Beyond frame අඩවියට ජනවාරි 10 දාට මාස තුනකි… මේ එහි සිය වෙනි සටහනයි..

මේ බ්ලොග් අඩවියට ජනවාරි 10 දාට මාස තුනකි. මේ එහි සිය වෙනි සටහනයි. මාස තුනක් ඉක්ම යන්නට මත්තෙන් සටහන් සියයක් තැබීමට හැකි වීම ගැන පුංචි සතුටක් අපට ඇත.

අපට ගලින් මුලින් ද මලින් ද සංග‍්‍රහ ලැබිණි. කුණුහරුප ද ඒ අතර විය. කුණුහරුප පළ නොකරන බව කී විට කුණුහරුප වලින් කරන ලද සංග‍්‍රහ නැවතිණි. ඊලගට අපට බ‍්‍රහ්ම දණ්ඩනය පනවන ලද්දේ ය. ඒ සියලූ දේ මැද අප බැලීමට අමුත්තන් 8500 ආසන්න වාරයක් පැමිණ ඇත. මෙයින් 8000 වාරයක් ආවේ අවසන් මාස දෙකේ අප සිංහලෙන් බ්ලොග් සටහන් පළ කරන්නට වීමත් සමග ය. ඒ සඳහා සිංහලයෙන් බ්ලොග් ලිවීමේ තාක්ෂණය ඉගෙන ගන්නට ද අපට සිදුවිය.

අපට දිරිදුන් පාඨක සැමට අපගේ ස්තුතිය මෙයින් පිරිනමන අතර මේ කඩ ඉමේදී අප කවුදැයි අසන අයට අප කවුදැයි හඳුන්වාදීමට ද කැමැත්තෙමු.

බ්ලොග් සටහන් කියවන බොහෝ දෙනෙකුට අප පෙනෙන්නට ඇත්තේ ආණ්ඩු විරෝධින් හැටියටය. ඇත්තටම අප ආණ්ඩු විරෝධී නැත. එහෙත් ආණ්ඩුව කරන බාල වර්ගයේ වැඩවලට අප විරුද්ධය. ඒවායේ සැබෑ තතු හංගා ජනතාව රවටා කරන විට අපේ විරෝධය වැඩිවේ.

අපගේ විරෝධය විරුද්ධ පක්ෂයට එල්ල වුනා නම් එය ඉතා අඩුවෙනි. ඒ ගැරඩි මරා පව් ගන්නට අප අපේක්ෂා නොකරන හෙයිනි. මෑතකදී බලයට පත්වීමට සීමිත හෝ ඉඩක් නැති එයට ගහන්නට මෙන්ම එය මරා ගෙන කන්නට ලෑස්ති වුනු රොත්තක්ම සිටිති. ඒ නිසා අපට එහි ඉඩක් ඇත්තේත් නැත. ඉඩක් ඉල්ලන්නට අප බලාපොරොත්තු වන්නේ ද නැත. කිසියම් විපර්යාසයක් සිදුව බලයට පත්වූ දාකට එයට ද හොඳින් සංග‍්‍රහ කරන්නට අපි බලාපොරොත්තු වෙමු.

ආණ්ඩුව සම්බන්ධයෙන් සත්‍යය එය නොවේ. එය බලූකම් කරන්නට කරන්නට එයට එකතු වන පිරිස වැඩිවන අයුරුද ජනතාව රැවටීම සඳහා ඔවුන් කරන බොරුව බලයේ අනුහසින් සගවන අයුරුද වංචාව හා බොරුව වඩ වඩා උත්සන්න වන අයුරුද අපි දුටුවෙමු. අපගේ විරෝධය ආණ්ඩු කරවන අයට වැඩියෙන් එල්ල වූයේ ඒ අනුවය.

අප කවුදැයි හඳුනාගැනීමට හොඳම විදිහ අපගේ මුල්ම බ්ලොග්සටහන්වල පිවිසීම ය. ඒවා තුළ අපගේ විවේචනයට ලක්වූයේ රටේ ජනතාව ය. ආණ්ඩුව නොවේ. අප අදටත් විශ්වාස කරන්නේ මෙවැනි ඉලව් ආණ්ඩු බලයට පත් වන්නේත් බලයේ සිටින්නේත් ජනතාවගේ ගොන් කම් නිසා බව ය.

මේ ආණ්ඩුව විවේචනය කරන විට වඩාත් අපහසුතාවයට පත්වන්නේ ඊට සහය පළ කරන හා ඒ වෙනුවෙන් කඬේ යන අයට ය. ඒ නිසා ආණ්ඩුව හරහා වුව ද අපේ විවේචනයේ අවසාන ඉලක්කය ජනයා ය (මේ බ්ලොග් සටහන් තුළින් ආණ්ඩු පෙරලියක් කළ හැකි යයි අපි හීනයෙන්වත් හිතන්නේ නැත).

ජනයාට අලූතින් හිතන්නට උගන්වතොත් මිසක මේ රට වෙනස් කළ නොහැකි ය. ජනයාට ඇත්ත හා බොරුව අතර වෙනස ඉගැන්වූ විට බලයේ සිටින අයට පමණක් නොව බලයට පත්වන්නට හිතන අයට ද බොරුව ගෙන යාම අමාරුවෙයි. අපගේ අරමුණ බොරුව ගෙනයාමට අමාරු පරිසරයක් නිර්මාණය කිරීමට ය.

අපගේ බ්ලොග් සටහන් රස විඳින අයගෙන් අප ඉල්ලා සිටින්නේ මේ බ්ලොග් අඩවිය පිළිබඳ පණිවුඩය ඔබගේ හිත මිත‍්‍රයන්ට ද යවන ලෙස ය. බොරුව නිරාවරණය කිරීමේ කාර්යේ දී අප හා එක්වන ලෙස ය. විශේෂයෙන් මෙතෙක් කළාක් මෙන් ඔබගේ වැදගත් ප‍්‍රතිචාරයන්වලින් ඊට දායක වන ලෙස ය. අප වැරදි කරන විට ඒවා පෙන්වා දෙන ලෙස ය. මෙතෙක් ඔබ කලාක් මෙන් අප ඉදිරිපත් කරන මත පළල් සංවාදයකට ලක් කරණ ලෙසය.

13 Comments »

  1. Said:

    සුභ පැතුම්!!!!
    දිගටම ලියන්න.

  2. අනර්ඝයි!
    මගෙනුත් සුබ පැතුම්!

  3. gayankt Said:

    ඉදිරි ගමනට සුභ පැතුම්. නීරස ඇත්ත පෙන්වා දෙමින් තාර්කික කතිකාවතකට එළැබීමට අවස්ථා ඉදිරියේදීත් ලැබේවායි පතමි.

  4. gangster Said:

    ඔන්න මගෙනුත් සුභ පැතුම්..!මාර ලිවිල්ලක් නේ ලියලා තියෙන්නෙ.

    (තව ප්‍රස්ථාපිරැළු ටිකක් වැඩි පුර දමලා ලියමු.මම මේකෙන් ප්‍රස්ථා පිරැළු ඉගෙන ගන්නවනේ…)

  5. සාගර Said:

    හැබෑටම අර බ්‍රහ්මදණ්ඩෙටයි බ්‍රහ්මදණ්ඩකාරයටයි මොකද උනේ?

  6. නියමයිනෙ…. සුභපැතුම්

  7. Prasad Said:

    Good Luck and Keep Writing.
    I may not agree in full what you are writing but its nice to read your blog
    with alternative view .

  8. beyondframe Said:

    මේ සාගර අහපු ප‍්‍රශ්නෙට උත්තර

    කුණු රස බ්ලොග්වලට හොට දාන්න බැහැ කියල කිව්වත් ඒ ගොල්ල හදිසියේ අපිව බැහැ දැකල යන්න එනව. ඇවිල්ල බැනල යනව. හැබැයි බනින්නෙත් කුණුහරුපෙන්. එහෙම නැතුව බැනපු ඒවා තියෙන්නේ ටිකයි. බූරුවා බල්ලා එහෙම කියල සතුන්ට අපහාස කරල තමයි ඒ ටික දෙනා ගියේ ගියේ. ඔය කිව්වට ඒ ගොල්ල ආයි ආයි එනව.

  9. Mahasona Said:

    “හැබෑටම අර බ්‍රහ්මදණ්ඩෙටයි බ්‍රහ්මදණ්ඩකාරයටයි මොකද උනේ?”
    හි.. හි.. පොර නිකන් පීචං වෙලා ගියා

    Beyond Frame අදහස් එක්ක (විශ්ශයෙන්ම LTTE එක ගැන) මම එකග නැති උනත් මම comments දාන්නෙ ඔය ඉලව් බ්‍රහ්මදණ්ඩ mafia වලට විරුද්ධ නිසයි.

  10. නිදහස් අදහස් Said:

    සුබ පතමි

  11. Beyond Frame ආන්ඩුව ගැන බහුතර මතයකට එකග වුනත් LTTE එක ගැන අදහස් වලට පොඩ්ඩක වත් මම එකග නෙවෙමි ඒ ගැන මීට වඩා වගකීමකින් අදහස් පකශ කරන්නේ නම මැනවි මක් නිසාද යත් නිකැරනේ තස්තවාදී සංවිදානයකට ආදාර ලැබෙන බැවිනි

  12. සුබ පතමි

  13. beyondframe Said:

    චතුරංග

    ත‍්‍රස්තවාදී සංවිධානයකට ආධාර කිරීමට තුන් හිතකවත් අදහසක් මට නැත. එහෙත් මා දකින්නේ ඔවුන්ට ආධාර සපයන්නේ දෙමල ජනතාවගේ සාධාරණ අයිතීන් පිලිනොගන්නා උදවිය මිසක මා වැන්නන් නොවන බව ය. එල්ටීටීයට වැඩිම අනුග‍්‍රහය ලැබුනේ 83 දෙමළ ජනයා සංහාරයට ඉදිරිපත් වූ මිනිසුන් ගෙනි. මේ ගැන ඵලය වෙනුවට හේතුව – පිටතට වෙනුවට ඇතුළතට යන බ්ලොග් සටහන මගිනුත් ඉදිරිපත් කළෙමි. අපේක්ෂාවේ ප‍්‍රතිපක්ෂය ලැබීම නොහොත් ඉල්ලගෙන කෑම යන බ්ලොග් සටහනෙන් මා අපේක්ෂා කළේ සමහර දේ ලබා ගැනීම සඳහා අප කරන දෙයින් එහි ප‍්‍රතිපක්ෂයම ලැබෙන බව පෙන්වීම ය. මේ බ්ලොග් සටහන් දෙක නැවත වතාවක් කියවන මෙන් ඔබෙන් කාරුණිකව ඉල්ලීමට කැමැත්තෙමි.


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment