Archive for January, 2009

කුමන්ත‍්‍රණකාරයින් ආණ්ඩුව ඇතුළටම රිංගලා ය

ලසන්ත වික‍්‍රමතුංගගේ මරණය, උපාලි තෙන්නකෝන්ට පිහියෙන් ඇනීම, සිරසට ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අපකීර්තීයට පත් කරන්නට බැරි වූ තැන ඔවුන් ආණ්ඩුව ඇතුළෙන්ම ඒ සඳහා කට්ටිය සොයා ගෙන ඇත.

බිබීසියට සංගීතයක් යොදා බාධා කළේ ඔවුන් ය. මාධ්‍ය මර්ධනයට එරෙහි පෝස්ටර් අලවමින් සිටි ජවිපෙ දේශපේ‍්‍රමී සහෝදරයන් දෙදෙනෙකු අල්ලා උසාවියට කුදලාගෙන ගියේ ඔවුන් ය.

මාධ්‍ය මර්දනයට එරෙහිව ලේක්හවුස් වටරවුමේ උද්ඝෝෂනයක් කිරීම සම්බන්ධයෙන් වාමාංශික පෙරමුණේ චමිල් ජයනෙත්ති උසාවියට කැඳවීමට තීරණය කර ඇත්තේ ද මේ අයම ය.

මෙසේ ආණ්ඩුවේම ගුවන් විදුලිය තුළත් ආණ්ඩුවේම පොලිසිය තුළත් ඔවුහු දැන් තම කටයුත්ත ජයටම කර ගෙන යති.

ඇත්තටම කියන්නේ නම් දේශපේ‍්‍රමීන් හැටියට පෙනී සිටිමින් මේ බ්ලොග් එකට කුණුහරුපවලින් ප‍්‍රතිචාර දක්වන්නේත් මේ ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණකරුවන් ය.

නැත්නම් හැම අතින්ම ජය ලබන මේ මොහොතේ ආණ්ඩුව තමන්ම මෙවැනි පියවරයන් ගෙන සිය දිවි නසා ගැනීමට පෙළඹෙනු ඇතැයි ඔබ සිතන්නේ ද?

කුමන්ත‍්‍රණයේ දිග පළල මෙයින්වත් නොපෙනේ ද?

අපි එළුවාගේ බෙල්ල කැපුවෙමු. දැන් ඇත්තේ ඔලූව නිදහස් කර ගැනීමට මුට්ටිය බිඳීමේ කාර්යයි.

අපි එළුවාගේ බෙල්ල කැපුවෙමු. ඒ මුට්ටිය හිරව තිබුණ නිසා ය. දැන් ඇත්තේ ඔලූව නිදහස් කර ගැනීමට මුට්ටිය බිඳීමේ කාර්යයි.

මේ උදාහරණය වඩාත් හොඳින් ගැලපෙන්නේ වත්මන සිදුවෙමින් තිබෙන කුමන ක‍්‍රියාවලිය සමග දැයි කියන්නට හැකි කෙනෙකුටයි, මේ ආරාධන ය.

එවිට මහදැනමුත්තා හා ගෝල පිරිස කවුරුන් දැයි වටහා ගැනීමට අපට පුලූවන.

කුඩා කාලයේ අප ඉගෙන ගත් කතා කොතරම් අපේ ජීවිතය හා බැඳි ඇත් ද යන්න දැනෙන්නට මේ සොයාගැනීම වැදගත් ය.

මේ අන්දරේ, කැකිල්ලේ රජ්ජුරුවෝ, මහදැනමුත්තා පමණක් නොව හීන් සැරය හා මගුල් කෑමද කියවීමට කාලයයි.

 

ප.ලි.
ප‍්‍රහේලිකාව විසඳන කෙනෙකුට පහත ඔත්තුවලින් පිහිටක් ලැබිය හැකිය.

ජාවිපෙ කියන්නේ බෙල්ල ඔහේ තියෙන්න ඇරිය යුතු බව ය. කුණු වූ පසු එය ඉවතට ගෙන මුට්ටිය බේරා ගත යුතු බව ය.

ආණ්ඩුවට දැන් මුට්ටියෙන්වත් එලූ හිසෙන් වත් වැඩක් නැත. මරා ගත් එලූවාගේ මස් වැළඳීම දැනට ඇති ප‍්‍රධාන කාර්යය බව ආණ්ඩුව කල්පනා කරයි.

එලූවා බේරා ගැනීම සඳහා මුට්ටිය බිඳිය යුතු යයි කල්පනා කළ එජාපය දැන් එලූවා මරා ඇති නිසා කළ යුත්තේ එලූවා මරා දැමීමේ ගොන් කම ගැන කතා නොකර එලූ මස් වැළඳීමට තමනුත් ඉදිරිපත් වීම යයි කල්පනා කරයි.

වාසු වැනි පැරණි වමේ සහෝදරවරු නම් කියන්නේ ගඳ ඉවසිය නොහැකි බැවින් දැන්වත් මුට්ටිය බිඳ නව නිග‍්‍රහයෙන් නිදහස් විය යුතු බවයි.

අපට නම් හිතන්නේ මුන් මේ සියල්ලෙන් අපට ඉතිර කර දෙන්නට හදන්නේ විනාශය පමණක් බවත් ඒ අතරතුර සියල්ල රිසි සේ වැළඳීමට ද මෙයින් පාර කපා ගන්නා බවත් ය

එවන් රටකට අතීතයක් මිස අනාගතයක් නැත

අප බොහෝවිට කරන්නේ වැල යන අතට මැස්ස ගැසීමත්, ගග ගලන අතට පිහිණීමත්, වැඩිදෙනෙක් කරන දෙය කිරීමත්, රංචුව සමග දිවීමත් පමණකි.

එය කරදරයෙන් තොර ය; පහසු ය; ප‍්‍රතිලාභ වලින් පරිපූර්ණ ය.

එහෙත් එයින් රටට ලෝකයට එකතුවන දෙය අල්පය.

රට ලෝකය වෙනස් වන්නේ හැමදෙනා කරනවාට වඩා වෙනස් දේ කරන හැමදෙනාට වඩා වෙනස් ලෙස සිතන මිනිසුන් නිසා ය.

ඒ අය මුලදී විහිලූවටත් ඊලග නොසැළකිල්ලටත් ඊටත් පසුව අපහාසයටත් එයිනුත් නොනවතින්නේ නම් හිංසනයටත් යටත් කරනු ලැබේ. එහෙත් ඔවුන් කාලයත් සමග නිවැරදි බව ඔප්පු වන්නේ නම් ඒ අපහාස උපහාස නිග‍්‍රහ සහ අඩම්තේට්ටම් කළ උදවියම අර වෙනසක් වෙනුවෙන් කතා කළ උදවියට මල් පුදන්නට ද වන්දනා කරන්නට ද ඉදිරිපත් වෙති.

එහෙත් එසේ ඉදිරිපත්වන ඇතැම් වෙලාවක එසේ පුදන්නට එකෙක් ඉතිරව නැත. ජනයා විසින් තාඩනයට පීඩනයට ලක් කොට පාලකයින් විසින් මරා දැමීම නිසා ඔවුන් ජිවිතය හැර ගොස් ඇති බැවිනි.

නව දෙය නොතනන ජාතිය ලොව නොනගී යයි මුණිදාස කුමාරණතුංගයන් කීවේ නිකම්ම නොවේ. එය ලෝකය සමග හෝ එය පරයා හෝ ඉදිරියට යන්නට ඇති එකම ක‍්‍රමය නිසා ය.

අප ඇති කරන්නේ මහ උදවිය කියන දෙයට, වැඩිදෙනා කියන දෙයට, ඔලූව වනන්නට සූදානම් පිරිසක් නම් එවන් තැනක නව දෙයක් බිහිවෙන එකක් නැත.

එහෙත් උඩුගං බලා පීනන අය වෙනස් විදිහට හිතන අය වලපල්ලට යවන්නට හදන රටක ඉතිරිවන්නේ ඔලූව වැනීමට පමණක් පුලූවන් අයය.

එවන් රටකට අතීතයක් මිස අනාගතයක් නැත.

Beyondframe’s position on LTTE

tamilnet.tv බ්ලොග් අඩවියේ beyondframe නම යොදා එහි url එකද යොදා ප‍්‍රතිචාරයක් පළ කර තිබිනි. ඊට beyondframe ගේ සම්බන්ධයක් නැත. මෙයින් පෙනී යන්නේ beyondframe අපහාසයට පත් කරන්නට දිගින් දිගටම උත්සහයක් පවතින බව ය.

අප ගැන දන්නා උදවිය මේවා විශ්වාස නොකරන බව අපට සහතික ය. අප වැනි බ්ලොග් අඩවියකට කෙළින් ප‍්‍රතිඋත්තර දීමට අමාරු මෙවැනි අය ගැන අපට ඇත්තේ අනුකම්පාවකි.

අප පෙනී සිටින්නේ අනාගතය වෙනුවෙනි. හෙට අනිද්දා මියයාමට අපේක්ෂිත යුද උන්මාදය වෙනුවෙන් නොවේ.

අපට එල්ටීටිය සමග පෑහීමක් නැත. අප එල්ටීටිය දකින්නේ දකුණේ මුග්ධ භාවයට ප‍්‍රතිචාරයක් ලෙස පැන නැගුනු උතුරේ මුග්ධ භාවය ලෙසිනි.

එල්ටීටිය ඒ නිසාම දකුණේ නිශ්පාදනයකි.

අප සියලූ ආකාරයේ ත‍්‍රස්තවාදයන්ට විරුද්ධය. අප වඩාත්ම විරුද්ධ ත‍්‍රස්ත වාදය ඇතිවීමට තෝතැන්නක් බිහිකරන්නන්ට ය.

අකුලාගත් ශ්‍රේෂ්ඨත්වය

අධිකරණය ඊයේ තින්දුවක් දුන්නේ ය. ඒ හෙජින් ගිවිසුමට අදාළ තමන් දුන් සියලූ අතුරු තහනම් නියෝග ඉවත් කරගනිමිනි.

බැලූ බැල්මට නම් පෙනෙන්නේ අධිකරණය ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීම සඳහා එය කළ බවකි.

එහෙත් “අඩුව තියාගෙන අතින් කරකවන්නේ ඇයි දැයි” යන ප‍්‍රශ්නය නගන කෙනෙකුට පමණක් අධිකරණයේ මේ ක‍්‍රියාව පෙනෙනු ඇත්තේ තම දුර්වලත්වය සගවන්නට කරන අසරණ උත්සහයක් ලෙස පමණකි.

අධිකරණ නියෝග නොපිලිපැදීම සම්බන්ධයෙන් කිසිවෙකුට දඩුවම් පැමිණවීමට මෙසේ අධිකරණය අපොහොසත් වීමෙන් පෙන්වන්නේ අධිකරණයට අද මුහුණ දීමට සිදුව ඇති ඛේදචාචකය යි.

හදිසියේ ශ්‍රේෂ්ඨ වූ අධිකරණය දැන් බල්ලට ගොස් තිබේ. නැත්නම් බල්ලට දමා තිබේ.

සියලූ ආයතන එක්කෝ හීලැ කරමින් නැත්නම් යටපත් කරමින් මතු වෙමින් තිබෙන්නේ එකකි. ඒ විධායකය යි.

එය දැන් සර්වබලධාරී ය.

දැන් අපට කරන්නට ඉතිරිව ඇත්තේ එකත්පස්ව වැඳ ගැනීමට සූදානම් වීම ය.

කන්නට හා බොන්නට පමණක් කට ඇරීම

මිනිස්සු එක්කෝ යුද ජයග‍්‍රහණ ගැන කතා කරති. නැත්නම් කිසිත් කතා නොකර මුණිවත රකිති.

ඒ යුද කතා මෙන්ම මේ නිශ්ශබ්දතාවය ද හිතට බරකි.

කතා කළ මිනිසුන් නිහඩ කර ඇති නිසා කතා කිරීමෙන් වන්නේ ඒ ගොඩට තමනුත් එකතුවීම පමණකැයි එකෙකු සිතයි. අනෙකා සිතන්නේ මිනිසුන් මත්ව සිටින මේ වෙලාවේ ඔවුන්ට කතා කිරිමෙන් පලක් නොවන බව යි.

කන්නට හා බොන්නට පමණක් කට ඇරීම සෑහේ යැයි සමහරු කියති.

සමහරු කියන්නේ කන්න දෙනව නම් අපට බොන්න දෙනව නම් මොන කෙංගෙඩිය ද තව  ඕන කරන්නේ කියා ය.

රජවාසලට ආරාධනා ලද විගස දුවන්නට ලෑස්ති වී සිටින මාධ්‍ය වේදීන්ට ද නීති වේදින්ට ද ඇත්තටම තම මිය ගිය සගයා ගැන පිළිවිසීමට අමතක වූයේ මෙහි අතුරු කතාවක් ලෙස ය.

නිශ්ශබ්දතාවය භාවිතයට ගත හැකි හොඳ අවියකි. එය අවිහිංසාව මෙන්ම ප‍්‍රබල එකකි. එහෙත් නිසි තැන නිසි විදිහට භාවිතාකරන්නේ නම් ය.

ඇත්තටම මේ රටේ සිදුවන දේ සම්බන්ධයෙන් සංවේදනයක් ඇති පත්තර මිත්තරයන්ගෙන් හා නීතිඥයින්ගෙන් මා ඇසීමට කැමති මේ සිදුවන දේ කරන්නේ කවරෙකු වුවද සතියක් නිශ්ශබ්දව සිට ඊට විරුද්ධත්වය පළ කරන්නට තීරණය නොකරන්නේ ඇයි ද කියා ය.

මියගිය තැනැත්තවුන්ට හා පහර කෑ තැනැත්තන්ට තමන් නිකරුණේ හිරිහැර නොවින්ද බවවත් පසක් කිරීම ඔබේ යුතුකම නොවන්නේ ද?

ඒ සඳහා වෙනදා කරනවාක් මෙන් ලිප්ටන් වටරවුමේ කෑගහනවා වෙනුවට ගෙවල්වලට වි සිට නිශ්ශබ්දතාවය පළ කරන්නට ඔබට බැරි ද? නිශ්භබ්දතාවය බරක් මෙන් හැගෙන විට එය බලවත්ව නැගී සිටිනු ඇත. අද අවශ්‍යව ඇත්තේ විරුද්ධවීම හා හෙලා දැකීම සඳහා අලූත් ක‍්‍රම සොයා යාම ය.

ඒවා හිංසනයේ භයංකරත්වය පසක් කරන ක‍්‍රම විය යුතු ය. අහිංසාවේ නිර්මල හඩ ඒ තුලින් ප‍්‍රකට විය යුත්තේ ය.

දකුණේ ජනතාවට පිරිනැමීමට ආණ්ඩුව අසමත්ව ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය උතුරේ ජනතාවට ලබා දීම

දකුණේ ජනතාවට පිරිනැමීමට ආණ්ඩුව අසමත්ව ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය උතුරේ ජනතාවට ලබා දෙනු ඇතැයි සිතන බුද්ධිමතුන්ගෙන් රටට අඩුවක් නැත.

 

මෙයින් සමහරු මේ බව විශ්වාස කරන බව අගවන්නේ බොරුවට ය. ඔවුහු එසේ නොවෙන බව සැබෑ ලෙසම දනිති.

 

සමහරු ඇත්තටම මෙය විශ්වාස කරති. අප මේ ප‍්‍රශ්න නගන්නේ දෙවැනි කාණ්ඩයට අයත් අයගෙනි.

 

මහ දවල් මාධ්‍යවේදීන් ඝාතනය කරන තමන්ට කුඩා හෝ විවේචනයක් එල්ල කරන අය පවා බිලිගන්නා ආණ්ඩුවකත් ඊට සමාන දේ කරන ත‍්‍රස්තවාදී කණ්ඩායමකත් අතර වෙනස කුමක් දැයි අපට පහදා දීමට ඔවුන්ට හැකි ද?

 

බසයකට බෝම්බයක් තැබීමෙන් පරලොව යැවීමත් ඔලූවට එල්ල කල පිස්තෝලයකින් නැතිනම් ශරීරයට බස්සන පිහියකින් පරලොව යැවීමත් අතර වෙනසක් තිබේ දැයි පැහැදිලි කර දීමට ඔවුන්ට හැකි ද?

 

කොටි ප‍්‍රහාරයකින් මිය යාමට වඩා දකුණේ ත‍්‍රස්තයන් අතින් මියයාමට සිදුවීම සනීපදායකදැයි පහදා දීමට ඔවුන්ට හැකි ද?

 

මාධ්‍යවේදීන් යනු සිවිල් ජනතාව නොවේ යයි කියා මෙයින් මගහරින්නට ඔබට පුලූවන (අපට අසන්නට ඇත්තේ මාධ්‍යවේදීනුත් ආයුධ ගෙන සිටිනවාද යන්න පමණක්ම නොවේ).

 

එසේ ප‍්‍රශ්න කරන අයට නැවත නැවතත් මතක් කළ දිය යුත්තේ පහත දක්වා ඇති ලෙසට සංශෝධනය කරන ලද නිමිලර් ගේ කවිය පමණකි.

 දෙමලූන් මරද්දී මා දෙමලකු නොවන නිසා නිශ්ශබ්දව සිටියෙමි

දේශපාලනඥයින් මරද්දී මා දේශපාලනඥයෙකු නොවන නිසා නිශ්ශබ්දව සිටියෙමි

මාධ්‍යවේදීන් මරද්දී මා මාධ්‍යවේදියෙකු නොවන නිසා නිශ්ශබ්දව සිටියෙමි

……….

මා මැරීමට පැමිණි කල මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකු සිටියේ නැත.

 

ත‍්‍රස්තවාදයේ පිළිසරණ පතන්නේ කවුරුන් වුව ද ඔවුන්ට ජනතාවට ලබා දිය හැක්කේ මරණය පමණකි.

 

 

 

 

 

 

 

 

වසර 25 කට පසු අපි නැවතත් පූර්ව 1983 ට පැමිණෙමින් සිටින්නෙමු

මිනිසුන් මත් කරන දෑ බොහෝ ය. මද්‍යසාර ඉන් එකකි. ආදරය තව එකකි. යම් මතවාදයකට ඇති ඇලීම තව එකකි. ජයග‍්‍රහණය තව එකකි.

මත්වූ කල දැනෙන්නේ අමුතුම ප‍්‍රීතියකි.

එහෙත් මත්වීම නිසා බොහෝ දේ නොපෙනී යයි. මිතුරා සතුරා අතර වෙනස පවා අඳුනා ගැනීමට නොහැකි වෙයි.

මත අවසන්ව පියවි සිහියට එළඹි කල අප නටා ඇති නාඩගමේ දිග පළල පෙනෙන්නට පටන් ගනී.

දැන් අප ඉන්නේ එවැනි මත්වීමක ය. මේ මත ඉක්මණින් අවසන්වීමට නියමිත ය. එදාට මහපොළොවේ යථාර්තය අපට අභිමුඛ වනු ඇත. අප නැටූ නාඩගමේ දිග පළල අපට පෙනෙනු ඇත.

එය මට පෙනෙන්නේ මෙසේ ය.

වසර විසිපහක යුද්ධයකින් දෙපැත්තකින් බැට කනු ලැබූ කළඹනු ලැබූ අවතැන් කරනු ලැබූ අත් පා පමණක් නොව සිය සහෘදයින් ද අහිමි කරනු ලැබු පරදවනු ලැබූ අනාගතය කුමක් වේදැයි නොදන්නා ජාතියක් අපගේ අල්ලපු වැටේ ඉඳිනු ඇත. ඔවුන්ට අනුකම්පාව යැදීමට හැර වෙනත් විකල්පයක් අප විසින් ඉතිරි කර නැත. ඔවුන් විසින් මේ ඉරණමට කෙසේ ප‍්‍රතිචාර දක්වනු ඇත් දැයි අපි නොදනිමු. ඔවුන්ගේ ප‍්‍රතිචාරය බලය යොදා සීමා කිරීමේ සියලූ ශක්තිය දැන් අප සතුව ඇති බැවින් ඒ ගැන සැළකිලිමත් විය යුතු නැතැයි කෙනෙකුට කියන්නට ද පුලූවන. ඇත්තටම එසේ කියන බොහෝ දෙනා අපට මේ යථාර්ථයේ දී හමුවනු ඇත.

වසර 25 ට පසු අපි 1983 ට කලින් හිටි තැනට දැන් අපි පැමිණ ඇත්තෙමු. එය ජයග‍්‍රහණයක් ලෙස සමරන්නට වටිනවා නම් සැමරුවාට වැරැද්දක් නැත. 1983 කලින් ලොකුවට කොටියෙක් හිටියේ නැත. දැන් වසර 25 කට පසු එහෙමට කොටියෙක් නැතැයි පාරම්බාන්නට අපට පුලූවන.

මේ පරදවනු ලැබූ ජනයාට 1983 කලින් යම් ප‍්‍රශ්නයක් තිබුනා නම් එය කොටියා ඇතිවීමට හේතු භූත වූවා නම් මේ වන විට එහි වෙනසක් සිදුවී ද නැත.

ජයග‍්‍රාහකයාගේ අනාගතය සැබෑ ලෙස තීන්දු කරනු ඇත්තේ ලද ජයග‍්‍රහණය විසින් නොවේ. ඒ සම්බන්ධයෙන් පරාජිතයා දක්වන දිගුකාලීන ප‍්‍රතිචාරය විසිනි.

එය එසේ වන්නේ අප දිනමින් ඇත්තේ ක‍්‍රිකට් තරගයක් නොවන බැවිනි.

If you put a chain around the neck of a slave the other end fastens itself around your own.

Ralph Waldo Emerson

ජය දද නංවා…හා හා හා!…මූ දේවිය කැන්දා …හා හා හා!

ජය ගත්තා අපි උතුර
උංඩවලින් හිල් හැදුණු
වහලවල් කඩා දැමුණු
බාග බිත්ති ඇති ගෙවල්
පසු කර ගියා අපි
දිනූ ජය බිම දිගේ

නැත මිනිස් පුලූටක්
දමා ගිය බලූනට්ටෙක් මිස

පාලූවී ගිය නගර
අතැර දැමු පැල්පත්
බාගෙට දැවුණු ගස්වැල්
හරිම පාලූයි වටේ

…………….

ජය දද නංවා!
හා හා හා!
මූ දේවිය කැන්දා!
හා හා හා!

……..

ඊයේ සටනින්
ඇද වැටුණු සිරුරු මතින්
පැනලා ආවෙමු
හැර දමා මිතුරන්
උන් මිය ගිහිල්ලා
ඇහෙන එකක් නෑ උන් හඩ
… නැවත වතාවක්
නැහැ ඒ පිය තෙපුල් කිසිවක්

තවමත් පාලූව කපන්නේ
ඈත ඇසෙන වෙඩි හඩමයි
නැතිනම් දැනෙන්නේ
ජීවිතය නැවතිලා වගේ

හෙට?
කවුරු දනීද
අද දිවිගෙවනු වෙනුවෙන් අමතක කළා හෙට

රට්ටුන්ට උන්මාදය ගෙනෙන්න
අපි යනවා තව වටයක්
පාලූ ගෙවල් අල්ලන්නට පාලූ නගර හොල්ලන්නට
ගස් අතුකොළ පුච්චන්නට

හිටියොත් පණ පිටින්
හෙටත් එන්නම්
දුක කියා යන්නට

……..

ජය දද නංවා!
හා හා හා!
මූ දේවිය කැන්දා!
හා හා හා!

අනේ පවු! ආණ්ඩුවට….

ඇත්තටම මට නම් ආණ්ඩුව ගැන පවු කියා හිතෙන්නේ ය. හේතු එකින් එක මෙසේ විස්තර කරමු.

1. මෙච්චර දුර්වල විරුද්ධ පක්ෂයක් තිබියදීත්, ඉන්දියාව ඇතුලූ මුලූලෝකයම යුද්ධයේ ජය පතා ආණ්ඩුව පිටුපස සිටියදීත්, කැඳවු සැනින් රජගෙදරට යාමට සූදානමින් සිටින ජනමාධ්‍යවේදීන් නීතිවේදීන් ඇතුලු වෘත්තීයවේදීන් රාශියක් සිටියදීත්, හැම විටම තමන්ට විරුද්ධව කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙතැයි යන බියෙන් දවස ගෙවීමට ආණ්ඩුවට සිදුවිම සම්බන්ධව ය.

2. මාධ්‍ය ආයතන තමන්ටම ගිනි තබා ගනිද්දීත් මාධ්‍යවේදීන් තමන්ට වෙඩි තියා ගනිද්දීත් ඒ ගැන ආණ්ඩුවටම දොස් කියන මිනිසුන් තවමත් සිටීම සම්බන්ධව ය.

3. මෙච්චර දුර්වල විරුද්ධ පක්ෂයක් සිටිද්දීත් ආණ්ඩුව අපහාසයට පත් කිරීමේ අභිලාෂයෙන් බොහෝ දේ නීතියේ රැහැනට අසුනොවී කරන්නට හැකියාව උන්ට ඉතිරව තිබීම සම්බන්ධව ය.

4. ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට විරුද්ධ පාක්ෂිකයින් මේ සියල්ල කරන බව සක් සුදක් සේ දැනගනත් එය ඔප්පු කිරීමට ආණ්ඩුවට තවමත් බැරිවීම සම්බන්ධව ය.

5. තමන් නොමග නොයවන ලෙස මේවා පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසීයට අවවාද කිරීමට ඉදිරිපත් වන අධිකරණයක් තවමත් සිටීම සම්බන්ධව ය.

6. නීතිය හා රජය බල්ලාට දාමින් මුලූ පද්ධතියම හෑල්ලූවට ලක් කරමින් විරුද්ධ පාක්ෂිකයින් විසින් මේ කරගෙන යන කටයුත්ත මෙච්චර පොලිස් නිලධාරී සංඛ්‍යාවයක් මෙච්චර මුර කපොලූ සංඛ්‍යාවක් මෙච්චර රාජ්‍ය යන්ත‍්‍රයක් තබා ගෙන වත් තවමත් පාලනය කරන්නට අසමත් වීම සම්බන්ධව ය.

අනේ පවු! ආණ්ඩුවට….

« Previous entries