Archive for April, 2009

අවතැන්වූවන්ට දෙන දෙයින් පංගුවක් මංකොල්ල කෑමට ආණ්ඩුව සැරසෙයි

අවතැන්වූවන්ට විදේශවලින් ලැබෙන ද්‍රව්‍යමය ආධාර සඳහා තීරු බදු අය කිරීමේ තීරණය වෙනස් කිරීමට රජය සූදානම් නැතැයි ඊයේ නෙත් එෆ් එම් ගුවන්විදුලිය වාර්ථා කළේ ය.

මෙසේ එවන ද්‍රව්‍යමය ආධාර ලංකාවෙන් මිලදී ගත හැකි බිස්කට්, කිරිවර්ග හා පානීය ද්‍රව්‍ය නිසා මෙසේ තීරු බදු අය කිරීමෙන් දේශිය කර්මාන්තයට විය හැකි තර්ජනය වැළැක්වීම ආණ්ඩුවේ අරමුණ බව ද කියවිනි.

ඉතින් විදේශිය මහත්වරුනි, උඹලා ආධාර දුන්නාට කමක් නැත. එහෙත් ආණ්ඩුව නැමැති මංකොල්ල කරුවාට බදු ගෙවීමට ද ලෑස්ති වී ආධාර දිය යුතු ය.

අවතැන් වූවන්ට වියලි ආහාර ද්‍රව්‍ය හා පානයන් මිසක මේ වෙලාවේ දිය හැකි වෙන යමක් ඇත්නම් ඒ බෙහෙත් හේත් ය. විදේශවල සිටින අයට ඒවා මෙහෙන් මිලදී ගැනීමට ද බැරි ය. උන්ට ළයෙහි තෙතක් තිබෙනවා කළ යුත්තේ ආණ්ඩුවේ මංකොල්ලයට යටත් වීම ය.

මේ වෙලාවේ කොහෙන් ආවත් කමක් නැති විදේශ විනිමය අපට වුවමනා වී තිබේ. ඒ නිසා අවතැන්වූවන් ගැන පමණක් නොව අපගේ අමන ආණ්ඩුව ගැන ද අනුකම්පාවෙන් බදු ගෙවා හෝ අවතැන් වූවන්ට සළකන මෙන් දේශ හිතෛශීයව එන්ජී ඕ කාරයින්ට බලකිරීමට අපි කැමැත්තෙමු.

සමහර හිගන්නෝත් මෙසේ තමන්ට සිගමන් දෙන අයට ගෙම්බර් දමන්නට පුරුදුව සිටිති. මේ නාඩගම රග දැක්වෙන්නේත් ඒ භූමියේම ය.

Beyondframe ගේ අතීත කතාව

“උඹ සිංහලයෙක් ද?”

“දැන්වත් වෙන උන්ට කඬේ යන එක නවත්වපන්!”

මේ අවසානයට පළ වූ මගේ බ්ලොග් සටහනට මා ලද ප‍්‍රතිචාර ය.

මගේ තර්කයන්ට කිසිදු උත්තරයක් නොදී මේ අසන ප‍්‍රශ්නයන්ගේ තේරුම මට පසක් කර වූයේ මගේම මිතුරෙකි.

මචං උඹේ තර්ක හරි වෙන්න පුලූවන්. උඹ කියන කතාව ඇත්ත වෙන්න පුලූවන්. ඒත් ඒකෙන් වාසියක් වෙන්නෙ උන්ට. අපේ විරුද්ධවාදීන්ට. ඒ නිසා උඹ ඔය ලියන ඒවායෙ හරි වැරැද්ද මොකක් වුනත් ඒ වැඬේ වැරදි යි.

මා සිංහලයෙක් දැයි අසන, මා උන්ට කඬේ යන්නේ මන්දැයි අසන, මගේ සහෘද පාඨකයින්ට ද ඇත්තේද මගේ මිතුරාගේ ප‍්‍රශ්නයම ය.

ඒ ප‍්‍රශ්නය මා අතීතයට ගෙන ගියේ ය.

කුඩා කල අන් කොල්ලන් හා දබර කර ගත් විට බොහෝවිට බැණුම් ඇසීමට හා දඩුවම් ලැබීමට ලක් වූයේ අපව ය. එයට හේතුව වූයේ අන් කොල්ලන්ගේ අම්මලා උන් වැරදි විට ද උන්ගේ බේරිල්ල වෙනුවෙන් උන්ගේ වැරදි හංගමින් කටයුතු කරද්දී අපගේ වැරැද්දක් හංගාගන්නට පුලූවන් කල පවා එය එලියට ගෙන අපට ඒ සම්බන්ධයෙන් සමාව ගන්නට සැලැස්වූ අපේ අම්මා නිසා ය.

අපේ අම්මාගේ ක‍්‍රියාකලාපය බොහෝ අම්මලාට තේරුම් ගත නොහැකි වූ නමුත් පුංචි එවුන්ගේ ආරවුල් පුංචි එවුන්ගෙන් ඔබ්බට නොගියේ ඇයගේ දුර දක්නා නුවණ නිසාය යනු ආපස්සට ඒ අතීතය විමසන විට මට ඇතිවන හැගීම ය.

එසේවුවද එදවස මේ ගැන උරණ වී අප අම්මා සමග වාදයක් පවා ඇති කරගත් සැටි ද මට තවමත් මතක ය.

ඇය සන්සුන්ව මට කීවේ පුතේ උඹලගෙ වැරදි හදාගත්තොත් කවද හරි ඒකෙ වාසිය උඹලට. ඒ අම්මල ගොන්නුවගේ උන්ගෙ දරුවන්ගෙ වැරදි හංගන නිසා උන් කවදාවත් හරි වැරැද්ද ඉගෙන ගන්නෙ නෑ. ඇත්තටම මට උන් ගැන අනුකම්පා හිතෙනව. ඒත් කරන්න දෙයක් නැහැ. ඒක උන්ගෙ කරුමෙ. උඹල හොඳට හැදියල්ල. මට කරන්න පුලූවන් එච්චරයි. කවුද දන්නෙ උඹල හොඳ වුනොත් උනුත් හොඳ වෙයි. අත් දෙකකින් මිසක් එක අතකින් අප්පුඩි ගහන්න බැහැ.

මා ලද ඒ ශික්ෂණය අදද මගේ හැසිරීම තීරණය කරන්නේ යයි මම සිතමි.

ඔබ මා මිතුරෙකු හැටියට සළකන්නේ ඔබගේ සියලූ වැරදිවලට මා උල්පන්දම් දී ඒවාට උඩ ගෙඩි දෙන්නේ නම් මට ඒ ගැන කළ හැකි දෙයක් නැත. මක් නිසා ද යත් මා ඊට සූදානම් නැති බැවිනි. ඔබ මගේ මිතුරෙකු නම් ඔබේ වැරදි පෙන්වා දීමට මම නොපැකිළෙමි. ඒ ගැන ඔබ අකමැත්තේ නම් ඒ ගැන ද මට කළ හැකි දෙයක් නැත.

මගේ වැරදි පෙන්වා නොදෙන ඒවා වසන් කරන මා කරන කියන හැම දෙයක්ම අනුමත කරන මිතුරන් මම මිතුරන් ලෙස සැළකීමට පෙර දෙවරක් සිතමි.

ඊට ප‍්‍රතිපක්ෂව මම මගේ විවේචකයින්ට ආදරය කරමි. උන්ට මා කැමැත්තේ උන් නිසා මා ඉගෙන ගන්නා බැවිනි.

ඵීවේචකයින් වන්නේ පරුෂ වචනයෙන් මට බැණ වදින්නන් නම් නොවේ. උන්ගෙන් ඉගෙන ගත හැක්කේ පරුෂ වචන පමණකි. මා කැමති මගේ තර්ක බිඳින්නන්ට ය. මුවහත් ආයධ අතැති අයට ය. එහෙත් අවාසනාවකට වැඩියෙන් ඇත්තේ මුලින් කී තිත්ත කුණුහරුපයෙන් බැණ වදින මොට්ට ආයුධ භාවිතා කරන අමන රැලකි. උන්ගෙන් උන්ටවත් රටටවත් මටවත් වැඩක් නැත.

ලජ්ජා නැති කම මහමුදලිකමට සුදුසුකමක් වන්නාවූ වත්මන් යුගයේ විලි ලජ්ජාවේ ඛේදවාචකය

ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකු යයි කීවේ ඒ කාලේ ය. දැන් ලජ්ජා නැති කම මහමුදලි කමට සුදුසු කමෙකි.

අපට එසේ සිතෙන්නේ අවතැන්වූවන්ට සහන සැලසීමට ආණ්ඩුවට එන්ජී ඕ උදව් පතන්නට සිදුවීම දැකලා ය. තමන් විසින් බැණ බැහැර කරන ලද එන්ජී ඕවලට ආරාධනා කරන්නට ඒ බැන්නාවූ අයට සිදුවීම විලි ලජ්ජා නැති කමකි. එහෙත් වෙන කරන්නට දෙයක් නැත. දැන් දිගටම කරන්නට සිදුව ඇති විලි ලජ්ජා නැති වැඩය. තමන් විසින් බැන පලවා හැරිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආධාර ඉල්ලා අපි ගියේ ද එසේ විලි ලජ්ජා නැතිවය. ඒ ඊයේ පෙරේදාය. හෙට අනිද්දාට තවත් කරන්නට එවැනි ලජ්ජා නැති වැඩ බොහෝ තිබේ.

ඇත්තටම ලජ්ජා නැති කම සුදුසුකමක්ව ඇතැයි අප කීවේ මේ කාරණා නිසා ය.

රටේ මිනිස්සුන්ට ලජ්ජා නැතිනම් අප ලජ්ජා විය යුත්තේ ඇයි දැයි මේ යුගයේ මහමුදලිලා කල්පනා කරනවා නම් එහි වැරැද්දක් දකින්නට බැරි ය .

ලජ්ජා බය ඇතිව හැදිය යුත්තේ ගෑනු ළමයින්ව ය. මහ මුදලිලා වැඩි හරිය රැවුල්වලින් පවා සන්නද්ධ “පිරිමි” ය.

පිදුරු කෑ ජනතාව හා බත් කෑ ජනතාව

ජනතාවගෙන් වැඩි දෙනෙක් බත් කන බවත් ටික දෙනෙක් පිදුරු කන බවත් ඒ බව මැතිවරණ ප‍්‍රතිඵලවලින් සනාථ වී ඇති බවත් කීවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ය.

මෙය කෙසේ පෙනෙන්නේ ද යන්න එතුමා විස්තර නොකළ නිසා ඒ කටයුත්ත ද අප පිට පැවරී තිබේ.

එජානිසයට ඡුන්දය දුන් වැඩි දෙනෙක් මනාප දමා ඇත්තේ දුමින්ද සිල්වා නැමැති වඩාත් වැඩියෙන් මැතිවරණය සඳහා මුදල් වියදම් කළ අපේක්ෂකයාට ය. ඒ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මුල් තැනට තේරීමෙන් පමණක් නොවේ. ප‍්‍රතිශතයක් ලෙස දිස්ත‍්‍රික් තුනෙන් මුල් තැන ලබා ගැනීමෙනි. ප‍්‍රසන්න රණතුංග මහතා වැඩි මනාප සංඛ්‍යාවක් ලබාගත්ත ද දිස්ති‍්‍රක් ප‍්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 31 ගෙන හැමටම වඩා ඉදිරියෙන් ඉන්නේ දුමින්ද සිල්වා මහතා ය.

එතුමා බෙදුම් රේඛාවෙන් එහා පැත්තේ සිටියදී ආණ්ඩුවේම කට්ටිය ගෙන් ටකරං හොරකම් කළේය යන චෝදනාවෙන් පිදුම් ලැබුවේ ය. අසැබි යයි හංවඩු ගසා මේ ආණ්ඩුව විසින් නිල වශයෙන් තහනම් කරන ලද එකම ගුවන්විදුලිය වූ හිරු එෆ් එම් හි අයිතිකාරයා වූයේ එතුමා ය. අනර්කලී විසින් තමන්ට හිරිහැර කරන්නේ යයි පොලිසියට පැමිණිලි දැම්මේ මෙතුමාට විරුද්ධව ය.

පිදුරු කන්නේ කවුදැයි මොළේ ඇති ජනතාවට තේරුම් ගන්නට ඒ කැරැට්ටුව ඇති ය.

උඩ බලා ගෙන කෙළ ගහන විට පරෙස්සමෙන් ගැසිය යුතු ය.

ජනතාව කන්නේ නම් උන්ට පිදුරු කැවීම ගැන අපට උරණ විය හැකි ඉඩකඩ අඩු ය. එහෙත් එහෙම කවන ගමන් උන් මෙන්න පිදුරු කන්නේ යයි කියා උපහාස කිරීම ගැන නම් අපට ඇත්තේ පිළිකුලෙකි.

ආදර්ශමත් ජනමාධ්‍ය ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා සදා කල් දිනේවා

ආණ්ඩුවේ ඇමැත්තන් තමන්ගේ අමාත්‍යාංශවල කටයුතුවලට දැඩි සේ ඇගිලි ගසන බවට මතය සහමුලින්ම බොරු කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා සමත්ව සිටී.

ඇත්තටම එතුමා යටතේ ඇති ආයතනවලට තම කටයුතු තමන්ට ඕනෑ ආකාරයට පවත්වා ගෙන යන්නට එතුමා විසින් නිදහස දී ඇත. මේ බව ඔප්පු වූයේ ඊයේ අවසන් වූ මැතිවරණය සඳහා එජාපයෙන් පළ කරන්නට තැත් කළ දැන්වීම්වලට ඉඩ දීම රාජ්‍ය විද්‍යුත් මාධ්‍යයන් විසින් ප‍්‍රතික්ෂේප කරන ලදැයි කියන කතාවට එතුමා දුන් උත්තරය නිසාවෙනි. එතුමා කීවේ තමන් එවැනි උපදෙස් කිසි කලෙක දී නැති බවත් ඒ අයතනවලට තමන්ගේ ස්වාධීන මතය අනුව කටයුතු කිරීමේ නිදහස ඇති බවත් ය.

ඉතින් මෙවන් රත්තරන් ඇමතිවරුන්ට ඇගිලි ගසන්නේ යයි චෝදනා කිරීම සහගහන අපරාධයක් නොවන්නේ ද?

මර්වින් සිල්වා ඇමතිතුමා ඇවිත් රූපවාහිනියේ තොවිලයක් නටා ගිය පසු පවා ඒ ගැන අනවශ්‍ය ලෙස මැදිහත් වන්නට අනුර යාපා මහතා කල්පනා කළේ නැත. එහෙව් අනුර මහතා මෙවැනි සොච්චම් කටයුත්තකට මැදිහත් වනු ඇතැයි ඇත්තටම සිතන්නට බැරි ය. එහෙව් අහිංසක ඇමතිවරයෙක් ගෙන් මෙවැනි ප‍්‍රශ්න නගන යූ ඇන් පී කාරයින්ට නම් හොඳක් වන්නේ නැත. මේ මැතිවරණයේ ප‍්‍රතිඵල මෙසේ වූයේ ඒ නිසා වන්නට බැරි ද?

ඇමතිවරු මෙසේ ඇගිලි නොගහාම සිටියොත් කුමක් වේවි දැයි පුංචි සැකයක් හිතේ තිබේ. හෙට අනිද්දාට අනේ අපි වෙනුවෙන් මැදිහත් වෙන්න යැයි ඉල්ලා උන් ඉදිරියේ දනින් වැටීමට අපට සිදුවනු ඇත් ද?

ජනතාවට හොඳ වැඬේ ය. ඇමතිවරු ඇගිලි ගහනවා යයි කෑකොස්සන් ගැසුවේ උන් ය. මැතිවරණ ප‍්‍රතිඵලවලින් ද කියන්නේ ජනතාවට හොඳ වැඬේ බව ය.

ඈතදි බැලූවිට දඹ රන් රේඛා – මෑතදි පෙන්වන බෙදනා රේඛා – පෙරමුණ ගත්විට මැකෙනා රේඛා – රේඛා නැතුවත් ඇඳෙනා රේඛා

ලාංකීය සමාජය විවිධ බෙදුම් රේඛා ඔස්සේ බෙදුණු සමාජයකි.

ඉන් එකක් වන්නේ පිරිමි ගැහැණු රේඛාව ය. පිරිමි ශක්තිමත් ය. දැනුම් තේරුම් ඇති ය. හික්මුණු සද්දන්තයින් ය. ගැහැණු දුර්වල ය. මෝඩ ය. අවසර තැන වරදේ බැඳෙන සුළු ය. මේ නිසා තාත්තලාට කැමති ඇඳුමක් ඇඳ ගෙන දරුවා සිටින පාසලට ගිය හැකි මුත් අම්මලාට ඊට අවසර නැත.

තවත් බෙදුම් රේඛාවක් වන්නේ වැඩිහිටි තරුණ රේඛාවය. ඉන් වැඩිහිටි පැත්තේ ඉන්නේ පරිණත තේරුම් ඇති වගකීමක් දැරිය හැකි පිරිස ය. අනෙත් පැත්තේ සිටින්නේ ලා බාල දැනුම් තේරුම් නැති ගුරු හරුකම් දිය යුතු පිරිස කි. ඒ නිසා උන් වැඩිහිටියන්ගේ උපදෙස්වලට අනුව හැසිරිය යුතු ය. නැත්නම් ගොනා වගේ සිටිය යුතු ය.

ඊලග බෙදුම් රේඛාව ආගම ය. බෙදීම බෞද්ධයින් හා අන්‍යාගාමිකයින් වශයෙනි.  ඉන් එක් පැත්තක ඉන්නේ මෙරටට අයිතිවාසිකම් කිව හැකි භූමි පුත‍්‍රයින් ය. අනෙත් පැත්තෙ ඉන්නේ බෞද්ධයින්ගේ අනුකම්පාව නිසා මෙහි ජිවත්වීමට ඉඩ දී ඇති අන්‍යාගාමිකයින් ය. ඇත්තටම බුදුන් උපන්නේ ඉන්දියාවේ නොව ලංකාවේ යයි හිතෙන තරමට මේ සංකල්පය දුර දිග ගොස් තිබේ. බොහෝ වාහනවල මේ බුදුන්ගේ දේශය යයි ස්ටිකර් අලවා ඇත්තේ එහෙයිනි. අන්‍යාගාමිකයින් බහුලව වෙසෙන පළාත්වල පවා බලහාත්කාරයෙන් බුදු පිළිම ගෙන ගොස් ස්ථාප්තිත කරන්නේ ඒ සඳහා ය.

සිව්වෙනි බෙදුම් රේඛාව වැටී තිබෙන්නේ සිංහල හා අන්‍යජාතිකයින් හරහා ය. එය ද භූමි පුත‍්‍ර ගැටලූවකි. මේ සිංහල අපගෙ රටයි යනුවෙන් ගීත ගායනා කරන්නේ මේ බව නිරන්තරයෙන් කාටත් මතක් කර දීමට ය. සෙසු අය ඉන්නේ සිංහලයින්ගේ අනුකම්පාව යටතේ ය.

පස්වෙනි බෙදුම් රේඛාව කුලය ය. ඇත්තටම ගොවිගම කුලය එක් පැත්තකත් අවශේෂ කුල තව පැත්තකත් හැටියට මේ බෙදීම පවතී. මෙයින් අදහස් කරන්නේ අනෙත් කුල අතර රේඛා නැති බව නොවේ. ඇත්තටම භූමි පුත‍්‍ර පාර්ශවය මෙතැනදී ගොවිගම කුලයයි. සෙසු කුලවල අය පසු කාලයක ලංකාවට කඩා පාත් වෙච්ච අය ය.

සය වෙනි බෙදුම් රේඛාව ඇත්තේ දේශපාලන බලය හිමි ආණ්ඩුව හා විරුද්ධ පක්ෂිකයින් අතර ය. ජීවත්වීම ඇතුළු සියල්ලේ අයිතිය ඇත්තේ ආණ්ඩු පාක්ෂිකයින්ට ය. ඔවුන්ගේ අනුකම්පාව හිමිවෙන තරමට විරුද්ධ පාක්ෂිකයින්ට ද ජිවත්විය හැකි ය. යම් යම් දේ සීමාසහිතව කළ හැකි ය.

(හිරු එෆ් එම් අධිපති දුමින්ද සිල්වා මහතාට තහනම් කරන ලද තම ගුවන්විදුලි සේවාව නැවත ලබා ගැනීමට කිරීමට තිබුනේ බෙදුම් රේඛාව පැනීම ය. බෙදුම් රේඛාවෙන් වැරදි පැත්තට පැන්න ශ‍්‍රීපති සූරියආරච්චි මහතාට හිර ගෙයි ලගින්නට සිදුවුනේ නිල වාහන වැරදියට භාවිතා කළ නිසාම නොවේ. හැම ඇමතිවරයෙක්ම එසේ කරති. එහෙත් එහෙම කිරීමෙන් පසු බෙදුම් රේඛාවෙන් වැරදි පැත්තටම පැනීමට බැරි ය. අද සරණ ගුණවර්ධන ඇමතිවරයාව පොලීසියෙන් සොයතත් හමුවන්නේ නැත. උසාවියේ වරෙන්තුවක් ඇතත් පොලීසියට අල්ලා ගත නොහැකි එතුමා ඊයේ පෙරේදා පොලිස් මුරකාවල් සහිත ජනාධිපති මන්දිරයේදීම ජනාධිපති තුමා බැහැ දැක ගත්තේ ය. ඒ බෙදුම් රේඛාවෙන් හරි පැත්තේ එතුමා සිටිනා නිසා ය. බෙදුම් රේඛාවෙන් හරි පැත්තේ ඉන්නා විට කළ හැකි දේ බොහෝ ය. වැරදි පැත්තේ ඉන්නා විට කළ නොහැකි දේ බොහෝ ය.)

සත් වෙනි බෙදුම් රේඛාව ඇත්තේ ආර්ථික බලය තිබෙන හා නැති අය අතර ය. ආර්ථික බලය තිබෙන අයට හිර ගෙදර වන්නේ ආරෝග්‍යශාලා ය. ඔවුන්ට නැති අය මෙන් හිරේ තපින්නට සිදු නොවේ. ඔවුන්ට සෙසු අය සතු මුදල් වංචා කිරීමේ අවසර පත‍්‍ර ද තිබේ. සෙසු අය ජීවත්විය යුත්තේ ඒ අයගේ අනුකම්පාවේ ප‍්‍රමාණයට ය.

තවත් බෙදුම් රේඛා බොහෝමයකි. නිල බලය ඇති අය හා නැති අය අතර ඇඳෙන රේඛාව එවැන්නකි. සියල්ල මෙහි ලන්නට ගියොත් මෙය අවසානයක් වන්නේ නැත.

ඔබ මේ බෙදුම් රේඛාවන්ගෙන් කුමන පැත්තේ සිටින්නේ ද යන්න අනුව ඔබට සමාජයේ ලැබෙන සම්ප‍්‍රයුක්ත ස්ථානයක් තිබේ. වඩා වැදගත් වන්නේ අන්න ඒ යථාර්තය තේරුම් ගැනීම ය.

ඔබ ආර්ථික වශයෙන් ශක්තිමත් ආණ්ඩුව පැත්තේ සිටින සිංහල බෞද්ධ ගොවිගම වැඩිහිටි පිරිමියෙක් නම් ඔබ වාසනාවන්ත ය.

එසේ නොවන්නේ නම් ඔබට බෙදුම් රේඛාවෙන් එපිටහ ඉන්නා අයගේ අනුකම්පාව මත රැඳීමට යැපීමට සිදුවේ.

ඔබ විමල් වීරවංශ මෙන් ගොවිගම කුලයට අයත් නොවන අනිත් කරුණු අතින් පරිපූර්ණ කෙනෙකු නම් කළ යුත්තේ ගොවිගම කුලයේ ආණ්ඩු පක්ෂයේ ඉන්නා සරත් අමුණුගමට ද වඩා සිංහල වීම ය. එයැයිට ද වඩා බෞද්ධ වීම ය. මල්වත්තේ පන්සල පැත්තේ වැඩි වාර ගණනක් යාම ය. යනවිට එයැයිටද වඩා පඩුරු පාක්කුඩම් ගෙන යැම ය. එයැයිටද වඩා ආණ්ඩුව වෙනුවෙන් වැඩ කිරීම ය. එවිට ඔබට යම් වාසියක් ලබා ගත හැකි ය.

ඔබ කරුණා මෙන් සිංහල බෞද්ධ නොවන එහෙත් අනෙත් කරුණු අතින් පරිපූර්ණ නම්කෙනෙක් නම් කළ යුත්තේ ඩිලාන් පෙරේරාට ද වඩා සිංහල බෞද්ධ වීම ය. දෙමළුන්ට පොලිසියක් ඉඩමක් නොව කිසි දෙයක්  ඕනෑ නැතැයි ද ජනාධිපති තුමාගේ කරුණාව ලැබෙන්නේ නම් ඇතැයි කීම ය.

ඔබ බෝ අක්කා මෙන් පිරිමියෙකු නොවන්නේ නම් කළ යුත්තේ රසික නානායක්කාර වැනි පිරිමියෙකුට ද වඩා පිරිමිවීම ය. පාසල් යන අම්මලාට සාරි ඇන්දවීමට පිරිමින්ට ද වඩා ඉස්සරහ සිට පෙරමුණ ගැනීම ය. සාරිය ගැන වෙනත් අදහස් තිබුන ද සාරියම ශිෂ්ඨ බවේ සංකේතය හැටියට බෞතීස්ම කිරීම ය.

බෙදුම් රේඛාවෙන් වැරදි පැත්තේ ඉන්න අයට හරි පැත්ත ගත හැක්කේ එසේ තමන්ගේ සැබෑ ප‍්‍රතිපක්ෂය වීමෙනි. ආත්මය පාවා දීමෙනි. සිය අනන්‍යතාවය අත් හැර දැමීමෙනි.

ඔබ ඊට සූදානම් නම් (විමල් කරුණා දුමින්ද සිල්වා ඇතුළු පිරිස මෙන්ම) ගොඩ ය.  නැත්නම් ඉතින් ඔබට දෙවියන්ගේ පිහිට ආධාරය පැතීම හැරුණු කොට වෙන කළ හැකි දෙයක් නැත.

මේ තමන්ගේ අනන්‍යතාවය අත්හැර, ප‍්‍රධාන ධාරාවේ අනුකම්පාව මත යැපෙන, ආත්මයකින් මනසකින් තොර කෙනෙකු බවට පත්වීමේ හෝරාවයි. ඔබට ඊට එරෙහි විය හැක්කේ තවත් ටික කලකට ය. දුක් නොවිඳ දැන්ම ඒ වෙනසට හිත හදා ගැනීමෙන් කරදර අඩු කර ගත හැකි ය.

මේ බව දෙමළුන් දැන සිටියේ නම් උන් මේ තරමට දුක් විඳින්නේ නැත.

එකම කොඩිය යට – එකම දැයක් වී

පක්ෂ ඇතූළු සියලූ බේද දුරලා එකතු විය යුතු යයි බොහෝ අපූරු යෝජනාවක් මම දුටුවෙමි.

මම එක පයින් කැමැත්තෙමි. ඇත්තටම ඔසවන්නට හැකි නම් අත් දෙකත් කකුල් දෙකත් ඔසවා වැඩි ඡුන්ද ගණනකින් යෝජනාව දිනවන්නට ද කැමැත්තෙමි.

ඇත්තටම මාත් හිටියේ ඒ යෝජනාව කරන්නට ය. හැබැයි පුංචි ව්‍යාතිරේඛයක් ද සමගිනි. ඔබ උරණ නොවෙතැයි මා හිතන කොන්දේසියක් ද සමගිනි.

ඔබ එකතු විය යුත්තේ  Beyond Frame වටා ය. යෝජනාව ගෙනා මිත‍්‍රයා දිනේවා!

හැමෝම කැමති රට එකතුවනවාට ය. පොඩි පරහකට ඇත්තේ ඒ එකතුව ගොඩ නගන්නට හදන්නේ තමන් වටා වීම ය.

දැන් හෙට අනිද්දා ලෝකයේ කම්කරුවනි එක්වව් කියන සටන් පාඨය යටතේ ලංකාවේම විසිතිස් පොළක කම්කරුවන් එක් වන්නට නියමිතව ඇත්තේ ඒ නිසා ය.

BFටත් පහළ වී ඇත්තේ අන්න ඒ පුංචි ආසාව ය. හෙට සිට කිසිදු බේදයක් නැති රටක් – බබා ලන්තයක් – හැදිය හැකි ය. ඒ සඳහා කළ යුත්තේ හැමෝම Beyond Frame වටා එක්වීම ය. වැල නොකැඞී කට්ටිය රොක්වන තුරු මම බබා ලන්තය ගොඩනැගීමට සිහින බලමින් සිටිමි.

අපට අහිමිවූ තිස්ස අබේසේකරයන්ගේ අභීත හඬ

මෑතදී අපට අහිමිවුනු තිස්ස අබේසේකර නම් අභිත කලා කරුවා විසින් 2005 තරම් ඈතදී පවත්වන ලද කතාවක් පිළිබඳ හෝඩුවාවක් ඔබට දීම සඳහා මේ සටහන වෙන්වේ.

මේ විමසීමට ද වේලාව යයි සිතන අයට එම කතාව කියවන්නට කරන අරාධනයයි.

මෙය පළ කෙරී ඇත්තේ ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ ය. මේ එහි පිවිසුමයි.

http://www.lankaenews.com/Sinhala/news.php?id=8628

මේ විමසීමේ වේලාව නොවේ – රස විඳීමේ හෝරාවයි

ඇත්තටම අප මේ පසු වන්නේ ලොව කෙනෙකුට සිටිය හැකි ඉහළම තැන යයි ශ‍්‍රී ලාංකිකයෙකු කල්පනා කරන්නේ නම් ඒ ගැන පුදුම විය යුතු නැත.

ඇත්තටම අප මේ පානය කරමින් සිටින්නේ අමෘතය දැයි අපට සැක සිතේ. බොනවාත් සමගම දැනෙන දෙයින් මුලූ ඇගම රත්ව නැගිට එයි. එයින් ඇගට දැනෙන මත මනස පවා පුබුදු කරයි.

ඇත්තමට මේ වළඳන මාංශය සැබෑවට රසවත් ය. කොතෙක් ද යත් එහි සුවඳ සියලූ රස නහරයන්ට පාවඩ එලා ආරාධනය කර සිටී. එහි ඇති කුණු රසින් රස නහර සියල්ල පිනා යයි.

ඇත්තටම මේ අගන කොතරම් සුන්දර ද යත් ඇගේ පහස කොතරම් මුදු ද යත් ඇය විසින් අනුබල දෙනු ලැබ මේ එළැඹ ඇති සුරාන්තය අතිශයින් රසවත් ය.

ඇත්තටම අද මේ බොන්නාවූ කසිප්පු නිසා හෙට ආරෝග්‍යශාලාවේ ලැග දවස පුරා වමනය කරන්නට සිදුවෙනු බවත් දිවිගලවා ගැනීමට සටන් කිරීමට සිදුවන බවත් වළඳමින් සිටින්නේ හෙට වැසිකිළියේ දවස පුරා ලගින්නට සිදුවන වමනය දමා කෙළවරක් කළ නොහැකි මාංශයක් බවත්  අප මේ විඳින්නේ කෝටියක් වසංගත රෝගයන්ගෙන් පෙළෙන වෙසගනකගේ පහස බවත් මුලූ ජීවිතයම ඒ නිසා කාලකන්නි විය හැකි බවත් අපට නොදැනේ. ඒ ගැන සොයන්නට වුවමනාවක් ද අපට නැත. ඒ ගැන දැනගන්නට පවා කැමැත්තක් ද මේ මොහොතේ අපට නැත.

ඇත්තටම කසිප්පු බී රසමසවුළු වළඳමින් සුකොමල ස්ත‍්‍රියක හා එක්ව සුරාන්තයකට යෑම බොහෝ නරයින්ගේ ආසාවකි. එහෙත් බොන්නේ විස සහිත කසිප්පු බවත් කන්නේ අපතවන මාංශයක් බවත් සුරාන්තය සොයන්නේ අටුඅනූවක් රෝග ඇති වෙසගනකගෙන් බවත් මතක් කරන්නට ඉදිරිපත් වන කෙනෙකු සතුරකු ලෙස පන්නා දැමීමට අප පෙළඹීම එවන් මොහොතක අතිශයින් ස්වභාවික ය. මක්නිසා ද යත් මේ විඳීම එපමණටම සැප දායක නිසා ය.

එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන්නේ එවැනි මතක් කිරීමක් කිරීමට ඉදිරිපත් වන මිතුරෙකු පවා කුණු හරුපයකින් සංග‍්‍රහ කර එලවා දැමීම ය.

අවට ලෝකය අපට මේ මොහොතේ පවතින බවක් නොදැනේ. දැනෙන්නේ එකම දෙයකි. කසිප්පු වල මිහිර ය. වළඳන මසේ රස ය. සුරාන්තයේ සතුට ය.

මේ සතුට අවසානයේ ඉතිරිවන්නේ කුමක් ද යන ප‍්‍රශ්නයට උත්තර සෙවීමට මේ අවස්ථාව නොවේ. මේ විමසීමේ වේලාව නොවේ. උපරිමය විඳීමේ හෝරාවයි.

අපට ඇත්තේ සානුකම්පාවෙන් ද කම්පාවෙන් ද මේ විගඩම නැරඹීමත් අපත්තියක් නොවේවා යි පැතීමත් පමණකි.

කැඩපතට හසු නොවුනු උපහාසය හා අපහාසය වෙන් කරන බෙදුම් රේඛාව

බෝ අක්කාට සිදුවූ අකාරුණිකත්වයක් ගැන දිග හෑල්ලක් සහිත බ්ලොග් සටහනක් දැක්කෙමි. ඒ කැඩපත බ්ලොග් අඩවියේ ය. ඒ සටහනෙන් කියා තිබුනේ Beyondframe ගේ රෙදි ගැලවී ඇති බව ය.

මම උපහාසයට කැමැත්තෙමි. යම් දුර්වල කමක් අලජ්ජී කමක් උපහාසයට ලක් කිරීමෙන් මම විනෝදයක් ද ලබමි. ඇත්තටම ආයතනයක වේවා, සමාජයක වේවා, පුද්ගලයෙකුගේ වේවා දියුණුව සැළසීමට උපහාසයට විශාල භූමිකාවක් රග පෑ හැකි ය.

කවරෙකු හෝ මා උපහාසයට ලක් කරන්නේ නම් ඊට ද මා කැමති ය. මට එයින් උගත හැකි බැවිනි.

උපහාසය හා අපහාසය වෙන්වන්නේ සියුම් ඉරකිනි. මේ නිසා සමහරු මේ දෙක පටලවා ගනිති.

(ඇත්තටම සිනහව සම්බන්ධයෙන් සංස්කෘතයේ විශාල වචන සංඛ්‍යාවක් යෙදේ. උපහාසය හා අපහාසය ඉන් දෙකක් පමණකි. හාස, මන්දහාස, අනුහාස, අවහාස, පරිහාස, සංහාස, අට්ටහාස, හසිත, ස්මිත, මන්දස්මිත, ස්මය, උත්ස්මය, විහාස, විහසිත, විහසන, මන්දහාස්‍ය, හාස්‍ය, ප‍්‍රහසිත, ප‍්‍රහාස ආදී වශයෙනි. මේ ඔක්කොම ගැන ලිව්වොත් කැඩපතගේ මොළය කොළොප්පන් විය හැකි නිසා අපි මුලින් කී වචන දෙක පමණක් සළකා බලමු)

මා උපහාසයට කැමති ඉන් සාධනීය යමක් වන බැවිනි. එහෙත් අපහාසය එසේ නොවේ. එය නිශේධනීය ය.

අපහාස කරන්නා බොහෝවිට බොරුව ද පරුෂ වචනය ද භාවිතා කරයි. උපහාසයේ මේ දෙක ම නැත.

දෙකින්ම අපේක්ෂා කරන්නේ ලක්ව තැනැත්තා දෙකේ කොළයට දැමීමට වුව ද උපහාසයේ අපේක්ෂාව ඔහු ඉන් ගොඩ ගැනීම ය. අපහාසයේ අපේක්ෂාව ඔහු ඉන් විනාශ කිරීම ය. ඒ සඳහා භාවිතා කරන මෙවලම්වලින් මොළය ඇත්තෙකුට මේ දෙකේ වෙනස හඳුනා ගත හැකි ය.

මම මගේ බ්ලොග් අඩවිය තුළ සහෝදර බ්ලොග් කරුවන්ට අපහාස වනු දැකීමට අකැමැත්තෙමි. එහෙත් ඔවුන් උපහාසයට ලක් වනු දැකීමට මගේ අකමැත්තක් නැත.

එසේ වුවද උපහාසය හා අපහාසය අතර වෙනස හඳුනා ගැනීමට මට වුව ද නොහැකි වන අවස්ථා තිබෙන්නට පුලූවන. ඒ සඳහා අවශ්‍ය තොරතුරු මා සතුව නොතිබීම ඊට හේතු විය හැකි ය. සමහරවිට පරෙස්සමින් සමහර ප‍්‍රතිචාර කියවීමට වෙලාවක් නොමැතිවීම ද එයට හේතු වන්නට පුලූවන. මේ බ්ලොග් අඩවිය මගේ වෘත්තියට අයිති නැත. මා මෙය කර ගෙන යන්නේ පුද්ගලික වැඩ පවා අතපසු කරගනිමිනි. ඒ නිසා මගෙන් වන අතපසුවීමක් හිතාමතා කරන ලද අපරාධයක් ලෙස නොසළකනු ඇතැයි අපේක්ෂා කරමි.

ඉදිරියටත් මේ අඩවිය උපහාසයට විවෘත ය!

ඒ කවරෙකුවත් අපහාසයට ලක් කිරීමේ අරමුණින් නොවේ. තිබෙන තත්වයේ සාධනීය වෙනසක් අපේක්ෂාවෙනි.

« Previous entries