැන යමක් අපට දැන ගන්නට හැකි වෙතැයි සිතමු.

මෙයත් තව ඇස්බැන්දුමක් ද නව ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට යන ගමනේ එක් ඉදිරි  පියවරක්දැයි එයින් අපට දැන ගත හැකි ය.

ලංකාවේ ඉදිරිගමන වැටී තිබෙන්නේ සිංහල පමණක් ඔලුව උඩ තියා ගැනීමෙන් නොවන බවත් ඉංග්‍රීසිය පීඩකයින්ගේ බසක සිට පීඩිතයින්ගේ බසකට පෙරළිය යුතු බවත් කලින් බ්ලොග් සටහනක අපි ලීවෙමු.

ඊට අමතරව තොරතුරු තාක්ෂණය විශයද අපට වැදගත් ය. තොරතුරු මත නොගන්නා තීන්දු නිසා රටම අමාරුවේ වැටී ඇතිවාට අමතරව තොරතුරු බලගතු කීපදෙනෙක් අත පමණක් පැවතීම නිසා සෙසු ජනතාවට සාධාරණ අවස්ථා හා ඵල ද නොලැබී ගොස් තිබේ. ඒ නිසාම මේ තාක්ෂණය ප්‍රචලිත වීම රටේ ප්‍රගතියට අතිශයින් අදාළ කාරණයකි.

රටට ආදරය ඇත්තෝ මේවා ගැනත් කල්පනා කළ යුතු යයි අප යෝජනා කරන්නේ බොහෝ යහපත් කතාවන්, ඒවා පිළිබදව ජනතාව පසුවිපරම් නොකළ නිසාම හිරු නොදැකම මියගිය නිසා ය; යථාවන් බවට පත් කර ගැනීමට අප අපොහොසත් වූ නිසා ය.

සාමය උදාවීමත් සමග හමුදාව ලක්ෂ තුනක් දක්වා වැඩිවේ. හේතුව අපේ අහේතුව නම් නොවේ!

යුද්ධය නිල වශයෙන් අවසන් ය.

යුද්ධ සමයේ යුද හමුදාව ලක්ෂ දෙකකි. තව ලක්ෂයක හමුදාවක් එල්ටීටීය නැවත මතුවීම වැළැක්වීම සදහා අවශ්‍ය බව කීවේ එල්ටීටීය පැරද වූ හමුදාපති ම ය. මෙයින් අප තේරුම් ගත යුත්තේ

  • යුද්ධය අවසන් වූ පසු එළඹෙන සමය යුද්ධයට ද වඩා භයානක බව ය
  • එල්ටීටීය අවසන් වුවද එය බිහිවීමට බලපෑ හේතු තවමත් එසේ ම තිබෙන බව හමුදාපති පවා පිළිගන්නා බව ය
  • කේපී ජාත්‍යන්තර හමුදාවක් සමග හෙට අනිද්දා ලංකාව ආක්‍රමණය කරතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග වලින් ආණ්ඩුවට තොරතුරු ලැබී ඇති බව ය
  • අවතැන් කදවුරුවල ජනතාව මේ ගෙනියන වැඩපිළීවෙලේ හැටියට එල්ටීටීයට ගොනුවු‍වහොත් එතැන ඉන්නා ලක්ෂ තුනට ගැලපෙන සංඛ්‍යාවක් අපේ හමුදාව තුළ ද සිටිය යුතු බව හමුදාපතිගේ සූක්ෂම නුවණට වැටහී ඇති බව ය
  • කොඩි වනමින් මහ පාර දෙවනත් කළ දකුණේ තරුණයින්ට ජිවිතයටම තියෙන තෑග්ගක් දිය යුතුයයි ආණ්ඩුව කල්පනා කරන බව ය
  • වෙන රැකියා දෙන මාර්ගයක් පිළිබදව ආණ්ඩුව නොදන්නා බව ය
  • එළඹෙන මැතිවරණයේ තුනෙන් දෙකක් ගන්නට තව පොඩ්ඩක් මදි නිසා මෙයින් ඒක ඉබේම හැදෙන බව ය
  • අපේ රටේ ජනතාව මේ තරම්ම යුද්ධයට කැමති නිසා ඔවුන්ට මෙයින් අමතර ආතල් එකක් ලබා දිය හැකි බව ය
  • ලක්ෂ දෙකක හමුදාවක හමුදාවක නායකයා වෙනවාට වඩා ලක්ෂ තුනක හමුදාවක නායකයා වීම ගරු කටයුතු බව ය
  • BF ට නැතිවුනාට හමුදාපතිට මොළයක් තියෙන බව ය

සුද්දන්ට බම්බු ගහගන්න යයි කීවේ අපේ වාචාල කමට නොවේ

ලක්ෂ තුනක් අවතැන් කදවුරුවල ඉන්නා එක රටට බරකි. මේ යුද්ධයට විවිධාකාරයෙන් දායක වූ අය හැටියට අපට ද එය පසුතැවිල්ලට කාරණයකි. ඒ අය බලා ගැනීමට පමණක් නොව නැවත පදිංචිකිරිමට ද මුදල් අවශ්‍ය ය.

යුද්ධයට දායක වූ මගේ මිත‍්‍රයෝ කීප දෙනෙක්ම පවුලක් බාර ගෙන නඩත්තු කරන ලෙස ඉල්ලා අප වෙත ද ඊමේල් පණිවුඩ එවූහ.

තියෙන පවුල ද නඩත්තු කර ගැනීම දිනෙන් දින අමාරු වී ඇති වකවානුවක කෙසේ තවත් පවුලක් මට නඩත්තු කිරීමට හැකි වෙතැයි ඔවුන් සිතුවේද යන්නට මට පැහැදිලි නැත.

මේ ගැන අප හැමම කල්පනා කළ යුතු බවත් මෙයින් ගොඩ එන්නේ කෙසේදැයි යන්නට විසඳුම් සෙවිය යුතු බවත් ඔබ ද පිළිගන්නවා ඇත.

යුද්ධය මෙන්ම ඉතා වුවමනාවෙන් හා අධිෂ්ඨානයෙන් කෙරෙයි ද නැත්නම් අලස කම්මැලිකමකින් සිදුවේ ද යන්න තීරණය වන්නේ  මේ සඳහා දායක විය හැක්කේ කාට ද කියන එක අනුව ය.

අප ඒ ‍්‍රපශ්නය පසුගිය බ්ලොග් සටහනෙන් නැගුවෙමු. ‍්‍රපශ්න නගා නිකම් සිටින්නේ නැති ව මේ ගැන සාධනීය යමක් කළ යුතු ය.

සුනාමිය ඇතිවුනු වෙලේ නම් ලංකාවේ රුපියල ශක්තිමත් වෙන තරමට ආධාර ගලා ආවේ ය. පශ්චාත් සුනාමි කාලයේ බොහෝ විදේශිකයින් ද රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී නිවාස ඉදිකිරීම ඇතුළු වෙනත් කටයුතු කරනු අපි දුටුවෙමු. මේ ගමන එවැනි නිදහසක් ඔවුන්ට දීමට අපට බැරි ය. ඒ නිසාම මේ සදහා දායකත්වය දේවියයි ඔබ කවරක් හදුනාගත්ත ද ඔබේ දායකත්වය මේ සදහා වැඩිපුර අවශ්‍ය බව අපේ හැගීම ය.

මේ සදහා ඔබ දායකත්වය සැපයීමට කැමැත්තේ ද එය කුමන අයුරකින් ද යන්න දැන ගැනීමට ද අපි කැමැත්තෙන් සිටිමු. ඔබට වසර කීපයක් යන තෙක් ලැබෙන පඩියෙන් එක්තරා ප්‍රතිශතයක් මීට බැර කළ හැකි ය. සතියකට වේලක් හෝ දෙකක් නොකා ඉතිරි කරන මුදලින් වුව ද මීට ආධාර කිරීම තුන්වේල කන ඕනෑම කෙනෙකුට පුලුවන.

ඇත්තටම අපත් උල්පන්දම් දීම නිසා ආණ්ඩුව එරී ඇති මේ අර්බුදයෙන් එය ගොඩ ගැනීමට අපිදු යමක් කළ යුතුවෙමු. නැත්නම් අප රටට ආදරේ නැති අයගේ ගොඩට වුව වැටෙන්නට පුලුවන. ඉදිරි මාසයේ දී පඩියෙන් කීයක් හෝ කපා ගැනීමට ඔබ ඔබේ ආයතන ප්‍රධානියාට අවසර දෙනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. එවිට ඔබට රටට ආදරේ ඇති කෙනෙක් වෙන්නට වුව පුලුවන.

අපි සුද්දන්ට බම්බු ගහගන්න යයි කීවේ අපේ වාචාල කමකට නොව අපට මේක කරන්න පුලුවන් නිසා බව ලෝකයට පෙන්වීමට මේ ලැබී ඇත්තේ අනගි අවස්ථාවකි. කොඩි වනන්නට හා ගල් ගහන්නට තිබූ උද්යෝගයෙන් ‍බාගයක් ඔබ දක්වන්නේ නම් ආණ්ඩුව ගොඩ ය.

ඔබට ත්‍රිවිධ රත්නයේ සරණයි. දෙවියන්ගේම පිහිට යි!

ඊළග යුද්ධයට දායකත්වය කාගෙන් ද?

අවතැන් වූවන් නැවත පදිංචිකිරීම අභියෝගාත්මක කටයුත්තකි. ඒ සදහා මුදල් මෙන්ම වෙනත් සම්පත් ද අවශ්‍ය ය.

බොහෝ අය නොසිතුවාට, බොහෝ අයට නොදැනුනාට, එය ද යුද්ධයකි.

එල් ටී ටීයට විරුද්ධ යුද්ධයේදී හිටියාට ද වඩා වැඩි මිතුරන් පිරිසක්, ඊට ද වඩා වැඩි සම්පත් රැසක්, මේ යුද්ධයට අවශ්‍ය ය.

ඒ සදහා වැඩිම දායකත්වයක් සැපයිය හැකි යයි ඔබ සිතන්නේ

  • ආණ්ඩුවට ය
  • ආණ්ඩුවට යුද්ධයේදී උදව් දුන් ඉන්දියාව ලිබියාව ජෝර්දානය චීනය වැනි මිත්‍ර රටවලට ය
  • කොඩි වැනූ ජනතාවට ය
  • මානෙල් මල් ව්‍යාපාරයට ය
  • ජනතා විමුක්ති පෙරමුණේ රතු බලකායට ය
  • මහා සංඝරත්නයට ය
  • රජයේ සේවකයින්ට ය
  • පුද්ගලික අංශයට ය
  • දෙමල ඩයස්පෝරාවට ය
  • එල්ටීටීයේ ජාත්‍යන්තර සංවිධානයට ය
  • අප විසින් පන්නා දැමු යුරෝපීය ජනතාවට ය
  • එල්ටීටීයට කත් ඇද්ද එන්ජීඕ වලට ය
  • අපව දිගටම විවේචනය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ය
  • කවදත් බදු ගෙවන මේ රටේ පුංචි සිඤ්ඤෝලා ටය
  • අවතැන්වූ ජනතාවට ය
  • මියගිය ප්‍රභාගේ අවතාරයට ය
  • බොහෝ දේ විසදන කාලයට ය

හිගමන් දීමෙන් හිතට දැනෙන ප්‍රබෝධය හා මේ ගනුදෙනුවට අදාළ අතුරු කාරණා

මම පින් දහමට කැමැත්තෙමි.

වළ පයයි ගොඩ පයයි තියාගෙන ඉන්නා වැඩිහිටි සිංහල බෞද්ධ පිරි‍මියෙකු හැටියට ඊලග ආත්මය වෙනුවෙන් ද මොකක් හරි කර ගත යුතු යයි මට හැගේ.

හිගන්නෙක් පැමිණ ආධාරයක් ඉල්ලන කල මේ නිසාම මට ඇතිවන්නේ අධික ප්‍රීතියකි. පිනක් දහමක් කරගන්නට ඉඩ ලැබීමම ප්‍රීතියක් නොවන්නේ ද?

හිගන්නා වඩාත් බයාදු විදිහට ඉල්ලන්නේ නම් මා වඩාත් කැමති ය. එතකොට මගෙන් සල්ලි බලෙන් ගන්නවා නොව මගේ වුවමනාවෙන් මා දෙනවා මෙන් දැනේ.

මට දැනෙන්නේ මං උඩ ඉදන් මේ පහළ ඉන්න ඒ අහිංසක අසරණයාට උදව් කරනවා වැනි හැගීමකි. මට පුංචි උඩගු කමක් දැනේ. මං ඒ තත්වයට කැමති ය. තවත් මිනිසෙකු සමග පවත්වන සම්බන්ධයේදී එහි උඩින් ඉන්නට ලැබීමම හිතට සුවයකි. සතුටකි.

සල්ලි ලබා ගන්නා හිගන්නා මොනවා හෝ කියන්නේ නම් මා වඩාත් කැමති ය. දැන් ඉන්නා හිගන්නෝ සල්ලි ගත් ගමන් අත්තරඃදාන වෙති. මොනවා හෝ කියනවාට මං කැමති කිවුවත් මා වඩාත්ම කැමති “අපි ඉතින් ජීවත්වෙන්නේ ඔබතුමන් ‍වැනි දාන පතියන්ගෙ කරුණාව නිසා ඔබතුමාලට තව තවත් සැප ලැබෙන්න ඕන” වගේ ඒවා අහන්න ය.

ඇත්තටම හිගන්නන්ට මාකටින් උගන්නන්ට ඇකඩමියක් පවා දාන්නට මට වරක් සිතු‍නේ මේ නිසා ය. හිගන මාෆියාවක් අයිති කාරයෙකුට මෙයින් තම ආදායම පවා වැඩි කර ගත හැකි ය. කොහෙද හිගන්නන්ගෙන්ම යැපෙනව විනා තමන්ගේ සේවකයින්ගේ මානව සම්පත් සංවර්ධනයට මුන් ආයෝජන කරන එකක් යැ? කපටි හැත්ත!

මට තරහ එන්නේ සල්ලි අරගෙන එවැනි හිත සනසන වදනක් වැඩි කරදරයක් නැතිව කියන්න පුලුවන් කම තිබියදී උන් නිකම්ම මාරු වී යාම ගැන ය.

එහෙත් බොහෝ උනන්දුවෙන් කෘතගුණ සළකන හිගන්නෝද සිටිති. එහෙම කෙනෙක් යයි අනුමාන කරන කෙනෙකුට නම් ටිකක් වැඩි මුදලක් වුව දෙන්නට මගේ හිත පෙළඹෙයි.

ඇත්තටම හිගාකන්නන් නැති වුනොත් මා මේ සතුට ගන්නේ කෙසේ ද?

මේ දවස්වල වවුනියාව පැත්තේ ද අසරණ මිනිස්සු සිටිති. ඒ අයට දීම පිණිස ද තෑගිබෝග රැගෙන මම මාධ්‍ය ආයතනවලට ගියෙමි. අඩු ගණනේ ‍‍පොටෝ ගන්නා වැඩ පිළිවෙලක්වත් මේ තැන්වල යොදා නැති එක ගැන මට ඇත්තේ හිතේ තරහකි.

පින්දහම් කරන එක වෙනම දෙයකි. එයින් සුගතියක් අත්වෙන බව ද වෙනම දෙයකි. ඊට අමතර කාරණයක් ලෙස කුඩා ප්‍රසිද්ධියක් ද ලැබෙන්නේ නම් වඩාත් හොද ය. දැන් බලන්න පංසලක ලවුඩ්ස්පීක‍රයෙන් වාගේ අඩුගානේ වටපිටාවට ඇහෙන්නට නම වත් කියවන ක්‍රමයක් හදන්නට බැරි ඇයි?

ඇත්තටම පින් ලබා ගැනීමට හා කුඩා ප්‍රසිද්ධියක් ලබා ගැනීමට අමතරව මට මේ තීරණාත්මක අවස්ථාවේ රජයට ද සහය පළ කරන්නට ඕනෑ ය. එහෙත් අප ගෙන ගිය බඩු නිකම් වැඩි සැරසිලි නැතිව ගත් විට මේ එකක් වත් හරියට කෙරෙන්නේ නැත.

මේ තත්වය යහපත් අතට හරවන්නේ නම් මාසයකට වරක් එන විශ්‍රාම වැටුප් දිනයේ හෝ වැටුප් දිනයේ පුංචි සම්මාදමක් කිරිමට බොහෝ දෙනා පෙළඹෙනු ඇත. දිගටම වවුනියා කදවුරු තිබේ නම් මේ ගැන කල්පනා කර බැලීම වටී.

මේ යන විදිහට මැරෙණකම් පින්දහම් කරගෙන ඉන්නට අපට අවස්ථාව ඇත. එය කොතරම් සැනසීමට කාරණයක් ද? ඒ සම්බන්ධයෙන් අවස්ථාව ලබා දුන් තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ට ද වෙනත් දෙවි දෙවතාවුන්ට ද පින් අනුමෝදන් කිරීමට කැමැත්තෙමි.

ඔබත් වැඩිහිටි නම් සැබෑ පිරි‍මියෙක් නම් සිංහල බෞද්ධ නම් මේ අවස්ථාවෙන් වෙන අයට ද වඩා ප්‍රයෝජන ගත හැකි ය. පිනට දහමට බර අතීතයක් අපට ඇති නිසා ය. ඇත්තටම මේ රටේ හිගන්නන් හා දුප්පතුන් ජීවත් වන්නේ අප වැනි දාන පතියන්ගේ කරුණාව නිසා ය.

අනෙත් අතට අප පින් දහම් කරන්නේ ඔවුන්ට පින්සිදුවන්නට ය. නිකම් හිතා බලන්න හෙට අනිද්දා මුන් ටික නැතිවුවහොත් පිංකැමති අපට කුමක් වේ ද කියා!

හෙටත් අනිද්දාත් අප දෙගොල්ලන්ටම මේ කටයුත්ත කර ගැනීමට ඉඩ ලැබේවායි ශාසනාලයෙන් (වැරදි යෙදුමක් ද දන්නේ නැත මෙහෙම කියා ගෙන කියා ගෙන යන කොට එන වචන තමා ඒ) යුතුව පතමි.

කිසියම් හිගන්නෙකුට මේ සටහන නිසා සිත් රිදීමක් ඇතිවූයේ නම් කලින්ම සමාව භජනය කිරීමට ද කැමැත්තෙම්. වරදක් කළත් කළේ හිතකින් නොවන බව වවුනියාවේ ජනතාවට හා සියලු හිගන්නන්ට කියා සිටීමට ද කැමැත්තෙම්. අප ඒ තරමටම නිහතමානී බැවිනි. උණුවතුරත් අපි නිවලා බොන බැවිනි.

උතුරේ හා නැගෙනහිර පාරවල් යුද්ධයෙන් මිය ගිය රණවිරුවන්ගේ නමින් නැවත නම් කිරීම – චම්පික ඇමතිතුමාගේ දවසේ යෝජනාව

උතුරේ හා නැගෙනහිර පාරවල් යුද්ධයෙන් මිය ගිය රණවිරුවන්ගේ නමින් නැවත නම් කළ යුතු යයි කියා ති‍බුනේ කට ඇරියොත් විමසන්නට යමක් ඉතිරි කරන චම්පික රණවක මහතා විසිනි.

මෙයින් පෙනී යන්නේ

  • චම්පික මහතාට රණවිරුවන් වෙනුවෙන් යමක් කිරීමට ඇති සැබෑ වුවමනාව ය
  • දෙමළ මිනිසුන්ට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්දැයි චම්පිකට තවමත් අ‍වබෝධ වී නැති බව ය
  • එතුමා ලගකදී 1958 ජාතිවාදී කෝලාහල ආරම්භ වූ හැටි පිළිබදව නැවත කියවන්නට ඇති බව ය
  • දෙමළ ජනතාවට එරෙහිව දිගින් දිගට මෙවැනි කෙණහිලි කිරීමෙන් උන් නිහඩ කර යටත් කර තබා ගත හැකි බව ය
  • මියගිය රණවිරුවන්ට කළ හැකි හොදම උපහාරය වන්නේ ඔවුන්ගේ නම උඩින් තාර ගෑම කරන්නට පුලුවන් වනසේ බෝඩ් එකක එය ලිවීම බව ය
  • තමන් විසින් මෙතරම් මිනිස් කන්දරාවක් මරා දැමීමට දායක වූවා නොවේ දැයි පසුතැවිල්ලක් දෙමළ තරුණයන් තුළ ඇති කිරීම මගින් නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්විය හැකි බව ය
  • මේ නම් නිතර කියවීමෙන් සිංහල ඉගෙනීමට දෙමළ ජනතාවට අවස්ථාවක් ලැබී ඒ හරහා භාෂා ප්‍රශ්නයට කිසිදා නොවූ විරූ විසදුමක් ලැබීමට ඉඩ ඇති බව ය ඒ තුළින් ජාතික සමගිය ද නිර්මාණය වී රට සුරපුරක් විය හැකි බව ය
  • රණවිරුවෙකුගේ නම ඇති බෝඩ් ලෑල්ලක් ඉදිරියෙන් කුණු දැමීමට මිනිසුන් ඉදිරිපත් නොවන නිසා පාරවල් මුල කුණු එකතු වීමේ වත්මන් පුරුද්ද අභාවයට ගොස් පරිසර ඇමතිගේ වැඩ මෙයින් අඩුවිය හැකි බව ය
  • චම්පිකගේ මොළය ඇන්ඇම් ගේ මෙන් රත්තරන් නොවෙතත් ටිකක් දුරට රිදී බව ය
  • බොහෝ දෙනෙකුට ඉතිහාසයෙන් පාඩම් ඉගෙනීමට වුවමනා නැති බව ය
  • මේ මොහොතේ මිය ගිය රණවිරුවන් වෙනුවෙන් කරන්නට දැන් ඉතිරිව ඇත්තේ නම් ලිවීම පමණක් බව ය

අඩු කුලයේ ඇත්තන්ට සියම් නිකායේ දොර නොඇරීමට පාදක වූ අතීත කතාව

මල්වතු අස්ගිරි පාර්ශවය අයත් සියම් නිකායේ මහන වීමට ගොවිගම කුලයෙන් පිට කුලයක කෙනෙකුට අවසර නැත. මෙයට හේතුවී ඇත්තේ අතීත රජ දවසේ සිදුවූ එක්තරා සිද්ධියකි.

රජතුමා වඩිද්දි සෙසු සංඝයා හුනස්නෙන් නොනැගිට සිටි නමුත් එක්තරා සංඝයා වහන්සේ නමක් නැගිට රජුට වැදීම ඒ සිද්ධියයි.

පසුව මේ පිළිබදව සොයා ගෙන යන විට දැන ගන්නට ලැබී ඇත්තේ මේ සංඝයා වහන්සේ අඩු කුලයක ඇත්තෙක් බව ය.

මේ සිද්ධියෙන් පසු අඩු කුල ඇත්තන් මහණ නොකිරීමේ තීරණයක් ගෙන තිබේ. ඒ සදහා උපදෙස් දී ඇත්තේ ද රජතුමා ය.

සංඝයා නමකගෙන්ම අසා දැනගත් ඒ කතාවෙන් අපට පෙනී යන්නේ කුමක් ද?

  • එක් කෙනෙකුගේ වැරැද්දට ඒ පුද්ගලයා අයිති සමූහයටම දඩුවමක් දිය යුතු බව ය
  • ධුරාවලියේ රජ කෙනෙකුට වඩා ඉහලින් සංඝයා තැබිය යුතු බව ය
  • ධුරාවලියේ රජ කෙනෙකුට වඩා ඉහලින් සංඝයා සිටිය යුතු නමුත් රජු අනුදැන වදාරණ දෙයම සංඝයා විසින් කළ යුතු බවය
  • ඒ කාලයේ රජකම් කළ රජ්ජුරුවෝ බුදුන්ට ද වඩා බුදු සසුන ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන දැනුම් තේරුම් ඇතිව සිටි බව ය
  • ඇත්තටම බහුතරයක් සංඝයා නැගී නොසිටිය මුත් රජ අණට පිටුපාන්නට සංඝයාට නොහැකි බව ය
  • අඩු කුලයේ ඇත්තන් අදටත් මහණ නොකිරීමට තරම් මෙය පාප කර්මයක් බව ය
  • අඩු කුලයේ අයට කිසිදු වැදගත් තානාන්තරයක් සාසනයේ පමණක් නොව වෙන තැනකවත් ඉදිරියේදී වත් නොදිය යුතු බව ය
  • බුදුන් වහන්සේගේ ධර්මය පොඩ්ඩක් සංශෝධනය කොට ලංකාවේ සුවිශේෂී තත්වයන්ට  අනුව හදා ගත යුතු බව ය
  • අපට අතීතයෙන් ගැලවෙන්නට තව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු බව ය
  • මෙවැනි සංවේදී මාතෘකා නැවත කතා නොකරන්නට Beyondframe ගේ හම ගසා ඌ එල්ලා තැබිය යුතු බව ය

A Voice in Colombo ගේ ඉල්ලීම සළකා බැලුවෙමු

අප සාධනීය නොවේ යයි ද සාධනීය විය නොහැක්කේ මන්ද යයි ද කියමින් අපගේ මිතුරන් පමණක් නොව බ්ලොග් සගයින් ද මැසිවිලි නගන්නට පටන් ගෙන ඇත.

ඉතා මෑතක A Voice in Colombo බ්ලොග් අඩවියේ ද අප අඩවියට ද සම්බන්ධයක් දමමින් මේ පිළිබදව සුවිශේෂි බ්ලොග් සටහනක් ද විය.

මේ වුවමනාව සැබෑ ලෙස අවංක චේතනාවෙන් කෙරෙන්නෙකැයි අප විශ්වාස කරන බැවින් ඊට පිළිතුරු දිය යුතු ය.

අප ද සාධනීය වන්නට කැමති ය. එහෙත් එවන් වටපිටාවක සේයාවක්වත් අපට පෙනෙන්නට නැත.

අප බො‍හෝ දේ අපේක්ෂා නොකරතත් සාධනීයව ලංකාව දෙස නැවත බැලීමට පහත කොන්දේසි කිහිපය වත් සපුරා ලිය යුතුව තිබේ.

  • යුද්ධය ජයග්‍රහණය කළ ද ඒ සදහා අප විශාල මිලක් ගෙවා ඇතැයි පිළි ගැනීම හා යුද්ධය ප්‍රශ්නයක් විසදීමේ භාවිතා කළ යුතු නරකම ක්‍රමය බව පිළි ගැනීම මගින් යුද උන්මාදය ඉස්මතු කිරීම දැන්වත් අවසන් කිරීම
  • යුද්ධයේ සියලු වගකීම වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුද්ගලික ගිණුමට බැර නොකර ඊට මුල්වූ සමාජ ආර්ථික හේතු සොයා දැන්වත් ඒවාට පිළියම් කිරීම අවශ්‍ය බව පිළි ගැනීම
  • අවතැන් වූවන් නැවත ඉක්මණින් සිය ගම්බිම්වල පදිංචි කරවීම- ඒ පිළිබදව කිසියම් කාලරාමුවක් ප්‍රකාෂ කිරීම
  • යුද්ධය නිසා නැතිවුනු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ලබා දීමේ සුදානමක් ඇති බවවත් පෙන්වීම
  • ජාත්‍යන්තරය සමග මීට වඩා ශිෂ්ඨ ගනුදෙනුවකට යාම හා එමගින් රටේ ආර්ථික වර්ධනයට ඉඩකඩ ලබා ගැනීම
  • රාජ්‍ය මාධ්‍යවලින් දියත් කර ඇති විරුද්ධවාදීන්ට එරෙහි ඝෝසා නතර කිරීම
  • මාධ්‍ය දඩයම් කිරීම නැවැත්වීම හා දැනටමත් විවිධ චෝදනා මත අත් අඩංගුවේ සිටින මාධ්‍යවේදීන් ඉක්මණින් නිදහස් කිරීම
  • ලෙහා දමා ඇති මර්වින් සිල්වා වර්ගයේ දඩ බල්ලන් බැද තැබීම
  • විරුද්ධවාදී ව්‍යාපාරවලට එල්ල කරන තර්ජන නැවැත්වීම හා හිතවතුන්ගේ ව්‍යාපාරික වුවමනාවන් උදෙසා ජාතික ඕනෑ එපාකම් යටපත් වීම වැළැක්වීම
  • මිහින් එයා වැනි සෝබන කටයුතුවලට ජාතික ධනය වියදම් කිරීම නැවැත්වීම
  • විශාල ලෙස කරන රාජ්‍ය බදවාගැනීම් නතර කිරීම
  • 17 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම
  • ඇමතිවරුන් සංඛ්‍යාව සීමා කිරීම හා නිත්‍ය අමාත්‍යංශ සංඛ්‍යාවක් ඇති කිරීම
  • රට තුළ fear psychosis එකක් ගොඩ නැගීම වැළැක්වීම

මේ සියල්ල අධික පිරිවැයකින් තොරව කළ හැකි දේ ය. යුද්ධය සමාවට කාරණයක් ලෙස තවදුරටත් නැති නිසා මේ එකක්වත් පමා කිරීමේ හේතුවක් නැත.

මේවා ඉටුවන්නේ නම් සාධනීය ලෙස බලන්නට අප කැමති ය.

මේ තත්වය වෙනස් නොවන්නේ නම් රට යනු ඇත්තේ අගාධයට ය. එවිට ඒ බව පෙන්වාදීමට ඉදිරිපත් වීමට අපට සිදුවේ. අප නිශේධනීයයි කීමට නැවත වතාවක් ඔබට සිදුවනු ඇත.

හැට පස් හැවිරිදි දුර්වල සිරුරක් ඇති ගැහැණියකට බයෙන් ජීවත්වන බුරුමයේ පිරිමි ජුන්ටාව

බුරුමයේ ඇත්තේ මිලිටරි ජුන්ටාවකි.

අප මෙන්ම සුද්දන්ට බම්බු ගසා ගන්න යැයි කියා තමන්ගේ ගමනක් යන ආණ්ඩුවකි. ඒ අප මෙන් අද ඊයේ සිට නොවේ දශක ගණනාවක් තිස්සේ ය.

ආගම හා මිලිටරිය එකිනෙක හා බැදී ඇත්තේ අප රටේ දැක ගත හැකි ප්‍රමාණයට ද වඩා ශක්තිමත්ව ය.

රටේ නීතියක් නැති තරම් ය. පාලකයින් හිතූමතේ බොහෝ දේ කරති. ඒ අර්ථයෙන් ද එය ලංකාවට වඩා මදක් ඉදිරියෙනි.

ඒ සියල්ල එසේ තිබියදී ජුන්ටාව හැට පස් හැවිරිදි දුර්වල සිරුරක් ඇති ගැහැණියකට බයෙන් ජීවත් වෙයි. එය පුදුම සහගත ය.

ඇය නමින් අවුන් සාන් සූකි ය.

ඇය අභියෝග කර ඇත්තේ පිරිමින්ට ය. භූමි පුත්‍රයන්ට ය. මිලිටරි ජුන්ටාවකට ය.

ඇය සතුව ප්‍රභාට මෙන් ත්‍රස්ත හමුදාවක් නැත. ඇය වසර 13 ක් තිස්සේ නිවාස අඩස්සියේ පසුවන්නියකි.

ඇය ඉල්ලා සිටින්නේ එක් දෙයකි. බුරුමයට ප්‍රජාතන්ත්‍රවාදයයි.

ප්‍රශ්නය ඇත්තේ ජුන්ටාව වඩාත් අකමැති එයට වීම ය.

බුරුමය හැදෑරිය යුතු රටකි. අපට හොද පාඩමකි. ඒ පාඩම් ඉගෙන ගන්නවානම් ය.

« Previous entries