Archive for February, 2009

This has become the most famous shoe in the whole world

මෙය ලෝකයේ ඇති වටිනාම සපත්තුව දැයි මම හරියට කියන්නට නොදනිමි. නමුත් එය වඩාත් ම ජනප‍්‍රිය සපත්තුව බවට නම් විවාදයක් නැත.

මේ සපත්තුව, යුද්ධය තම ජනාධිපති ධුරය දෙවැනි වතාවටත් ලබා ගැනීමට ඉතාම තිරශ්චීන ලෙස භාවිතා කළ, එයින් රටක් හා ලෝකයක් අර්බුදයකට හෙලූ, රාශ්ටපතියෙකුට සමුදීමට යොදා ගත් සංකේතාත්මක පයින්ඩයක් වූයේ ය.

තමන්ගේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක නොකිරීමේ වරදට චීන අගමැතිවරයාට ද මෙයින් සංග‍්‍රහ ලැබිණි.

දැන් ලෝකයේ බොහෝ පාලකයින් බියගැන්මට සමත් ව ඇති මේ සපත්තුව මෙසේ විශාල මූර්තියක් කොට ඊට මල් තබා තිබෙන්නේ ජනතාව ය.

iraq_shoe2

This became the most famous shoe in the world. Because it gave a fitting farewell for a man who exploited the war to run two presidential terms bringing both his country and the world lot of turmoil.

Same treatment was meeted out to the Chinese Premier as well.

Now the rulers all over the world is scared of one thing; shoes.

ප ලි

තුන්වෙනි ලෝකයේ නායකයින්ට තමන්ගේ රටේදී මින් සංග‍්‍රහ ලැබීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය.  හැබැයි පිටරටක දී නම් එය විය හැකි ඉඩ වැඩි ය.

උන්ට මින්පසු පිටරටවත් නිදහසේ සංචාරය කිරීමට මේ නිසා නොහැකි වීමට ඉඩ තිබේ.

අනාථයි!

ලෝක සෞඛ්‍ය සංවිධානයක සභාපති කෙනෙක් ලග අපි කවුද?

පෙතිඞීන් හා මොෆීන් යන වේදනා නාශක නැතැයි කියමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (කුමන්ත‍්‍රණකාරයො, දේශද්‍රෝහියො!) ඇමතිට දොස්මුරයක් ඇරියේ ය. අන්තිමේ පාර්ලිමේන්තුවේ සිටින කුමන්ත‍්‍රණකරුවෝ එහි කොනක් අල්ලා ගෙන සෞඛ්‍ය ඇමතිටත් ආණ්ඩුවටත් ඇති තරම් දෙහි කැපුවෝය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ධුරන්දර ඇමති කෙනෙක් අපට සිටියදී මෙසේ වන්නේ ඇයිදැයි විවාදයට සවන්දෙමින් කවුන්සලයේ රැස්ව සිටි අපට සිතුනා පමණ ය. ඇමති තුමා උත්තර දෙන්නට නැගිට්ටේ ය.

අපි තුෂ්ණිම්භූතව අසා සිටියෙමු. එතුමා සිය විරුද්ධ වාදීන්ට ඇට්ටි හැලෙන්න දුන්නේ ය.

බෙහෙත් වර්ග අටදහස් නමසිය ගානක් තියෙන තැනකින් එකක් අරන් කෑගහනවා! ඇයි ඉතිරි අටදහස් අටසිය අනූනමය ගැන කතා නොකරන්නේ?

ඒ කතාවත් ඇත්ත නේන්නම්! මෙතුමා ගේ බුද්ධි මහිමය අපට නැති කොට.

අපට හිතුනේ යුද්ධයකුත් යන වෙලාවක වේදනා නාශක හිගයක් ඇතිවීම මහා අකටයුත්තක් ලෙස ය.

බලා ගෙන ගියාම අටදහස් අටසිය  අනූනමයක් තියෙද්දී  ඕක ඉවසන්නට බැරි කාට ද?

අපි මන්ද බුද්ධික නිසා මේ ගණන් හිලව් අපට එතරම් තේරුමක් නැතිවන්නට පුලූවන. ලෝක සෞඛ්‍ය සංවිධානයක සභාපති කෙනෙක් ලග අපි කවුද? අපිට එතුමන් හා එකට හිටින්නට වත් පුලූවන්ද?

ලෝක සංවිධානය එතුමන්ට සභාපති පදවිය පුදන්නට ඇත්තේ ගණිතය පිළිබඳ එතුමාගේ දක්ෂතාවය ගැන තේරුම් අරන් වන්නට පුලූවන. එතුමන් ගණන් දාන්නට ද දක්ෂය.

අනේ හැබෑට කාටද ආඩම්බර?

අනේ ජනේ ඉඳල ඉඳල අල්ල ගත්තේ ඇමක් නේද, කෑමක් කියල?

ගෑණු සිතන්නේ පිරිමි හිතන විදිහට නොවේ. ඇත්තටම ගෑණු පිරිමින්ට වඩා මහ පොළොවේ පය ගසා ගෙන ජීවත්වන කොටසකි.

පිරිමින්ගේ මොළයට අසු නොවන ඉවක් උන්ට තිබේ. ඒ ඉව හැම විටම නිවැරදි නැතත් ජීවත්වීමට එය පිරිමි සිතිවිලිවලට වඩා වැඩි උදව්වක් ගෑණුන්ට සපයයි.

ඵිරිමි ආගම ගැන සංවාද පවත්වද්දී මුණිවත රකින ගෑණු පන්සලේ වතාවත් කරන කටයුතු වලදී පිරිමින්ට වඩා ඉදිරියෙන් සිටිති. ඵිරිමි ඉපැරණි සංස්කෘතිය බේරාගැනීමට ඉදිරිපත් වෙද්දී අනිත් ගෑණුන් ගත් මග යමින් උන්ගේ ගෑණු කලිසම් අඳිති.

තව බොහෝ උදාහරණ මෙය සනාථ කරලීමට දිය හැකි ය. එහෙත් ඔබටත් කල්පනා කරන්නට දෙයක් ඉතිරි කළ යුතු ය.

මා මේ සියල්ල කීවේ ජනේ (ජනේ කවුදැයි දිගටම කියවාගෙන ගියොත්  බලා ගත හැකිය) ම වෙත එල්ල කළ අපහාසයකට උත්තර බඳිනු පිණිස ය. මේ බ්ලොග් සටහන් ලිවීමෙන් මට නොසෑහෙන ලෙස ලැබෙන බව ඇත්ත බවත් ඒ මගේ ඇඹේනියගෙන් හා ප‍්‍රතිචාර එවන අයගෙන් ලබන බැණුම් ස්වරූපයෙන් බවත් මම ජනේට කීවෙමි.

ජනේ සිටින්නේ මට බැරි වෙනකම් ය. මගෙන් ගිලිහෙන දුර්වල තර්ක කෑල්ලක් අල්ලා ගැනීමට ය. ජනේ සිතුවේ හොඳ කෑමක් ලැබුන බවකි.

ගෑණිටවත් තේරුම් කර දීමට හැකියාව නැති මගේ දුර්වල තර්ක අන් අයට පටවන්නේ හදන්නේ ඇයි දැයි ජනේ මට කොචොක් කළේ ය.

කෑමක් යයි සිතා ඇත්තටම ජනේ පැන අල්ලා ගෙන තිබුනේ හොඳ ඇමකි.

මගේ ඇඹේනිය මට බැන්නේ මා වැරදි අදහස් දරණ නිසා නොවේ. ඇය ද ඒවා පිළිගනියි.

එහෙත් යුද උන්මාදයෙන් උමතුව සිටින මිනිසුනට මේ වෙලාවේ මේවා කියා වැඩක් නැතැයි ඇයට ඉවකින් මෙන් දැනේ. මට ඈ බනින්නේ ඒ නිසා මේ කරන ව්‍යායාමය ඵල රහිත බව කියමිනි. ඇගේ ඒ ඉව මට නැත. මා හිතා හිටින්නේ මේ උන්මාද කාරයින් කරුණු ඉදිරිපත් කොට මට වෙනස් කළ හැකි ය කියා ය. ඒ ගෑණුන්ගේ මොළයේත් පිරිමි මොළයේත් ඇති වෙනස ය.

ඇගේ ඉව මා බාර ගත යුතු ය. එහෙත් ඈයට එකවර පිළිගන්නට අමාරු කාරණය නම් එයින් වෙනසක් නොවෙතත් මට එයින් සහනයක් ලැබෙන බව ය. ඒ මා පිරිමියෙකු නිසා ය. ඇය මට බැණ බැණත් තවමත් ලියන්නට ඉස්පාසුව සළසන්නේ ඒ බව ඇය ඉවෙන් මෙන් දන්නා නිසා විය යුතු ය. ඒ මගේ පිරිමි මොළයට ඒ හැසිරීම වැටහෙන විදිහ ය.

අනේ ජනේ ඉඳල ඉඳල අල්ල ගත්තේ ඇමක් නේද, කෑමක් කියල? ජනේ ඒ වුනාට  ඒකෙන් අපට අවස්ථාවක් ලැබුන අලුත් යමක් කතා කරන්න. ඉතින් ඒ ගැන ජනේට ස්තුතියි.

ජනේ ගැන දන්නා නැති අයට මගේ අවසන් බ්ලොග් සටහන් කීපයට පිවිසීමෙන් ජනේ ගැන දැන ගත හැකි ය.

දේශද්‍රෝහියෙකු ලෙස නම් කිරීම කෙනෙකුට ආඩම්බර වියහැකි සමාජයක් ගොඩනැගීමේ පව

කාලෙකට ඉහත උඹ යයි කීවේ කිට්ටුවන්ත භාවය පෙන්වන්නට ය. දැන් සමහරුන්ට අනුව ඒ තරහටය. එක වකවානුවක තමුසෙ යයි කීවේ තමුන්නාන්සෙ යන නම්බු කාර ආමන්ත‍්‍රණයේ කෙටි ස්වරූපය ලෙසය. දැන් තමන්ට වඩා ධුරාවලියෙන් පහල කෙනෙකු ආමන්ත‍්‍රණය කරන්නට එය යොදා ගැනෙයි.

1940 ගණන්වල ජර්මනියේ යුදෙව්වා යයි භාවිතා කරනු ලැබුවේ මරණයට නියම කරනු ලැබු ගර්හිත ජාතියකට අයත් මිනිසුනට ය. අද යුදෙව්වා කීවිට අපට මතුවන්නේ වෙනස් පින්තූරයකි. හමාස් සංවිධානයෙන් පලි ගන්නට පලස්තීනයේ වැසියන්ට අනුකම්පා විරහිතව පහර දෙන යුදකාමී ජාතියකට අයත් මිනිසුන් ය.

1971 සහ 1989 වකවානුවල හමුදාව යයි කීවිට අපේ මතකයට ආවේ දකුණේ තරුණයින්ට වේදනාවත් මරණයත් ගෙනා තුවක්කුකරුවන් පිරිසකි. අද හමුදාව යයි කියන විට රටේ බහුතරයකගේ සිහියට නැගෙන්නේ රට රකිනා මුර දේවතාවුන්ගේ වන්දනීය වූ රූපයකි.

එදා බෞද්ධ භික්ෂුවක් කී විට අපට මතක් වූයේ සංවර ගමණින් වඩින කුලූනු බස් දොඩන මෛති‍්‍රය කරුණාව පිරුණු යෝගියෙකි. අද බෞද්ධ භික්ෂුවක් යයි කීවිට අපේ මතකයට එකවර පිවිසෙන්නේ වෙනත් පින්තූරයකි. මල්ටි බැරල් රොකට් හා ආටි අතගාන ප‍්‍රභාකරන් නම මතක් කළ සැනින් පරළ වන යුද්ධයේ සංකේතයකි.

දැනට වසර කීපයකට පෙර දෙමලා යයි කීවිට අපට මතක් වූයේ ප‍්‍රභාකරන් සමග කරට අත දාගෙන සිටින දරුණු සටන් කාමියෙකි. දැන් දෙමලා යයි කීවිට අපගේ සිතට නැගෙන පිළිරුව වෙනත් එකකි. බැටකනු ලැබූ, හාමතේ තබනු ලැබු, තැනින් තැනට පළවා හරිනු ලැබූ, අනුකම්පා කළ යුතු ජන කොට්ඨාෂයක පිළිබිඹුවකි.

දේශද්‍රෝහියා යයි කිසිවෙකු අමතනු ලැබුයේ නම් අපි එදා එවන් මිනිසෙකු දෙස බැලූවේ ජුගුප්සාවෙනි. අද දේශද්‍රෝහියෙකු යයි කීවිට සමාජය දරණ මතයට වෙනස් අදහසක් දරණ, සෑම ජන කොට්ඨාෂයකම අනන්‍යතාවය හා අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින, වඩා යුක්ති සහගත මිනිසෙකුගේ රුවක් අපේ මතකයට නැගේ. කැප්පෙටිපොළත් දේශද්‍රෝහියෙකු ලෙස ගැසට් කළ බව සිහියට නැගේ.

මේ එකද අවස්ථාවක දී වත් වචනයේ රූපය වෙනස් ව නැත. එහෙත් එයින් මතුකරන අර්ථය නම් පැහැදිලි ලෙස වෙනස්ව ඇත.

මේ නිසාම නම්බු නාම පවා වෙනස් කිරීමට ද ගැරහීම සඳහා අලූත් වචන සොයා ගැනීමට ද අපට සිදුව තිබේ. මේ අදහස අප ඉදිරිපත් කළේ සමහර බ්ලොග් සගයින් ගැරහීම සඳහා නම්බු නාම ද නම්බුව දී කතා කරන්නේ යයි සිතා ගැරහීමට යොදන පදද භාවිතා කරන හෙයිනි.

පව් කාරයා!
ඇයි දේශද්‍රෝහියා නොකිය
පව් කාරයා කිව්වෙ
තොට ඒ පදවිය
නම්බු වැඩිනිසා යකෝ

ලසන්ත වික‍්‍රමතුංග වගේ මිනිසුන්ට කියන එකක්
උඹ වගේ පුබ්බරුවෙකුට කියන්න

හැමදෙයක්ම පැටලී ඇති මේ යුගයේ තව තවත් පැටලෙන්නේ නැතිව ලියන්නට මේ ගැන නැවත සිතීම අවශ්‍ය ය.

මේ රට ගෑණුන්ගෙන් ජීවත් වෙන රටකි; හෙට මැරණත් හිතට සැපයි, අද ජොලි කරලා!

වතුකරයේ කාන්තාවන් තේ දලු නෙලා, රබර් කිරි කපා, උපදවන ආදායමත්, මැදපෙරදිග යන කතුන් රටට ගෙනෙන ධනයත්, ගාමන්ට් ෆැක්ටරිවල තරුණියන් වෙහෙසවී රටට ගෙනෙන විනිමයත් අප රට රකින ප‍්‍රධාන ආදායම් මාර්ග වී ඇත.

මේ රට ගෑණුන්ගෙන් ජීවත් වෙන රටකි.

ගෑණුන් අපමණ වෙහෙස වී ගේන තුට්ටු දෙක කසිප්පු බී සූදූ කෙළ නැති නාස්ති කරන පිරිමි උන්ගේ දරුවන් ද දුකේ දමති.

ගෑණුන් අපමණ වෙහෙස වී ගේන තුට්ටු දෙක යුද්ධය මිහින් එයා වැඩක් නැති රස්සා ඇතුලු තව බොහෝ දේ වෙනුවෙන් පුලූස්සා දමා ඒ සමගම උන්ගේ දරුවනුත් උන්ට අහිමි කිරීමේ අපූරු මෙහෙයුමක ද අපි අද නිරතව සිටිමු.

රට කෙතරම් සංවර්ධනය වී ඇත් දැයි කිවහොත් රට ගොස් ඇති ඥාතීන්ගේ සරණ පැතීමට ජනතාවට පමණක් නොව ආණ්ඩුවට ද සිදු වී තිබේ. ඒ ගෑණුන් ඇපයට තබා හම්බකර ගත් ඒවා විනාශ කර ගැනීමෙන් පසු ය.

බහුතරයක් වැඩිහිටි පිරිමි කරන්නේ කුමක් ද?

ගෑණු හම්බුකරන දෙයින් හොඳහැටි සප්පායම්ව ඉන්පසු මත් වී නාඩගම් නැටීම ය. සූදු කෙලීම ය. කුකුල් පොර බැලීම ය. කොඩි අරන් දිවීම ය. ඔජ වැඞීම ය. ඉපැරණි අතීතය ගැන ඒ අතීතයේ උන්ගේ මුතුමිත්තන් කළ කී දේ ගැන කෙරුවාවල් ඇද බෑම ය. ආණ්ඩුවත් උන්ගේ ගෝලබාලයිනුත් ඒ අංශයේ කප් කාරයෝය.

මේ රටේ ශේෂ පත‍්‍රය එලිපිට ලියන්නට වන දාක මේ වත්කම් හා බැරකම් ගැන හැබෑ ලෙස දැනගන්නට ලැබෙනු ඇත. එදාට ගෑණුන් හා තරුණ තරුණියන් එක්ව මේ තත්වයට වගකිව යුතු වැඩිහිටි පිරිමින් සොයා උන් ගස් අරිනවා ඇත. ඒ මහන්සියෙන් හම්බු කරගත් දේ රැක ගැනීමට නොහැකි වීමේ වරදට ය.

රට උගස් තියා දැනට අඩුපාඩු පිරිමහින නිසා මේ පිරිමි ටික දැනට බේරී සිටිති. උගස සින්න වූ දාට කොසු ඉදල් හා හැලි වළං වලින් උන් සංග‍්‍රහ ලැබීමට නියමිත ය.

ඒ ශේෂ පත‍්‍රය පසුබිමේ පිළියෙල වෙමින් පවතී.

පිටරට ඥාතීන්ගේ උදව් අවසන් වූ පසු පතන්නේ කාගේ උදව් ද? ඉන්පසු උගස් තියන්නේ කාවද? බිල්ලට දෙන්නේ කවුරුන් ද? අර කී පිරිමි දැන් ලහි ලහියේ හොයමින් සිටින්නේ ඒවා ගැන ය.

මහා භාණ්ඩාගාරය පැත්තේ ගියොත් දෙකොණ රත් වූ මේ පරපුරේ නියාමකයින්ගේ අන්තේවාසිකයින් බලා ගත හැකි ය. ගම් තුලානේ ඇවිද්දොත් හවස් වන විට බඹර පදමට ලංවී ඇති උන්ගේ අනුගාමිකයින් මුණ ගැසීමට පුලූවන.

නියාමකයින් හා අනුගාමිකයින් දෙගොල්ලෝම ගයන්නේ එකම ගීයකි. හෙට මැරණත් හිතට සැපයි, අද ජොලි කරලා! උන් පිරිමි ය.

අප මේ ගහන්නේ මැච් එකක් නම් එල් ටී ටී ය පරාද වී හමාරය

අප මේ ගහන්නේ මැච් එකක් නම් එල් ටී ටී ය පරාද වී හමාරය. වර්ග කීමී 70 ට කොටු කර ඇති නොවැ.

අප මේ කරන්නේ ප‍්‍රභාකරන් හා මහින්ද ගෙන් එක්කෙනෙක් තෝරාගැනීම නම් මහින්ද තෝරාගැනීම ප‍්‍රභා තෝරා ගැනීමට වඩා ඥානාන්විතය.

අප මේ හදන්නේ ප‍්‍රභාකරන් යුක්ති යුක්ත දැයි පිරීක්සීමට නම් ඇතැම් කරුණු වලදී ප‍්‍රභාකරන් අයුක්ති සහගත ය. ඒ ගැන සාක්ෂි ඔහුගේ ඉතිහාසයෙන්  ඕනෑ තරම් ගෙන හැර දැක්විය හැකි ය.

අප මේ හදන්නේ ප‍්‍රභාකරන් දෙමල ජනතාවගේ එකම නියෝජිතයාදැයි තීරණය කිරීමට නම් ඔහු එකම නියෝජිතයා නොවේ යයි විවාදයකින් තොරවම කිව හැකිය.

එහෙත් අප මේ හදන්නේ යුද්ධය මගින් මේ වියවුල විසඳීමට නම් ප‍්‍රභාකරන්ගේ පරාජයෙන් අපේක්ෂා කරන්නේ රටට ස්ථිර සාර සාමයක් නම් එය නම් ඉටු නොවනු ඇත.

මක්නිසාද යත් මේ වියවුල ඇති කිරීමට හේතු භූත වූ දේශපාලන සමාජ ආර්ථික සාධකයන් තවමත් එලෙසම පවතින බැවිනි.

තමන්ගේ භූමි ප‍්‍රදේශය තූළ තමන්ගේ සම්පත් භාවිතා කරමින් තමන්ට වුවමනා දේ නිපදවමින් ඒවා විකුණමින් ලැබෙන ආදායමින් තමන් සිතන පතන ආකාරයට ජී වත්වීමට  හා විශේෂයෙන් එසේ ජීවත් වීමට හැකි තත්වයක් සහතික කරන ආකාරයේ පරිසරයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය අයිතිය දෙමළ ජනතාවට ලැබුණු දිනයක පමණක් එල්ටීටීය (ත‍්‍රස්තවාදය) පරාජය වනු ඇත. එවන් පසුබිමක ත‍්‍රස්තවාදය පැරදවීමට අවි ආයුධ අවශ්‍ය නොවනු ඇත.

අප මේ කරන්නේ කළ යුත්ත නොකර වෙන යමක් ය.

ඔබට මෙන්ම මටද සාමය වුවමනා ය. හිංසනය කිසි දිනෙක -ඉතාමත් යුක්ති සහගත දෙයක් උදෙසා වුව- භාවිතා කිරීම මම අනුමත නොකරමි. එහෙත් හිංසනයට උත්තර දිය යුත්තේ හිංසනයෙන් නොවන බව එයින් හිංසනය අහෝසි නොවන බව මම දනිමි. ඒ මා බුදුන් අදහන නිසා ය.

LTTE පරාජය – සාගරට, බින්කුට හා රන්දිකට අනුකම්පාවෙනි

 එල් ටී ටී ය පරාජය වනු දැකීමට කැමති අය මුලින්ම තේරුම් ගත යුත්තේ තමන් පරාජය කරන්නට හදන මේ ඒකකය ඇත්තටම කුමක් ද යන්න ය.

සතුරා නොහැඳින පරාජය කරන්නට යාම නිසා සමහර විට තමන් පරාජය වන්නට ඉඩ ඇති බැවිනි. බොහෝ දෙනා පිළිගන්නට අසමත් වුව ද මේ සිදුවෙමින් තිබෙන්නේ එයයි.

එල් ටී ටී ය යනු කුමක් ද?

1 ත‍්‍රස්තවාදී සංවිධානයකි
2 වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කරගත් දේශපාලන සංවිධානයකි
3 නිෂ්චිත බල ප‍්‍රදේශයක් තුළ සීමිත පාලනය ගෙන ගිය එක්තරා ආකාරයක ආණ්ඩුවකි
4 සම්ප‍්‍රදායික හමුදාවක් සමග යුද වැදුණු මිලිටරි සංවිධානයකි

බොහෝ දෙනෙකුට එල් ටී ටී ය පෙනෙන්නේ ඉහත ස්වරූපයන්ගෙන් පමණකි.

ඔවුන් එල් ටී ටී යේ පරාජය අපේක්ෂා කරන්නේ මෙහි සඳහන් එකක් හෝ කීපයක් පෙරදැරි කර ගෙන ය.

මේ කී සියලූ ස්වරූපයන් එල් ටී ටී යට තිබෙන බව ඇත්තකි. එහෙත් ඊට ඔබ්බෙන් වූ මානයන් ද එල් ටී ටී ය මැනීමේදී අප විසින් සැළකිය යුතු ව තිබේ. ඒ මොනවාද?

1 එල් ටී ටී ය උපදින්නේ

  • ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තමන්ට ආ හැකි උච්චතම තැනට එනම් වෙනම දෙමල රාජ්‍යයක් පිහිටුවීමට පාර්ලිමේන්තු ජනවරමක් ලබා ගෙන එහිම මස්තක්ප‍්‍රාප්තිය ලෙස ලංකාවේ මුල් වතාවට පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායක පදවියට හිමිකම් කීමෙන් පසු එළඹෙන අවදිය සනිටුහන් කරමින් ය
  • එයට අවශ්‍ය කාඩර්වරු ද එයට අවශ්‍ය ධනය ද සොයා ගැනීමට අවශ්‍ය පසුබිම 1983 සිද්ධි වලින් නිර්මාණය වූ වටපිටාවක ය
  • 1983 මස්තක්ප‍්‍රාප්තියට පත් දෙමල ජනයා හිංසනයට ලක් කිරීමේ බිය වැද්දීමේ මරා දැමීමේ එළවා දැමීමේ ඔවුන්ගේ දේපල උදුරා ගැනීමේ කි‍්‍රයාවලිය නිසා තමන්ගේ රට යයි ශ‍්‍රී ලංකාව හඳුන්වාදීමට තවදුරටත් නොහැකි තත්වයන් යටතේ ය
  • හිංසනයට හා යටපත් කිරීමට ප‍්‍රති හිංසනයෙන් හා ත‍්‍රස්තවාදයෙන් උත්තර දීම හැර වෙනත් විකල්පයක් නැතැයි දෙමල තරුණයින්ට හැගී ගිය තත්වයක් යටතේ ය

2 එල් ටී ටී ය විසින් ඇති කරන ලද තත්වය නිසා දෙමල ජනතාවට බයාදු වීමෙන් තොරව හිස කෙලින් තබා ගෙන සිංහලයන් අතර ජීවත්වීමට යම් ඉඩක් පාදා ගන්නට ඉඩ ලැබෙන්නේ ය

3 ජාත්‍යන්තර දේශපාලනයේ දෙමල අනන්‍යතාවය ලෙස එලි දකින්නේ මේ එල් ටී ටී ය විසින් අත්පත් කර ගනු ලැබූ ප‍්‍රතිරූපයයි (එහි ත‍්‍රස්ත අංශයට ඈතිනුත් එයින් ඉදිරිපත් වූ දෙමල ජාතික අභිලාෂයන් සමග කිට්ටුවෙනුත් සිටින තැනකට දෙමල ඩයස්පෝරාව පත් වනු මේ යුගයේ දැකිය හැකි විය)

එල් ටී ටී ය පරාජය කරන්නෙකු පරාජය කරන්නේ එල් ටී ටී යේ ත‍්‍රස්තවාදය පමණක් නොවේ. මේ දෙමල ජාතික අභිලාෂයන් ද ය.

එය දෙකක් නොව එකක් වීම කණගාටුවට කාරණයකි.

සමහරු ඒ ගැන කණගාටු වෙතත් එහි වගකීම පවරන්නේ දෙමල ජනතාවට ය.

එහෙත් එය එකක් වීමේ වගකීම දෙමල ජනතාව වෙත පමණක් පැවරිය නොහැකි ය. එම වගකීමේ විශාල කොටසක් බහුතරයේ අත්තනෝමතික යටපත් කරගැනීමේ දේශපාලනය හා සම්බන්ධ ය.

එල් ටී ටී ය පරාජය කරන අවසන් සටන සිහිනයක් වන්නේ මෙන්න මේ හේතුව නිසා ය. එය ගගට ඉණි කැපීමක් වන්නේ මේ හේතුව නිසා ය. ඒ සඳහා අතිවිශාල පිරිවැයක් වැය වෙමින් තිබෙන්නේ මේ හේතුව නිසා ය. වර්ග කිමි 100 ට කොටු කරනු ලැබූ පසුත් පසු බසින්නේ නැතිව පහර දෙන්නට ඔවුන්ට ආත්ම ශක්තියක් ඉතිරිව ඇත්තේත් මේ හේතුව නිසා ය.

ඉතින් මෙය කියවන අයට දැන් අවසරය, මෙය ලියූ මට කුණුහරුපෙන් බණින්නට! ප‍්‍රශ්නයකට ඇත්තේ එසේ බැන්නාට මේ යථාර්තය ඉන් අහෝසි නොවීම ය.

ගේ උගසට තබා ගත් මුදලින් දරුවන්ට නිලා කූරු අරන් දීම

1983 වසරේ අප විසින් දියත් කළ හිංසනයට අප අවුරුදු 25 ක් වන්දි ගෙවුවෙමු. තවමත් ඒ වන්දි ගෙවීම අවසන් ව නැත.

මේ දිනවල දරු පැටවුන් මහල්ලන් රෝගීන් ද ඇතුළත් වන්නියේ සිරව ඇති ජනතාවට එරෙහිව කරන සාපරාධී ක‍්‍රියාවලට ද පොලියත් සමග ගෙවන දිනයක් ඉදිරියේ එනු ඇත.

කර්මයේ විපාක පහසුවෙන් අහෝසි වන්නේ නැත. මේ අන්තිම සටන යයි කියන විට අපට සෝපාහාසයක් දැනෙන්නේ එබැවිනි.

මේ පවට සම්මාදම් වූ සැමට කරුමය ගෙවීමට සූදානම් වනවා හැරෙන්නට ඒ සඳහා කළ හැකි දෙයක් නැත.

මේ පව් කාර ක‍්‍රියාව වළක්වන්නට හීන් උත්සහයක් දැරුව ද ප‍්‍රමාණයක් උත්සහයක් නොදැරීම ගැන අපට ද වන්දි ගෙවන්නට සිදුවුනොත් ඒ ගැන කම්පා විය නොහැකි ය. ඒ බ්ලොග් එකක අපේ කළකිරිම මෙසේ සටහන් කරනවා විනා වෙනත් දෙයක් කිරීමට අපට නොහැකි වූ හෙයිනි.

මේ දිනවල වන්නියේ ගලන ලේ අප දකින්නේ නැත. අඳේනා අපට ඇසෙන්නේ නැත. කඳුලූ පෙනෙන්නේ නැත. ඒවා දේශපේ‍්‍රමයේ නාමයෙන් සගවා තබා තිබේ. එහෙත් මේ බ්ලොග් කියවන්නන්ට නම් ඒවා දැකගත හැකි මාර්ග එමට තිබේ. ඒවා ආශ්වාදජනක නොවන නිසා ඔවුන්ට එම වෙබ් අඩවිවලට පිවිසෙන්නට  ඕනෑ කමක් ද නැත.

එය පැත්තකින් තැබුවද අපි වෙනුවෙන් සටනට වැද සිටින්නේ යයි කියන රණවිරුවන්ට සිදුවන අකරතැබ්බයන් ගැන උන්ගේ මරණ ගැන උන්ගේ වේදනා ගැන පවා අප දන්නේ නැත ඒවා ද සගවා තිබේ.

අප දන්නේ අපට දැන ගැනීමට ඉඩ ඇත්තේ අල්ලා ගත් ටවුම් වල ආයූධ වල ගොඩනැගිලිවල නම් හා අල්ලා ගැනීමට තව ඉතිරිව ඇති වපසරිය පමණකි.

ඕනෑම කටයුත්තකට අදාළ අයවැයක් තිබේ. ඒ කටයුත්ත සඳහා වැය කළ ප‍්‍රමාණය හා ඉන් ලැබෙන දේ සංසන්දනය කරන්නේ නැතිව එහි ලාභ දායකත්වය ගැන නිගමනයකට එළඹිය නොහැකි ය.

අප අද දන්නේ ලැබෙන ප‍්‍රතිලාභ පමණකි. ඊට වැයව ඇති පිරිවැය සමග සංසන්දන නොකර ඒ වෙනුවෙන් අනාගතයේ අපට ගෙවීමට ඇති දේ සමග සංසන්දනය නොකර එය නිසි අගය කිරීමකට ලක් කළ නොහැක.

මට දැනෙන හැටියට නම් දැනටමත් දරා ඇති පිරිවැයට වඩා විශාල වන්දියක් පොලියත් සමග ගෙවීමට අපට සිදුවනු ඇත. එය ඊළග පරම්පරාවටවත් ගෙවා අවසන් කිරීමට හැකිවේද යන්න පවා ගැටලූවකි.

පුංචි දරුවෝ තාත්තා නිලා කූරු ගෙනැවිත් ඇත්තේ ගේ උගසට තබා බව දන්නේ නැත. උන් නිලා කූරු පුච්චා සතුටට පත්වෙති. අද දවසේ ලංකාව තුළ සිදුවෙමින් තිබෙන්නේ ද එයයි.

අන්තිමට මොකද වෙන්නෙ

අන්තිමට උන් කොළඹටත් ගැහැව්වා

ඒක උන්ගෙ අන්තිම ගැහිල්ල

අපේ උන් අන්තිම සටන කරනව එහේ

ඒක අන්තිම වෙන්නෙ කවදාද

හැබෑට ඔය ප‍්‍රශ්නෙ අන්තිමට අහන්නෙ කවද ද

තව ටිකයි අන්තිම ටිකයි තියෙන්නෙ ඉවසන්න

අන්තිම වුනහම මොකද වෙන්නෙ

උන් පරදිනව අපි දිනනව

ඊට පස්සෙ

ඊට පස්සෙ ඉතින් ජය පැන් බොන එකයි කොඩි දාන එකයි

අන්තිමට මොකද වෙන්නෙ

යකෝ මේ අන්තිම වතාවට කියන්නෙ

තොටත් අන්තිමට අම්බානකට වදිනව ඔය විකාරෙ නැවැත්තුවෙ නැත්නම්

……….

මම මේ අන්තිම වතාවටයි කියන්නෙ

……….

අන්තිම…. රෙද්ද!

දායකයින්ට පාට් දාන, සමාජයට තර්ජනය කරන, වෛරය වපුරන, මැරයන් වෙනුවට සුපේක්ෂ ශීලී භික්ෂූන් හදමු

බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකු යැයි කී විට අප මවා ගන්නට කැමති චිත‍්‍රය මෙසේ විස්තර කළ හැකි ය.

දුටුවන් සනහන කරුණා ගුණයෙන් යුක්ත ය.

ලොව සතට සුවය ගෙනෙන මහා මෛත‍්‍රීයක් එතුමන්ගේ කුළුණු බර දෙනෙත් තුළින් විහිදෙයි.

ගමන සන්සුන් ය. හැසිරීම නිවුනු ස්වරූපයක් ගනී. දුටුවන් නිමේෂයකට නතර කරවන සුලූ ය.

වචන මුදු ය. කරුණාබර ය. යහපත් ය. දුටුවන් නිමේෂයකට නිහඩ කරවන සුලූ ය.

දෙසන දහම, මොහයේ, ද්වේෂයේ, කාමයේ, රාගයේ, චන්දයේ ඇලූණු පව් කාර සිතක් නිදහස් කරන බලයෙන් යුක්ත ය. කැළඹුනු ජාගර සිතක් සන්සුන් කරවන ශක්තියෙන් යුක්ත ය. එතුමන් ඉන්නා තැනක සතුන් පවා මෙල්ල වූ ගතියක්, ශාන්ත වූ ගතියක්, නිවුණු ගතියක් ප‍්‍රකට කරයි.

අති දරුණු රෝගයක් පවා දරා ගත හැකි, මරණයට පවා මුහුණ දිය හැකි, සියලූ පීඩා නිවී යන නිරාමිස සුවයක් උන්වහන්සේ අවට ඉන්නා අයට ලබා දෙයි.

කිසා ගෝතමිය නිබ්බුත පද කීවේ එවැනි ලක්ෂණ පෙන්වූ අභිනිෂ්ක‍්‍රමණය කිරීමට සිත එකලස් කර ගත් සිදුහත් කුමරුන් දැකීමෙනි.

භික්ෂුන්ගෙන් බුදුන් බලාපොරොත්තු වූයේ දකින අය නිවන ඒ ලක්ෂණ ය. කිසා ගෝතමීගේ කතාව බුදුන් සෙසු අය හා බෙදාගන්නට ඇත්තේ තමන් භික්ෂුවකගෙන් අපේක්ෂා කරන ඒ චරිතය පිළිබඳ ප‍්‍රතිරූපයක් මැවීමට ය.

දැන් අපට දකින්නට ලැබෙන චිත‍්‍රය නම් ඊට හාත්පසින් වෙනස් එකකි.

අප අද හාමුදුරුවන් ලෙස දකින්නේ

1. මල්ටි බැරල් හා ආටි අතගාන්නට මහ සෙනග ගොඬේ තෙරපෙන, යුද්ධය නොනවත්වන ලෙස රජයට බලකරමින් වීදි බහින, සිවුරු උස්සාගෙන කෑ ගසන, වෛරයම දෙසන, රකුසු වෙස් ඇති, ගිහියන්ට ද වඩා කලබල කරන, අතිශය ප‍්‍රාථමික සිවුරු ධාරීන් රැසකි

2. වැඩවසම් රදළයෙකුට ද වඩා සිය ශ‍්‍රාවකයින් වෙත රැස්පොට් පෙන්වන්නා වූ ද, දානයේ ආනිසංශම දෙසා වදාරන්නා වූ ද, පන්සල් ආවාස ගිහියන්ගේ ගෙවල්ද අභිබවමින් ඉදිකරමින් සිටින්නා වූ ද, හිස බූ ගාගත් පිරිසකි.

3. ධර්මයෙන් මිනිසුන් හික්මවීමට තමන්ට බැරි නිසා ම, ආණ්ඩුවේ හා නීතියේ බලය භාවිතා කොට ආණ්ඩුව ලවා, මිනිසුන් හික්මවන්නට ඉදිරිපත්ව ඇති කහවතින් සැරසුණු පොලිස් සැරයන් පිරිසකි.

4. රටේ ඉන්නා මැරයන්ගේ ද දේශපාලූවන්ගේ ද හොරුන් හා මංකොල්ලකාරයින්ගේ ද පිරිත් නූල් බඳින, ඔවුන්ට ආශිර්වාද කරන, ඔවුන් කරන මුග්ධ ක‍්‍රියා අනියමින් අනුමත කරමින් සිටින, උන්ගෙන් යැපෙන, චීවර ධාරීන් රැසකි.

ගණින්නාසේලාගෙන් බේරාගනු ලැබූ ශාසනය අවසානයේ බාර ගෙන ඇත්තේ ඊට නොදෙවැනි පිරිසකි.

වල්පොල රාහුල හිමි පරපුරේ භික්ෂුන් නොමැති වීම වත්මන් ගණින්නාන්සේලා ගණනින් වැඩිවීමට හේතුවක්ව තිබේ. එවැනි හිමිවරු නැතිවීමේ පාඩුව හෙට වඩාත් වැඩියෙන් දැනෙනු ඇත.

« Previous entries