Archive for March, 2009

Nuwan’s Lane හරහා ස්වර්ගයට

දේශය රන් විමනක් වේ
ආගම මිණි පහණක් වේ
මේ දෙක විකුණුවොත් පුතේ
ජිවත් වන්නට දියතේ
වෙන මගුලක්  ඕන නැතේ

රාමවික‍්‍රමගේ සමන් ලා
නුවන් ලා දිසාලා සමග එක්වෙලා
සීරුවෙන් මාරුවෙන් විකුණුවා
ඒ දෙකම

මේ දෙක විකූණන්න
වෙන අයට දෙන්න බෑ
මේ අපේ උරුමය

එහෙම කොහොම ද
අපිටත් පුලූවන්
සිරස ද ඩයලොග් ද
පෝලිමට එක්වුණා

දැන් හැමෝම එක්වෙලා
විකූණනව අගේ ට
රන් විමනයි මිණි පහණයි
දිගට හා හරහට

ඇවිත් ගන්න
හරිම අගෙයි
දැනෙන්නෙ නෑ
සාගින්දර
පෙනෙන්නෙ නෑ
දුක් ගින්දර
ගෙනයනවා ස්වර්ගයටම
එකෙක් පරයමින් කෑගසයි අනෙකා

ඇත්තටම සුපර් ය
ඒ බඩු දෙකම

විකූණන්න ඇති අයිතිය තමන්ට පමණක් ඉල්ලා
හෙට අනිද්දා නඩු යනවා
මේ ගොල්ලා ඔක්කොම
ඒ තරමට සරුයි
මේ දෙකට ඉල්ලූම
සෙල්ලම් ද කොල්ලො
රන් හා මැණික් කිව්වහම

වීරවංශගෙන් – කොළඹට කිරි!(ගමට කැකිරි -සෝමවංශගෙන්?)

විමල් වීරවංශ ලියුමක් එවා තිබුනේ ය. ඒ ළග එන පළාත් සභා මැතිවරණය වෙනුවෙනි.

යුද්ධය ගෙනියන එජානිස ට චන්දය දෙන ගමන් ඒ තුළ වෙසෙන දුෂිත නොවූ තම සමාගමට චන්දය දෙමින් දුෂණය පරාජය කිරීමටත් මැදිහත් වන ලෙස ය.

මන්ත‍්‍රීවරු 11 ක්ම සිටියදී මහා ආණ්ඩුවේ තමන්ට නවත්වන්නට බැරිවූ දුෂණය බස්නාහිර පළාත් සභාවල තම මන්ත‍්‍රීවරු තිදෙනා මගින් නැවැත්වීමේ විශ්ව කර්ම ව්‍යාපෘතියට එතුමා අත ගසා ඇත.

ආණ්ඩුව කරන සියලූ නාස්තීන් හා දුෂණය යුද්ධය වෙනුවෙන් ඉවසන ලෙස ඉල්ලන ගමන් බස්නාහිර පළාත් සභාවේ ජනතාවට පමණක් දුෂණයෙන් තොර පාලනයක් ලබා දෙන බවට සපථ කරන විමල් දකින විට අපට මතක් වන්නේ කොළඹට කිරි අපට කැකිරි යන ඔහුගේම සටන්පාඨයයි.

යුද්ධයේ සියලූ බර රටේ සෙසු ජනතාවට ය. බස්නාහිර පළාත් සභාවට පමණක් දුෂණයෙන් තොර පාලනයකි. මේ හේතුවෙන් එතුමා විශ්වකර්මයෙකු වීමෙන් නොනැවතී කොළඹ වෙනුවෙන් පෙනී හිටින්නෙකු බවට ද පත්ව සිටී.

දැන් ඉතින් කියන්නට ඇත්තේ මෙපමණ ය. ගමේ ජනතාවට ටිල්වින්ගේ හා සෝමවංශගේ පිහිට ය.

හෙට අනිද්දා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට දුෂණයෙන් තොර පාලනයක් බස්නාහිර පළාත් සභාවට ලැබෙනු ඇත. ඉන්පසු වෙනදා බස්නාහිරින් බැස ගිය හිරු මෙදා බස්නාහිරින් නැග එනු ඇත.

ගංගනාත් රට හැර යයි

මහාචාර්ය තුමා රට යෑමට මොහොතකට පෙර අප වෙනුවෙන් විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පැවැත්වූයේ ය.

“මේ කැමැත්තකින් යනවා නෙවෙයි ඇත්තටම තදින් කළකිරීම නිසා යන ගමනක්.”

“අහන්නත් දෙයක් ද? සුදුවෑන් එකකිනුත් උස්සගෙන ගියා ට පස්සෙ.” අපිත් එතුමා සමග කළකිරීම බෙදා ගැනීමට වෑයම් කළෙමු.

“සෑහෙන්න බයක් එහෙමත් දැනෙන්න ඇති නෙ”

“ඕනම කෙනෙක් බය වෙනව. ඒ වෙච්ච දේට. හැබැයි මගේ හිතේ අමාරුව වැඩියෙන්ම තියෙන්නෙ ආණ්ඩුව ගැන”

“මොකද්ද ඔබ තුමා කිව්වෙ”

“නෑ, මං කියන්නෙ නායකයෙක් ගැන වත් එකග වෙන්න බැරි දුර්වල පක්ෂයක් තමන්ගෙ විරුද්ධ වාදීන් සුදුවෑන් දාල උස්සද්දි, ඒ ගැන සාක්ෂි දෙන්නත් මිනිස්සු ඉන්දෙද්දි, පොලීසිය පහුවෙනිද වෙනකොට ම මේක යූඇන්පියේ වැඩක් කියල එලිපිට කියන්න තරමට හෝඩුවාවන් හොයා ගනිද්දි, ආණ්ඩුව මුකුත් කර ගන්න බැරි අසරණ තත්වයකට වැටිල නෙ ඉන්නෙ”

මහාචාර්ය තුමාට කණගාටු ආණ්ඩුව ගැනය. අපි තුෂ්නිම්භූතව අසා සිටියෙමු.

“දැන් බලන්න ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න වැඩ කීයක් නම් මේ දුර්වල විරුදධ පක්ෂය විසින් දියත් කරා ද කෝ එකක් වත් අල්ල ගත්තෙ නැහැනෙ”

“ඉතින් ඔබතුමා හිතන්නෙ ඔබතුමා උස්සපු කතන්දරේවත් පොලිසිය හොයාගන්න එකක් නැත් ද?”

“පිස්සු ද? පොලිසියෙ ලොක්කගෙ ඉඳල පහලට ඉන්නෙ යූ ඇන් පී කාරයො. ඉතින් යූ ඇන් පී ය කරන මේ ජරා වැඩ උන් අල්ලයි කියල ඇත්තටම ඔයාට හිතෙනව ද?”

බලා ගෙන ගියාම වෙන්න බැරි කමක් නැත.  ඕකත් අධිරාජ්‍ය වාදී එන්ජී ඕ කොටි අක්ෂයේ කුමන්ත‍්‍රණයක් විය හැකි ය. එහෙත් මෙච්චර බලගතු ආණ්ඩුවක් තමන්ගේ පොලීසිය හිලෑ කරගන්නට බැරිව ඉන්නවා යයි හිතන්නට ටිකක් අමාරුය.

“පොලීසියේ යූ ඇන් පී කාරයො ඉන්නවට වඩා කිසි දෙයක් කර ගන්න බැරිවුන් ඉන්නවයි කියල කිව්වොත්”

“කොච්චර විලි ලජ්ජා නැතිවැඩක් ද? ඒ රටම නෝන්ජල් වෙන කතාවක් නෙ. මේ වෙලාවෙ එහෙම කියන්නෙ කොටින්ට කඬේ යන අය. වීරෝදාර රණ විරුවන්ට එහෙම අපහාස කරන්න එපා” ගංගනාත් ට මළ පැනලා වගේ නිසා කෝකටත් ටිකක් පිටිපස්සට ගියෙමු.

ඇත්තටම පොලිසියට බැරි යයි කියනවාට වඩා මේක අධිරාජ්‍ය වාදී කුමන්ත‍්‍රණයක ප‍්‍රථිපලයයි කීම ලස්සණ ය. ඇත්තටම මාධ්‍ය වේදීන්ගෙන් මේ ආධුනික බ්ලොග්කරුවන් වූ අපට කොච්චර ඉගෙන ගන්නට තියෙනවා දැයි සිතමින් අපි එතුමාගෙන් සමුගත්තෙමු.

අවසානය – තොපේ සහ අපේ

ඇසේ ජය ඝෝෂා
වැටෙන් – මේ පැත්තේ
වැකේ කණ, නගන දුක් අඳේනා
වැටෙන් – ඒ පැත්තෙ

වැට මායිමේ
දෙපැත්තේ
පොදි ගැසේ
මළමිනී සමග ලේ

පාරම්බාන හඩකි…
නවත්වන්නේ නැත අප
අවසන් වන තුරු
අවසානය

කාගෙද

තොපේ සහ අපේ!

ඔය බ්ලොග් එක උඹ අකුල ගන්නව ද නැත් ද?

“මේක හරිම අසාධාරණයි. උන්ට රිංගන්න හොඳයි. අපේ උන් රිංගුවහම නරකයි.” ලෝක බැංකුව ගැන බ්ලොග් සටහන කියවූ නිමල් මා වෙත කඩා පැන්නේ ය.

“නෑ නෑ එහෙම නෙවෙයි. රිංගන එක ගැන අනිත් උන්ට බැනල, දැන් රිංගන එක නොවැ ප‍්‍රශ්නෙ?” මම කීවෙමි.

“යකෝ හරි වැඩක් නෙ. අපි ඉල්ලූවෙ මේ රට වැටිල තියෙන ආර්ථික ආගාධයෙන් ගොඩ ගන්න නේ.” නිමල් නැවතත් කඩා පැනපි. “ඔව්! උඹලට ඕන රට ආගාධයට යනව දකින්නනෙ” නිමලෙ තවත් එකතු කරනව. “ඔව්, ඔව්, කරල බලපල්ල! කොටින්ට කඬේ යන වේ.. පු.. ලා” නිමලෙට දැන් හොඳටම නැගලා ය.

“ලෝක බැංකුවට ප්ල්ග් ගැහැව්වහම ආර්ථිකය බිංදුවට යනවයි කිව්ව උඹල එහෙනම් දැන් ප්ල්ග් එක නැතුව වෙන එකක් ගහල ද නග්ගන්න හදන්නෙ?” මටත් නිකම් ඉන්නට බැරි හැටි. වැටහුනේ කිව්වාට පසු ය.

“ඔය ප්ල්ග් කතාව කිව්වෙ විමල් වීරවංශ. අපි නෙවෙයි.”

“ඒවා කිව්වෙ උඹලගේ වේදිකාවෙ ඉඳන් නෙවෙයි ද එහෙම කිව්ව විමල් දැන් ඉන්නෙ උඹලත් එක්ක නෙවෙයි ද?”

“ඒ කිවිව කාලේ ඌ හිටියේ ජේවීපී එකේ.”

“ජේවීපී එක එතකොට කොහෙද හිටියෙ”

“යකෝ ඔය අතීතෙන් වැඩක් දැන් නෑ. දැන් මේ වෙලාවෙ රට ගොඩ ගන්න කල්පනා කරනව මිසක්. අපි කරල තියෙන හරිය මදි, තොපිලට!”

“එතකොට වෙන අයව විවේචනය කරන කොට අතීතය හොඳයි. උඹල විවේචනය කරන කොට තමයි ඒක අදාළ නැත්තෙ.”

“මං මේ අවසාන වතාවට කියන්නෙ, ඔය බ්ලොග් එක උඹ අකුල ගන්නව ද නැත් ද?”

තිරශ්චීන එල්ටීටිය සහ අපි – Beyond Frame Analysis of the Terrorist Outfits

එල්ටීටී සංවිධානය ලොව ඇති බිහිසුණුම ත‍්‍රස්ත සංවිධානයකි.

විසාශය හා බියවැද්දීම තමන් සතු ප‍්‍රබල අවියක් ලෙස එය විසින් හඳුනාගෙන තිබිණි.

එය ජිවිතයකට වටිනාකමක් දුන්නේ නැත. දහස් ගණන් අහිංසක ජනතාව එය තම අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා බිලි දුන්නේ ය. මරා දැම්මේ ය. අංග විකල කළේ ය. ඊට ලක්වුයේ බිළින්දන් ද වයසක ඇත්තන් ද රෝගීන් ද යන්න ඔවුන්ට ගැටලූවක් වූයේ නැත.

ලෙය ද කඳුළු ද ඔවුන් තුළ කම්පනයක් ඇති කළේ නැත.

ප‍්‍රතිවාදී මත ඉවසීමේ ආචාර ධර්මයක් ඔවුන් සතුව නොතිබිණි. තමන් කුඩාවට හෝ විවේචනය කළ සියල්ලන්ට මරණය අත් කරලීමට හෝ බිය වැද්දීමට ඔවුහු කි‍්‍රයා කළෝ ය.

ප‍්‍රබල විනාශයන් ඔවුන්ට ආශ්වාදය ගෙනාවේ ය. වෙඩි හඩ බෝම්බ හඩ කන්වලට මිහිරක් ගෙනාවේ ය. ඒවායින් නිකුත් වූ ආලෝකය උනට මනරම් දසුනක් වූයේ ය.

විනාශයේ අවි උහු බොහෝ මහන්සියෙන් හා ආශාවෙන් එකතු කළෝ ය. අත ගෑවෝ ය.

සතුරා අඩපන කළ හැකි නම් ඒ වෙනුවෙන් කවරෙකුට හෝ ගෙවන්නට වන වන්දිය කුමක් ද යන්න ඔවුන්ට කිසි කලෙක ප‍්‍රශ්නයක් වූයේ නැත.

තම අරමුණ කරා යෑමේ දී තමන් කරන කි‍්‍රයාවලට එරෙහිව ගොඩ නැගුනු ජාත්‍යන්තර මතය ඔවුන් තුට්ටුවකටවත් මායිම් කළේ නැත.

තමන්ගේ ක‍්‍රියාවන් නිසා ජනතාව සාගින්දරෙන් පෙලූනද අනේක ආර්ථික දුෂ්කරතාවයන්ට යටත් වුව ද ඔවුන්එ එය ගැටලූවක් වූයේ නැත.

එවන් තත්වයක් යටතේ ද නායකයින්ගේ ආරක්ෂාව හා සුඛ විහරණය ගැන වග බලා ගැනීමට ද එල්ටීටිය කටයුතු කළේ ය.

අපි වෙනස් ය.

ඇත්තටම අපි වෙනස් ද?

පරිසරයේ උන්නතිය වෙනුවෙන් ගම අත් හැරීම

නගරය ගැන බොහෝ දෙනා දන්නේ පරිසරයට හානිකර නිර්මාණයක් ලෙස ය. සුන්දර ගමත් කිළිටි වුනු නගරයත් පිළිබඳ කතා බොහෝ ය.

එහෙත් බොහෝ දෙනා නොදන්නා කාරණය නම් ගමට වඩා නගර බිහිවීම පරිසරයට හිතකාමී බව ය.

නගරය යනු කුඩා බිම් ප‍්‍රමාණයක විශාල ජනතාවක් වාසය කරන ස්ථානයකි. එපමණක් නොවේ ඔවුහු ඒ කුඩා බිම් කඩ තුළ සිය රැකියා ද කරති. වෙනත් වුවමනා එපාකම් ද ඉටුකරගනිති.

ගමක ජනයා පැතිර ඇති නිසා ඔවුන්ට විශාල ඉඩක් අවශ්‍ය ය. ඒ නිසාම ඔවුන්ගේ කටයුතු කාර්යක්ෂම නැත. ප‍්‍රවාහනය සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදුවන අතර ඒ වෙනුවෙන් ඉන්ධන ද වැයවේ. ගමකට විදුලි බලය සැපයීම පවා විශාල ඒක පුද්ගල පිරිවැයක් දරන්නට වන කාර්යයකි.

ගම බොහෝ දේ සඳහා යැපෙන්නේ ස්වභාව ධර්මයෙනි. ඒ නිසාම එය ස්වභාව ධර්මය මත පටවන බර විශාල ය. අලි මිනිස් හටන් ඇත්තේ ගමේ ය. කැලය ආක‍්‍රමණය කරන්නේ ගැමියන් ය. හේන් වැනි අතිශය පරිසර විරෝධී කටයුතු සිදුවන්නේ ඔවුන් අතිනි.

ගම්වල ඉඩම් මිල අධික නොවන නිසා විශාල ගෙවල් නිම කළ හැකි වෙතත් නගරයේ ඉඩම් මිල අධික නිසා බහුතර ජනතාවකට කුඩා ගෙවල් වලින් සෑහීමකට පත්වන්නට සිදුවේ. විශාල ගෙයකට යන විදුලිය හා සම්පත් කොහොමටත් අධික මිලකින් යුක්ත ය. කුඩා ගෙයක් ගොඩ නැගීමේ පමණක් නොව නඩත්තුවේ ද පිරිවැය අවම ය.

මා මේ කියන්නට යන්නේ අප පරිසර හිතකාමී නම් ගම් වෙනුවට නගර ගොඩ නැගීම ගැන අවධානය යොමුකළ යුතු බවයි. එයින් වන ජීවීන්ට හා වනවාසී ශාඛයන්ට උන්ගේ නිජ බිම් නිදහස් කර දිය හැකි ය.

අලි මිනිස් ගැටුමට පවා තුඩු දී ඇත්තේ උන්ගේ ජීවන විජිතයන් අප විසින් ආක‍්‍රමණය කර ඇති නිසා ය. අකුළාගෙන නගරයට පැමිණිම උන්ට නැවතත් ඒ බිම් උරුම කර දීමකි.

එහෙත් අපේ පමණක් නොව වන ජීවීන්ගේද අවාසනාවට පරිසරය බාර දී ඇත්තේ ආපසු පැරණි රජදරුවන්ගේ යුගයට යාම වෙනුවෙන් පෙනී සිටින ගම උත්කර්ෂත්වයට නංවන කණ්ඩායමකට වීම දෛවයේ සරදමකි.

දැනට “කිළිටි” වූ නගරයේ වෙසෙන ජනතාව “නොකැළැල්” ගමට යැව්වොත් සිදුවන්නේ තියෙන කැළෑ ටිකත් වන ජීවින්ට අහිමිව යාමය. පරිසරයට හෙනහුරා ලැබීමය.

ඇත්තටම ලෝක බැංකුව කියන්නේ මොකද්ද? Beyondframe අහුලාගත් කෝපි කඬේ සංවාදය

ඇත්තටම ලෝක බැංකුව කියන්නෙ මොන වගේ එකක් ද ලංකා බැංකුව වගේ එකක් ද එහෙම ඇහැව්වෙ සුමනෙ.

උඹ දන්න ඉටිගෙඩිය ලෝක බැංකුව කියන්නෙ ලයිට් මෝලක්. මතක ද විමල් වීරවංශ කියනව ප්ල්ග් එකක් ගැන, රනිල් ගහල තිබුනය කියල.  රනිල් ඔය රට ගිහිල්ල එන ගමනක ගෙනාපු ලයිට් මෝලක්! ගෙනාපු විදිහත් ඇස් දෙකෙන් දැක්කා සේ මල්ලිකා කියාපි.

ප්ල්ග් නැත්තෙ මොකෑ බං ලෝක බැංකුවේ. මේ අපේ ගෙදරත් තියෙන එක. එහෙම නොවෙයි, ගෑණියෙ, මතකද උඹට ඒ දවස්වල රනිල් ලොක්කා  ඕක ඇතුළෙ රිංගනව කියල ලොකු කතාවක් ගියේ. ඒ දායකත්වය කසිප්පු සයිමා ගෙන් ය.

ඕන් දැන් අපේ කට්ටියත් යනවලූ. ආණ්ඩුවේ ඇමැත්තෙකුත් ලගදි රිංගුවාය කියන්නේ. මට නම් හිතන්නේ රට කසියා තිප්පොළක් කියලයි. ඒ කසිප්පු සයිමාගෙ ගෑණිගේ අදහස ය.

මට නම් හිතෙන්නේ ලොකු හාමුදුරු කෙනෙක් හරි පාදිලිකෙනෙක් හරි කියල. මතක නැත්ද උඹට රනිල් ලෝක බැංකුව ඉදිරියේ දණ ගැහැව්වයි කියනව. වෙල අද්දර ගෙදර පොඩි රළහාමි කියාපි.

ටිල්වින් නම් කියන්නේ දැන් ඉන්න අයත් දණ ගාගන ම යයි කියල වන්දනාවෙ! සුමනෙ ආයි කට ඇරිය.

මම නම් කියන්නෙම රට කසිප්පු තිත් පොළක් කියල. අපේ එකාත් ඕවාට රිංගුවට පස්සෙ ගෙදර එන්නෙ දණ ගාගන තමයි   – ඒ සයිමගේ ගෑණි ආයිත්.

වන්දනාවෙ යන තැනක් වෙන්න බැරි ද? ලයිට් මෝලකුත් තියෙන, අහල පහල කසියාත් තියෙන, ඇතුලෙ පූජකයොත් ඉන්න, වඳින්න ඕන බැතිමතෙක්ව පක්ෂ පාට සළකන්නේ නැතිව පිළිගන්න, පඩුරු පාක්කුඩම් ඔප්පු කරන්න පුලූවන්, දුක කියන්න පුලූවන්, ඒ නිසාම කැත නැතුව දණ ගහන්න පුලූවන්, තැනක් වෙන්න බැරි ද? මල්ලිකාත් අත අරින්නේ නැත.

මේකයි බාං වැඬේ, දේවාලෙකට නානා ප‍්‍රකාර අය එනවා. සමහරු එන්නෙ වස්කවි කියන්න. වස්කවි කියපු ඒකා ට සෙත් කවි කියන්න ඊට පස්සෙ තවත් අය එනව. දේවාලේ කපුවා වැඩ දෙකම බාර ගන්නව – සුමනෙ කියාපි.

ප‍්‍රශ්නෙ තියෙන්නේ රනිල් වගේ දේශද්‍රෝහියෙක්  ඕකට රිංගන එක නොවැ. අපේ ඇමැත්තන්ල නම් කමක් නැහැ. පැත්ත ගියත් රනිල් වගේ රට පාවලා දේ යැ? රනිලය යන්නේ රටට වස්කවි කියන්න. අපේ අයියල යන්නේ සෙත් කවි කියන්න. වෙනස ඒකනෙ. පොඩි රළහාමිත් ආයි කට ඇරිය.

අපේ අය ගියාට කමක් නැහැ කියලද ඔය කියන්නෙ සුමනෙ අහපි.

අනේ මන්ද බං ඔය ඉටිගෙඩිය මොකද්ද කියල. හරියට දන්නෙ නැතිව උඹයි මායි කරන මේ හබේ තේරුම මොකද්ද? මට නම් හිතෙන්නේ  ඕක රනිල් ගොයියා රිංගුවොත් රටම අගාධයට යන අපේ ගොයියා රිංගුවොත් රටට කිරි පැණියෙන් උතුරන මොකක් හරි මගෝඩි තැනක්. එහෙම මතක තියා ගත්තහම ඇති යකෝ! සයිම සුමනෙ දිහා බලල තව කුණුහරුපෙකුත් කියල විවාදය තීන්දු කරල අවසන් කළා.

නැවතුනොත් තෝ නසී… චුත වෙයං ඉක්මණට…

මුණින් අත වැටී
වැතිර හිටියා මිනිහෙක්

හොඳටම වෙරිවෙලා
පුපුරපු රතිඤ්ඤ
වටේ තිබුනා විසිරිලා
පාට කොඩියක් ද තිබුනා
පැත්තකින් වැටිලා
වටේටම වමනේ
හිස් බෝතලෙත්
තිබුනා විසිවෙලා පැත්තක

පාරෙන් එහා පැත්තෙත්
වැටී උන්නා ඒත් මිනිහෙක්

බඩ පොත්ත ඇලිලා
හොඳටෝම කෙට්ටුවුනු
ලේ ගලා තිබුනා
සිරුරෙ රස්නය ගිහින්
මැස්සො හිටියා වටවෙලා
කඳුලූ තිබුනා බේරි ගල්වෙලා
ෂෙල් කෑලි උණ්ඩ පතුරන්
හැම අතම විසිරිලා

ඒ පාර මැද්දෙන්
මහ සෙනග ගැලූවා
නොදුටු නියාවම අගවා
උන් ගියා නොනැවතී

මුමුණනවා ඇහුනා…

නැවතුනොත් තෝ නසී
චුත වෙයං ඉක්මණට

පුද්ගලික විශ්වවිද්‍යාල – Private Universities – ගැන කතිකාව

රාමචන්ද්‍රගේ බ්ලොග් අඩවියෙ ගිය ඉහත කතිකාවට මාත් පොඞ්ඩක් ඔලූව දාලා බැලූව. මේ කතිකාවත් අන් හැම කතිකාවක්ම වගේ හැගීම් අවුස්සන එකක් වෙලා. මට හිතුන මේකට මගේ පුංචි අදහස් කීපයකුත් එකතු කරන්න.

බොහෝ බටහිර රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් බොහෝ දෙනෙක් රැකියාවලත් යෙදෙනව. බොහෝ රටවල ආණ්ඩු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අයට ණය මුදල් පවා ලබා දෙනවා. සමහරු කාලයක් රැකියා කරල මුදල් උපයාගෙන නැවත විශ්ව විද්‍යාලයට යනව. (මෙහේ වගේ වයස ඊට බලපාන්නෙ නැහැ)

ඒ නිසා ඒ රටවල සල්ලි නැති නිසා විශ්ව විද්‍යාලයන්වලට නොයන අය අඩුයි. ඒ විශ්ව විද්‍යාල පද්ධතිය හදල තියෙන්නේ  ඕනම කෙනෙකුට දක්ෂ නම් ඒ පද්ධතියට කිසියම් දවසක ඇතුළු වෙන්න පුලූවන් විදිහට.

එක උපාධියක් නෙවෙයි. අවශ්‍ය නම් උපාධි කීපයක් කරන්නටත් ඒ රටවල ඒ නිසා අවසර තියෙනව.

පුද්ගලික විශ්ව විද්‍යාලත් තියෙන නිසා විශ්ව විද්‍යාල අතර විශාල තරගයක් තියෙනව. ඒ නිසා විශ්වවිද්‍යාලවලින් අලූත් දේ බිහිවෙනව. අලූත් පාඨමාලා ඇති වෙනව. අලූත් දර්ශනයන් ඉදිරිපත් වෙනව.

බොහෝ විශ්ව විද්‍යාල දක්ෂ දුප්පත් සිසුන් තමන්ගේ විශ්ව විද්‍යාලවලට ඇදගන්නට ගාස්තුවලින් නිදහස් කිරීම්වලට අමතරව සමහර විට ජීවන දීමනා පවා ගෙවනව.

බොහෝ ව්‍යාපාරික ආයතන දුප්පත් දක්ෂ සිසුන් වෙනුවෙන් අරමුදල් සංවිධානය කර තිබෙනව. ආයතනික සමාජ මෙහෙවරක් හැටියට. ඒවා සමහර අවවරප‍්‍රසාදිත සමාජ කණ්ඩායම් ඉලක්ක කර ගෙන සංවිධානය කරල තියෙනව (කාන්තාවන්, කලූ ජාතිකයින්, අබාධිතයින් ආදී වශයෙන්)

විවිධ සමාජ ව්‍යාපාරවලින් අනුග‍්‍රහ දක්වන කණ්ඩායම්ද ඒ අතර වෙනව.

සමහර රටවල විශ්ව විද්‍යාලවල තමන්ම නීති දාගෙන ඉන්නව මුදල් අයකරන හැම සිසුන් පස් දෙනෙකුට හෝ දහ දෙනෙකුට මුදල් අයනොකරන එක ශිෂ්‍යයෙක් ඇතුළු කරගන්නා ආකාරය ට. ඒ විදිහට දක්ෂ අය අධ්‍යාපනයෙන් අයින් වීමෙන් සමාජයට වන හානිය අවම  වෙලා තියෙනව.

බොහෝ විශ්ව විද්‍යාල තමන්ගෙ රටවල දුප්පත් සිසුන් පමණක් නෙවෙයි, වෙනත් අඩු ආදායම් ලාභී රටවල දුප්පත් සිසුන්ටද අවස්ථාවන් ලබා දීල තියෙනව.

විශ්ව විද්‍යාලයක නැගීම තියෙන්නේ සල්ලි තියෙන මුග්ධයින් අතලොස්සකට අධ්‍යාපන සහතික පිරිනැමීම ඇතුළෙ නෙමෙයි. විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්නට මේ තරගකාරී ලෝකයේ මුදල්වලට විතරක් බැහැ. ඒ සඳහා දක්ෂ සිසුන් අවශ්‍යයයි. හැබැයි මුදල් නැතිවත් බැහැ. මේ අන්ත දෙක ඉදිරිගාමී විශ්ව විද්‍යාල දක්ෂ විදිහට තුලනය කරනවා. නැත්නම් ඒ ගොල්ලන්ට දිගු කාලීන පැවැත්මක් නැති නිසා.

සමහර විශ්ව විද්‍යාලවල තෝරා ගැනීම සඳහා ප‍්‍රවේශ විභාගයන්වල ලබා ගන්නා ලකුණු යොදා ගන්නේ පෙරහනයක් ලෙස පමණකි ඉන් අදහස් කරන්නේ යම් අවම ලකුණු මට්ටමක් පමණක් ලබා ගැනීම සෑහෙන බවයි එහෙත් ඔවුන්ගේ වැඩි අවධානය යොමුවන්නේ තමන් තෝරාගන්නා විශය පථය පිළිබඳ සිසුන් ප‍්‍රදර්ශනය කර ඇති උනන්දුව ය ඒ සඳහා ඔවුන් විසින් දැනටමත් කර ඇති ක‍්‍රියාකාරකම් ය

සමාජ සාධාරණය ඉටුවන අතරේ වඩා ඉදිරිගාමී සමාජයක් හදන්නේ කොහොමද කියන කාරණයයි අප විසින් සළකා බැලිය යුතුව ඇත්තේ.

එහෙත් මේ විවාදයන් බොහෝමයක් ඒක පාක්ෂිකයි. එක්කො ඉදිරිගමන අමතක කරල සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී ඉන්න අයත් එහෙම නැත්නම් සමාජ සාධාරණත්වය අමතක කරල ඉදිරිගමන වෙනුවෙන් පෙනී සිටින අයත් ඉන්නව. හැබැයි හොඳට බැලූවොත් පේනව, මේ දෙකෙන් එකක් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියන බොහොම අය ඇත්තටම පෙනී ඉන්නෙ තමන්ගේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් විතරයි කියලා.

ඒක අපේ කරුමෙ වෙන්න ඇති, මෝඩකම නොවේ නම්!

« Previous entries