Archive for November, 2008

ප‍්‍රවෘත්තිවලට ආණ්ඩුවේ සරණයි

මඩකලපුවෙන් මෑතක දී මිනීමැරුම් ගණනක් වාර්ථා විය. මේ ගැන (නොවැ 28 දා) සිය උදෑසන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් කරුණු ඉදිරිපත් කළ නෙත් එෆ් එම් ගුවන් විදුලිය ඊට පසු ප‍්‍රකාශ කර සිටියේ මේ මිනීමැරුම්වලට නාඳුනන තුවක්කුකරුවන් වගකිව යුතු බවට තොරතුරු ලැබී ඇති බවයි.

බඩ අල්ලා ගෙන සිනාසිය යුතු විහිලූවක් වුව ද මෙය විහිලූවක් නොවේ. සැබෑවක් ය.

මේ සම්බන්ධයෙන් කොටි වගකිව යුතු යයි ප‍්‍රකාශ කිරීමේ අපහසුවක් තිබේ. නැගෙනහිර දැන් කොටින්ගෙන් මුදාගෙන ඇති බැවිනි. මේ සම්බන්ධයෙන් ටීඑම්වීපිය වගකිව යුතු යයි කියන්නට ද බැරිය. ඒ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක් වී ඇති බැවිනි.

ඒ නිසා නිවැරදි ප‍්‍රවෘත්තිය විය යුත්තේ මෙය නාඳුනන තුවක්කුකරුවාගේ වැඩක් බව ය.

මේ නාඳුනන තුවක්කුකරු හඳුනාගනු පිණිස ඔහුගේ හැඩ රුව කිව හැකි කෙනෙකු  ඕනෑකර තිබේ.

ප‍්‍රවෘත්තිවලට ආණ්ඩුවේ සරණයි.

කුණු බ්ලොග් වලට හොට දැමීමේ කැත පුරුද්ද

අපගේ හිතවත් විවේචකයින් තමන් පිළිබඳවම කම්පාවට පත්ව ඇති එකම හේතුව මේ කැත පුරුද්දෙන් ගැලවීමට ඔවුන්ට නොහැකි වීම ය. මා ද පාපෝච්චාරණයක් කරන්නේ නම් ඒ කැත පුරුද්ද මට ද ඇති බව පිළිගන්නට සිදුවේ.

අප කඳවුරු දෙකක සිටිතත් අඩුවශයෙන් එක කාරණයක් සම්බන්ධයෙන් පොදු ලක්ෂණ පෙන්නුම් කරන බව එයින් පෙනේ.

මේ ගැන කලබල විය යුතු නැතැයි යන්න මගේ විශ්වාසයයි. බොහෝ දෙනෙකුට රටට වෙන්නේ කුමක් දැයි හැඟීමක් දැනීමක් නැත. ඔවුහු ඔවුන් වටා සිදුවෙමින් තිබෙන සියල්ලට අසංවේදී ය. ඒ අතින් මා පමණක් නොව ඔබ ද ලැබෙන දෙයකින් සප්පායම් වී හොඳට නිදාගෙන ඔහේ ලැබුණු දිවිය ගෙවන්නට සූදානම් නැති ගොඩට වැටේ. ඒ අර්ථයෙන් අප දෙපිරිසිටම ආඩම්බර විය හැකි පොදු යමක් තිබේ.

මගේ මතය වෙනුවෙන් පෙනී සිටින අතරතුරම මා ඔබේ මතයට ගරු කරන්නේ ද එය දැරීමට ඔබට ඇති අයිතියට ගරු කරන්නේ ද ඒ හේතුවෙනි.

ඒ නිසා කුණු බ්ලොග්වලට හොට දැමීමේ කැත පුරුද්ද මම අත නොහරිමි. ඔබට ද එය අත හැරීමට බැරි බව මම දනිමි.

කුණු බ්ලොග්වලට හොට දැමීමේ කැත පුරුද්ද අත් හරින්නට බැරි අයට ආරාධනයක් කිරීමට කැමැත්තෙමි. කලකට ඉහත මා පළ කළ ආගම යනු (1) හා ආගම යනු (2) බ්ලොග් සටහන්වලට ද හොට දමා බලන ලෙස ය. කුණු ගොඩට එකතු කරගැන්මට කුණු ගොඩක්ම එහි ඇති බැවිනි.

වල්පොල රාහුල හිමිගේ “කොටි” කතාව

1981 වර්ෂයේ කැළණි සරසවියේ
උපාධි ප‍්‍රදානෝත්සවයේදී වල්පොල රාහුල හිමියන් කළ කථාව

දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද! ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද?  අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ.  එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශ්‍රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ.

ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හො වෙනත් තැනක උත්්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත.  මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමඟ ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ.  අනෙක් ඒවාට වඩා ඒවා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ.  ඒ සියල්ල අහම්බෙන් ලැබෙන දේය.

එසේ වුවද, පුද්ගලයෙකු සිය ආත්මය පිළිබඳ හැඟීම සිය ආත්මාර්ථකාමී මමත්වය – හේතුකොට ගෙන  හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන අතර ඒවා තමාට ඉතාම සුදුසු යයි හැඟුන නිසා තෝරාගත් බවක් අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරයි.  ඔහු ඒවා සමඟ වෙන් කළ නෙැහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි.  ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක්, අසරණ බවක්, ඔහුට දැනේ.  ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය වනු පිණිස, වෙනකක් තබා තමා වැදගත් බව හඟවනු පිණිස, ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහලට ඔසවා තබන්නට, වන්දනා මාන කිරීමට, ඔහු උනන්දු වෙයි.

කිසියම් කෙනෙකු සභාවක නැගිට ” මා ශෙ‍්‍ර්ෂ්ඨයි විශිෂ්ඨයි උතුම්යයි” කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත.  එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි ( එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි) කියා සිටින්නේ නම් ජාතිපේ‍්‍රමියෙකු ලෙස හෝ දේශපේ‍්‍රමියෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත.  මෙවැනි දේශකයින්ගේ පටු බව හා ලඝු බව දේශපේ‍්‍රමයේ හෝ ජාතිපේ‍්‍රමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක.

18 වැනි සියවසට අයිති ශෙ‍්‍ර්ෂ්ඨ  ඉංග‍්‍රීසි ලේඛකයෙකු වූ ආචාර්ය ජොන්සන් ට එවැනි පුද්ගලයින් වහ කදුරු මෙන් තිත්ත විය.  ඔහු නිතර  මේ කුහක භාවය මනසින් ඉවත් කර ගැනීමේ අවශ්‍යතතාවය ගැන කථා කළේය.  වරෙක බොස්වේල් ඇමතූ ඔහු ඔබේ මනස කුහක බවින් මුදා ගන්නැයි කීවේය.  ඔහුගේ සමකාලීනකයෙකු වූ ජෝන් විල්ක්ස්, කාන්තාවන්ට ගර්හා කරන ලියවිල්ලක් ලිවීම ගැන සිරගෙට නියම විය.  ඉතාම උද්යෝගයෙන් ජාතික හා දේශපේ‍්‍රමී හැඟීම් අවුලවමින් පස් වතාවක් ඡන්දය දිනා ගත් නමුත් සිපිරිගෙට නියම වීම නිසා ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට බැරි වූ විට ආචාර්ය ජොන්සන් කියා සිටියේ දේශපේ‍්‍රමය තක්කඩියෙකුගේ අවසාන රැකවරණය බවයි.

ජොන්සන්ගේ කාලයේ සිටම එන දේශපාලනඥයින් සම්බන්ධයෙන් මෙය සත්‍ය වේ.  කිසිවෙකු තක්කඩියෙකු වේ නම් ඔහුගේ මුල්ම යොමුව වන්නේ තම ක‍්‍රියාවන් සාධාරණකරණය කරනු සඳහා ජාතිපේ‍්‍රමයේ සහය පැතීමය.

ශ‍්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි.

“සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි”  රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත්  බව පෙන්වන්නට. සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ෂණීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙභෙයවා ඇත.

කිසියම් පුද්ගලයෙකු තම රට ජාතිය හෝ ආගම නොසළකා අමතක කොට ජීවත්විය යුතු යයි කිසිවෙකු යෝජනා නොකරනු ඇත.  දේශපේ‍්‍රමය ජාතිපේ‍්‍රමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නොවැටභෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමය.

දේශපේ‍්‍රමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමය.  ජාතිපේ‍්‍රමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය.  එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත.  ඒ දෙකම යහපත්ය.  එභෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ඉක්මනින්ම අනෙක් ජාතියට එරෙහි වීමට පෙරලෙයි.  තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය.  ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප‍්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය.  අනෙකාගේ රට ජාතියට ගෞරව නොකරන, ආදරය නොකරන, කෙනෙකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේද නැත.

බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිදුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන.  ලෝක සත්වයාට මෛත‍්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත‍්‍රිය පැතිරවීමෙනි.  තමාට මෛත‍්‍රිය කිරීම සඳහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ.  තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත‍්‍රිය කරන කෙනෙකු සියළු ආකාරයේ නරක ක‍්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි.  එවිට අපට අප සමඟ හෝ සමාජය සමඟ ගැටුමක් ඇති නොවේ.  අප අවට ලෝකය සමඟ සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට එයින් අපි වරම් ලබමු.  ඊළඟ පියවර වන්නේ තමන්ට ඉතාම ළඟින් නුදුරින් සිටින අයට මෙත් සිත් පැතිරවීමය.  තෙවැනි පියවර වන්නේ තමා සමඟ සබඳකම් පවත්වන අයට මෛත‍්‍රිය කිරීමයි.  සිව්වෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සතුරන්ටද මෛත‍්‍රිය පැතිරවීමය.  මෙය දුෂ්කර වුවද මෛත‍්‍රිය වැඩීම තුළ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි.  මෙසේ මෛත‍්‍රිය හුරු කළ විට තමන් හා තමන්ගේ කිට්ටුවන්තයන් අතරද තමන් හා තමන් සබඳකම් පවත්වන්නන් අතරද තමන් හා හතුරන්  අතරද වෙනස තුනීව යයි.  නැතිව යයි.  මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ.  මෙය මිනිසුන් තුළ ගොඩ නඟා ගත හැකි අපූර්ව තත්වයකි.
දේශපේ‍්‍රමයට  හා ජාතිපේ‍්‍රමයට මෙසේ සියළු ජාතීන් හා දේශයන් එක්ව පෙමකින් වෙලන්නට හැකිවේද?  සමහර විට මහත්මා ගාන්ධි එසේත් නැත්නම් ශ‍්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි වැනි දේශපේ‍්‍රමීහු හා ජාතිපේ‍්‍රමීහු  ජාතියට සංස්කෘතියට හා දේශයට ආදරය කරමින් සෙසු ජාතීන්ට සංස්කෘතීන්ට දේශයන්ටද පේ‍්‍රම කළහ.

මේ සඳහා කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි මනසක් තිබිය යුතුය.  මේ හැම විටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇලවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිෂ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය.  එසේ කළ විට අනවරතව ගලා යන සමස්ථ ජීවිතය අපගේ සිත තුළ චිත‍්‍රණය නොවෙයි. වර්ගීකරණය යනු කෑලිවලට වෙන් කර තනි තනිවම ඒවා විමසීමය.  ඒ තුළ සමස්ථය දැකිය නොහැකිවේ.  වර්ගීකරණය තුල කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍යය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණීයත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන්ද එකසේ අදාළය.

සියළුම ආගම් පිළිබඳ ප‍්‍රවේසමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශෙ‍්‍ර්ෂ්ඨ යයි තේරුම් ගෙන ඒ ආගම වැළඳගත් අය ලෝකය තුළ සිටී නම් ඒ අල්ප වශයෙනි.  එභෙත්  බහුතරයක් අපි උපතින් උරුම වූ ආගම තුළම රැදී සිටිමු.  මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක්ම සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද?  මීටත් වඩා පටු වූද බාලවූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද?  මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගම බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද?  මා ක‍්‍රිස්තියානි කාරයෙක්ව උත්පත්තිය ලැබුවේ නම් ක‍්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියළු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද?  තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇතිකර ගැනීම එකකි.  එය යහපත් එකක් වන්නටද පුළුවන.  එභෙත් මගේ ආගමට ඇති භක්තියෙන් අන්ධවී මා විසින් සෙසු ආගම් ගර්හාවට ලක් නොකල යුතුය.

මේ සම්බන්ධයෙන් කිව යුතු තවද කරුණක් ඇත.  අවිචාර බුද්ධියෙන් යුතුව  ඡාතික හා ආගමික මතයක එල්බගෙන සිටීම තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජයීය  මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියළු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැදී ඇලී සිටින තැනැත්තේ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.

එවැනි අන්ධ මතවාදයන් දැරීම පිළිබඳ බුදුන්ගේ වචනය ඉතා පැැදිලිය. කිසියම් මතවාදයකට ඇලි ගැලී සිටිමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්හා කිරීමත් පහත් ක‍්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දැ සලකන්නේ විලංගු ලෙසය. (සූත්ත නිපාත – 798 පැදිය) ඒ අර්ථයෙන් ගත් කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ දමා තිබේ.

මෙයින් අදහස් කරන්නේ අරාජිකත්වය හෝ ව්‍යාකූලත්වය අනුයන බව නොවේ. අපම සාදාගත් පටු දෘෂ්ඨියෙන් මිදී, අපේම සිතින් මවාගත් මන:කල්පිතයන්ට නොබැඳි, නිදහසේ යමක් එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට ඒ උපදෙස් අපට ආරාධනා කරනවා පමණකි. යමක් එහි සැබෑ ස්වරූපයෙන් දැකීමෙන් ව්‍යාකූලත්වයක් හෝ අරාජිකත්වයක් ඇති නොවේ. එයින් පිළිවෙලද, විනයද -  සහජීවනය හා සාමයද – ඇති වේ. අපි යථාර්ථයට මුහුණදීමට ඇති බිය නිසාම අපේ ඇස් වසා ගනිමු.  අප කැමත, යමක් අපට ඔනෑ අකාරයට දකින්නට මිස, එය තිබෙන සැබෑ ස්වරූපයෙන් දක්නට නොවේ.

ඒ නිසාම වසර ගණනාවක පුහුණුවකින් පසු සරසවිය  හැර යන තරුණ ඔබ සියල්ල පරීක්ෂා කළ යුතුය.  ඔබේ දැනුම සියල්ල  එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට භාවිතා කළ යුතුය.  මා කියන දෙය හෝ වෙනත් කිසිවෙකු කියන දෙය හෝ ඔබ පිළිගත යුතු නැත.  එය අධිකාරිත්වය දරණ අයගේ හඬ නිසාම ඔබ පිළිගත යුතු වන්නේ නැත.  යම් කෙනෙකු තමන්ගේ හැකියාවේ උපරිම මට්ටමෙන් හා තම දැනුමේ උපරිම මට්ටමෙන් යම් කිසිවක් විමසා බලා පිරිසිඳ දකින්නේ නැතිව පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදා සාධාරණ හේතුවක් දිය නොහැකිය.

ඔබේ වෘත්තීය ජීවිතය තරුණ ඔබටද එපමණක් නොව සමාජයේ යහපත පතන ඒ වෙනුවෙන් කැප වී ඇති සියල්ලන්ටමද ප‍්‍රයෝජනවත් හා තෘප්තිකර එකක් වනු ඇතැයි මේ උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වන සියල්ලන් පතන බවට මට උදක්ම  විශ්වාසය.

(මා කොටියෙකු ලෙස ගැරහුම් ලැබුයේ වල්පොල රාහුල හිමියන් වැන්නවුන්ට සවන් දීමේ පාපයට ය. මෙවැනි උතුමන් ඇසුරු නොකරන්නට මටත් කොටියෙකු නොවී හරකෙකු ලෙස කල් ගෙවන්නට ඉඩ තිබුනා නොවේ දැයි සිතෙන වාර ද බොහෝ ය.)

හොරෙන් නොව එළිපිට ඉගෙනීම සඳහා ඉංග‍්‍රීසිය ජනතාවට පැවරීම

ඉංග‍්‍රීසිය පැවතුනේ වරප‍්‍රසාදලත් පන්තියේ සංකේතය ලෙස ය. එය ඉංග‍්‍රීීසි නොදත් ජනතාවට එරෙහිව ඔවුන් දෙකේ කොළයට දැමීම සඳහා ද පීචං කිරීම සඳහා ද භාවිතා කරනු ලැබිණි.

ඒ නිසාම ඉංගී‍්‍රසිය නිසා පීඩනයට පත් අය විසින් ඉංග‍්‍රීසිය අමතර වශයෙන් සළකන ලද්දේ පීඩනයේ සංකේතය ද ලෙස ය.

ඒ නිසාම ඉංග‍්‍රීසියට එරෙහිව කඳවුරු බැඳීම තුළ පීඩනයට එරෙහි වීමේ සාධනීය ගුණාංගය ද ගැබ්විණි. එහිම අතුරු ඵලයක් ලෙස සිංහල අති උත්කර්ෂවයට ද පත් කරන ලද්දේ ය. නිදහසින් පසු සුද්දාගේ උරුමය ලබා ගත් කලූ සුද්දාගේ භාෂාවට එරෙහිව දේශයේ උරුමය ඇති සිංහලයේ භාෂාව මෙහෙයවන ලද්දේ ය.

ඒ තුළ සිංහල පමණක් දත් බොහෝ පිරිසකට ඉදිරියට ඒමට දොර විවෘත වූ බව ද සැබෑ ය.

මේ බෙදුම් රේඛාව තව දුරටත් අදාළ වන්නේ ද? මේ තුළ පරාජය ලබමින් සිටින්නේ කවුද? ගෝලීයකරණය වූ ලෝකයක මෙහි ප‍්‍රතිවිපාක විඳීමට සිදුව ඇත්තේ කාට ද?

ඉංග‍්‍රීසිය පිළිබඳ ඉතිහාසය හා බැඳුනු කතාව වත්මන් සන්දර්භය තුළ වෙනස් කළ යුතු නැත් ද? ඉංග‍්‍රීසිය ලෝකය දැකිය හැකි කවුලූවක් ලෙස අලූත් සොයාගැනීම් ගැන දැන ගත හැකි මාධ්‍යයක් ලෙස භාණ්ඩ අලෙවිකරගත හැකි ප‍්‍රවේශයක් ලෙස ඉගෙනුම සඳහා නැතිවම බැරි භාෂාවක් ලෙස නැවත භෞතීස්ම කරන්නට නොහැක්කේ ද?

ඉංගී‍්‍රසිය ඉගෙනුමට අමාරු භාෂාවක් ලෙස නම් දරා සිටින්නේ එය ඉගෙනීමට භාවිතා කරන ක‍්‍රම වේදය නිසා ය. අප සිංහල ඉගෙනගත්තේ වරද්ද වරද්දා කීම හරහා ය. එහෙත් ඉංගී‍්‍රසිය අද උගන්වන්නේ නොවරද්දා කීම ටය. නොවරද්දා කියන්නට නොහැකි නිසා බොහෝ දෙනෙකු කරන්නේ නොකියාම සිටීම ය.

කිසියම් දෙයක් අමතරෙන් ඉගෙනගන්නට සිදුවීම කම්මැලියන්ට නම් සොඳුරු කටයුත්තක් වන්නේ නැත. එහෙත් බොහෝ දෙනා ඉංග‍්‍රීසිය ඉගෙන නොගන්නේ ඒ නිසාම නොව මෙහි ඉහත සඳහන් කළ වෙනත් හේතු නිසා ය.

ඉංග‍්‍රීසිය උඩින් පිටුදකිමින් එය හොරෙන් හොරෙන් ඉගෙන ගන්නා පිරිසක් ද මේ අතර සිටිති. ඔවුන් වැටෙන්නේ දේශීයත්වය ගැන වනමින් විදේශීය බොහෝ දේ පරිභෝජනය කරන්නාවූ ද දරුවන් පිටරට එසේත් නැතිනම් ජාත්‍යන්තර පාසල්වලට යවන්නාවූ ද අපේ දේශයේ බොහෝ නායකයින්ගේ ගොඩට ය.

ඉංග‍්‍රීසිය එළිපිට ඉගෙන ගැනීමට ඒ අයට අවසර දී ඒ අය බලාත්මක කිරීම ජාතියක් ලෙස අප ලොව ඉදිරියට යනු දැකීමට කැමති හැමගේ යුතුකම ය.

ඉංග‍්‍රීසි ඉගෙන ගනිමු. ලෝකය අලූතින් දකිමු.

දමා ගැසිය හැකි අවසන් ආයුධය මුණ ගැසීමේ ප‍්‍රීතිය

බලා සිටියේ මේ මොහොත උදාවන තුරු ය. උඩ පැන ප‍්‍රීතියෙන් කෑගසන්නට අවස්ථාවක් ලැබී තිබේ. අවසානයේ පහර දිය හැකි හොඳම ආයුධය හමු වී ඇති බැවිනි.

සුරංගනා කතාවල පවා වීරයා ප‍්‍රතිවාදීන් පරදවන්නේ ඒ අරුම පුදුම බලගතු අවිය සොයාගැනීමෙන් පසු ය. මේ ප‍්‍රීතිය ඒ වෙනුවෙනි.

ආයුධය සොයාගනු ලැබුවේ  අප විසින් පළ කරන ලද මෙන්න මේ ප‍්‍රතිචාරයෙනි. ඒ නිලන්තට පිළිතුරු වශයෙන් වැහි බිංදු වැස්ස සහ හිල්වහලය නමැති බ්ලොග් සටහනේ අප විසින් පළ කරන්නට යෙදුණු එකකි.

“බොහෝ දෙනෙක් මෙන්ම නිලන්ත ද කරන්නේ හේතුව ඉවත් කරනු වෙනුවට ඵලයට වෙදකම් කිරීම ය. ත‍්‍රස්තවාදය යනු ඵලයයි. හේතුව ඉවත් කළ සඳ ඵලය ද ඉවත් වෙයි. මගේ ”ඵලය වෙනුවට හේතුව පිටතට වෙනුවට ඇතුළතට” යන බ්ලොග් සටහන බලන්න. දෙමළ ජනතාවට තමන්ගේ භූමිය තුළ තමන්ගේ පාලනයක් ගෙන යාමට ඉඩ දෙන්න. එවිට ත‍්‍රස්තවාදයේ ප‍්‍රධාන මූලය අවසන් වේ. එය ලංකාවේ ආරක්ෂක වුවමනාවන් ද සැළකිල්ලට ගනිමින් කළ හැකි කාර්යයකි. මෙසේ ස්වයං පාලනයක් ලෝකයේ ආරම්භ කරන මුල් රට ශි‍්‍ර ලංකාව නොවේ. ඒ රටවලින් අපට ආදර්ශයන් ගත හැකි ය.”

එහි සඳහන් දෙමළ ජනතාවට තමන්ගේ භූමිය තුළ තමන්ගේ පාලනයක් ගෙන යාමට ඉඩ දෙන්න යන වැකිය සෙසු ඒවායින් වෙන්කොට මේ අවසන් ආයුධය නොහොත් ආයුධවලත් ආයුධය හැදීම සඳහා ඔවුන් භාවිතා කර ඇත. වුවමනාවෙන්ම අමතක කළ කාරනා අතර ලංකාවේ ආරක්ෂක වුවමනාවන් ද සැළකිල්ලට ගමින් යන්නද වෙනත් රටවල ආකෘතීන්ගෙන් මේ සඳහා ගුරුහරුකම් ගත හැකි යයි යන්නද වෙයි. ඒවා මග හැරී ගියේ නිකම් නොවේ. කොටියෙකු යයි දැක්වීමට ය. ඒ අවසන් ආයුධය නොහොත් අල්ටිමේට් වෙපන් එක ප‍්‍රතිවාදීන් මෙල්ල කර ගැනීමට ද දග ගෙට යැවීමට ද අවශ්‍ය නම් පරලොව යැවීමට ද භාවිතා කළ හැකි බලසම්පන්න අවියකි. ඉතින් සන්තෝසවීමට කාරණාවක් නොවෙයි ද? නින්දෙන් අප අවදිකරන්නට හදන මේ පාහරයාට දඩුවම් දිය හැකි නම්.

කොටින් කළේද එයයි. තම කඳවුර තුළ සිටි තම මාර්ගයට හිරිහැරයක් විය හැකි යයි සිතූ සියලූ දෙනා දේශද්‍රෝහී ලේබලය අලවා එලොව යැවීම ය. කොටින්ගේ ප‍්‍රතිබිම්බය වූ දකුණේ ජාතිවාදීන්ගෙන් ඊට වඩා වැඩි දෙයක් අපේක්ෂා කිරීම අසාධාරණ ය.

ගමේ වීරයින් හා නගරයේ හාල් පාරුවන්

මාධ්‍ය විසින් ද උඩ ගෙඩි දෙනු ලැබ අප විසින් මෑත කාලයේ හදාගන්නා ලද බෙදුමකි ඒ. මේ බෙදුමට වඩාත් සංවේදී වූ ආයතන අතර ඉතාම තාර්කික විශයයක් පිළිබඳව නම් දරා ඇති ආයතනයක් වූ මොරටු සරසවිය ද කැපී පෙනෙයි. මේ කණ්ඩායම් අතර අවුලූවන ලද ගැටුමෙන් මොරටු සරසවිය මෑත කාලයේ දී බොහෝ වාර ගණනක් වැසුනු අතර දෙපැත්තේම අය තුවාළ සහිතව රෝහල් ගත කිරීමට ද සිදුවිය.

මාකට් කරන්නට හැකි නම්  ඕනෑම මළ ජරාවක් රස කර කර වනන්නට බොහෝ මාධ්‍ය ආයතන පැකිළෙන්නේ නැත. එසේ වනන දෑ රස කර කර වළඳන්නට ජනතාවගෙන් වැඩි දෙනෙක් ද සැදී පැහැදී සිටීම ඔවුන්ට විශාල වාසියක් ව තිබේ. ජනයාට විකිණිය හැකි නම්  ඕනෑම ආකාරයේ බෙදුම් රේඛාවක් මවන්නට ඔවුන් සූදානම් ය.

ගැටලුව එයම නොවේ. මවන්නා වූ මේ බෙදුම් රේඛා ඔස්සේ මිනිසුන් විසින් කඳවුරු බැඳගැනීම ය. මේ කඳවුරු පසු කලක ජීවමාන යතාර්තයන් බවට පත් වී ඒවා අතර ගැටුම අපේ ජීවිතය ඩැහැ ගනී. අනෙකාට කෙළවීම තුළ අපේ ජය සනිටුහන් වෙතැයි අපට සිතෙන්නට පටන් ගන්නේ ඒ අනුවය.

මේ ගැන කතා කරන්නට සිතුනේ නොවැ 23 දින රූපවාහිනියේ ගිය අපේ ගම වැඩසටහන තුළින් නගරයට එරෙහිව ගම ගැන ජේ ආර් පී සූරියප්පෙරුම මහතා පළ කළ අදහස් නිසාවෙනි. වැඩි දෙනෙක් අසන්නට කැමති දෙය කීම නිසා ජනපි‍්‍රය විය හැකි වුවත් එයින් රටට ප‍්‍රයෝජනයක් නම් අත් නොවේ.

බුද්ධාගමේ ද කතෝලික ආගමේ ද කියා විමසන්නේ නැතිව සිංහල ද දෙමළ ද කියා වෙනසක් නැතිව ගොවිගම ද කරාවේ ද කියා සොයන්නේ නැතිව ගමේ ද නගරයේ ද කියා ලේබල් අලවන්නේ නැතිව මිනිසුන් දිහා බලන්නට අප හුරුවන්නේ කවදා ද?

ජනතාවට ඉදිරි දර්ශනයක් සපයනවා වෙනුවට ඔවුන් තුළ ඇති දුර්ගුණාංග හා නොදැනුවත්කම උපයෝගී කරගනිමින් වෙනස්කම් මවා ඒවා ඔවුන්ටම විකුණා මුදල් ගරන්නට ඉදිරිපත් නොවන මාධ්‍ය සම්ප‍්‍රදායක් ගොඩ නැගෙන්නේ කවදා ද? එවැනි දිනයක් උදාකරගැනීම සඳහා පුංචි හෝ තල්ලූවක් අපගේ බ්ලොග් අඩවිවලින් වත් සැපයිය නොහැකි ද? මේ සටහන ලිව්වේ ඒ අරමුණෙනි.

ජාතිය වෙනුවෙන් පැටව් ගැස්සවීම

 

ඉදිරියේ එන අනතුරින් ජාතිය බේරාගැනීම සඳහා වැඩි වැඩියෙන් දරුවන් වැදිය යුතුව ඇතැයි නොවැ 25 පුවත්පතක පළවී තිබිණි. මේ අදහස අද ඊයේ එකක් නොවේ. එය නැවත මෙසේ හිටිහැටියේ කරලියට ආවද මේ තර්කය සෑහෙන පරණ තර්කයකි. ගුණය නොව ප‍්‍රමාණය පිළිබඳ මේ වුවමනාවෙන් පෙන්වන්නේ එක් අතකින් මේ කියන අයගේ මුග්ධ කමය. අනෙත් පැත්තෙන් ඔවුනගේ අලස කම ය.

පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ ණැන දෙකින් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝන අඳුරු
නෙක තරු රැුසින් එලෙසට නොම වේය දුරු

ඒ අපේ පැරැුන්නන් ප‍්‍රමාණය හා ගුණය අතර වෙනස ඇඳින ගත් සැටි ය.

ගණන වැඩිකර ගැනීම ඇත්තටම පහසු ය. ඇත්තේ පැදුර පාගන එක විතර ය. එහෙත් ගුණයෙන් ණැනයෙන් යුත් මිනිසුන් සෑදීම අපහසු ය. ඒ සඳහා අධ්‍යාපනය ලැබිය යුතු ය. ලෝකය ගැන දැන ගත යුතු ය. නානා විධ අත්දැකීම් එක් කර ගත යුතු ය.

ගණන වැඩිකර ගැනීම යන මාවතේ ඇත්තේ සංතුෂ්ඨිය හා ප‍්‍රමෝදය ය. ගුණය වැඩිකර ගැනීමේ මාවතේ ඇත්තේ වෙහෙස හා දහඩිය ය.

ඇමරිකාවේ සුදු ජාතිකයින් ජනගහණයෙන් සියයට හැට හයකි. එහෙත් බැරක් ඔබාමා ගුණයෙන් ජය ගත්තේ ය. ප‍්‍රමාණය ඔහුට බාධාවක් වූයේ නැත.

ප‍්‍රමාණය තමන්ගේ බලය තීන්දු කරන එකම සාධකය ලෙස දකින දුර්වල කම්මැලියෙකු හැම තිස්සේම ගොඩ අඩුවීම ගැන බියකින් පෙළෙයි.

අපේ දරුවන්ට (ඉන්න එකාට හෝ දෙකාට* ශක්තිමත් වන්නට උගන්වමු. දැන උගත් වන්නට උගන්වමු. උගතුන් මැද ශිල්ප දක්වන්නට උගන්වමු.

දක්ෂ මිනිසෙකුට මිනිසුන් ලක්ෂ ගණනක් වුව මෙහෙයවිය හැකිය. ඒ හයිය අපි අපේ දරුවන්ට ලබා දෙමු. ඔබාමා උගැන්වූ අප ඉගෙන ගැනීමට අදිමදි කරන පාඩම එයයි.

ප‍්‍රමාණය වැඩිකරගැනීමේ මාවත වැටී ඇත්තේ ගුණය එපමණට අඩුවීම හරහා ය.

මේ බ්ලොග් අඩවිය වෙන්වන්නේ ලෝකය දෙස බොහෝ දෙනා නොබලන කෝණයකින් බැලීමේ කාර්යයට ය. එයද ණැනයෙන් ගුණයෙන් යුත් දරු පරපුරක් සැදීමට අවශ්‍ය පූර්ව කොන්දේසියක් යයි අප කල්පනා කරන බැවිනි.

වැහි බිංදු වැස්ස හා හිල් වහලය

මේ දවස්වල වැස්ස ය. වැස්ස කරදරයක් වුව ද වැහි බිංදුවක් දෙකක් වැටුනාට අප ගණන් ගන්නේ නැත. පොද වැස්සක් වුව ඉවසන්නට සමහරුන්ට පුලූවන. ඒත් වැස්ස තද වනවිට අපට ආවරණයක් වුවමනා ය. ගෙදර ආවිට වහලය හිල්ව ගෙතුළ ද තෙමෙයි නම් එවිට දෙවියන් සිහිවීම වැළැක්විය නොහැකි ය. එවන් විටෙක අප බොහෝ සෙයින් අසරණ වන්නෙමු. කළකිරෙමු. නොතෙමෙන වහලක් තනන්නට අපි අදිටන් කරගන්නෙමු. වැස්ස තුරල් කල වෙලේ සිට ඒ ගැන වෙහෙසෙමු.

මට මේ සියල්ල මතක් වූයේ අපගේ බ්ලොග් අඩවියට ආ ප‍්‍රතිචාර (විශේෂයෙන් බොරුවට නිදාගන්නවුන් ඇහැරවීම යන සටහනට* පිළිබඳ සිත් යොමු කරමින් සිටින අතරතුරේ කඩා වැටුණු මහ වැස්සකින් ගේ තෙමෙන්නට වීමෙනි.

බල පුලූවන්කාරයා දුර්වලයා පෙලීම හැම තැනකම සිදුවන බවත් දෙමළා පෙළෙන්නේ ද ඒ පොදු සත්තාවයට අනුව බවත් එය හිරිහැර ලබන්නා දෙමළ වීම නිසා නොව හිරිහැරකරන්නාගේ එනම් බලපුලූවන්කාරයින්ගේ පටු මානසිකත්වය නිසා සිදුවන බවත් දෙමලූන් එය එසේ තේරුම්ගත යුතුබවත් ඒ ප‍්‍රතිචාරවල දක්වා තිබිණි.

සින්නතම්බීට හා පියසීලිට වූ දේ ඔවුහුද එසේ සැළකුවා විය හැකි ය. ඒ ගම ද ඇතුළත් කඳුකරය උතුර මෙන් තවමත් ගිනිගත්තේ නැත්තේ එබැවින් විය යුතු ය. සින්නතම්බිලාට පියසීලීලාට ඒවා වතුර බිංදු ය.

එහෙත් ඒ බ්ලොග් සටහනේ සඳහන් කර තිබුණු මුරලිදරන්ට වූ හදිය සම්බන්ධයෙනුත් අපට එසේ සිතිය හැකි ද? මුරලි ජාතික වස්තුවකි. අයියලාගෙන් ටොකු කනු ලැබීමට නියමිතව සිටි පුංචි මල්ලියෙකු නොවේ. එහෙත් හරියට අකුරු කීපයක්වත් ගොනු කර ගැනීමට අසමත් මාධ්‍යවේදී අයියලා මුරලි ෆුට්බෝල් පන්දුවකට ගත්තෝ ය.

අප රටේ බොහෝ මාධ්‍යවේදීන් හය හතර නොදන්නවා වුව ද පොදුවේ මාධ්‍යවේදීන්ට සමාජ බලයක් ඇත. බොහෝ රටවල ඔවුන් සැළකෙන්නනේ ව්‍යවස්ථාදායකය විධාකය අධිකරණය ලගට සිටින හතරවෙනි ආණ්ඩුව හැටියට ය. ඔවුන් මුරලිට කළ අවමානය ලඝු කොට සැළකිය නොහැක්කේ ඒ නිසා ය. දෙමලූන් දෙමලූන් වීම නිසා විඳින්නට වී ඇති අවමානය ඈත කුඩා ගමක නොව ජාතික මට්ටමේ දීම ක‍්‍රියාත්මක වන බව එය අපට කියා දෙයි.

ඒවා තවමත් පොදවැස්සක මට්ටමේන් එහාට ගියේ නැත. මුරලිගේ මුදල් හා සමාජබලය නැමැති කුඩය උස්සා මුරලි ඒ පොදවැස්සෙන් ආරක්ෂා වන්නට ඇත. කමිසය මත රැුඳුනු වැහි බිංදු කීපය මුරලි ගසා දමන්නට ඇත.

එත් යාපනයේ පොලිසිය ඉදිරියෙන් යනවිට බයිසිකලයෙන් බැසයන්නට වීම සමාන කළ හැක්කේ හිල් වූ වහලය සහිත තම ගෙයින් මතු වූ අසරණ භාවයට ය. එය වැහි බිංදුවලින් හෝ පොදවැස්සෙන් බැට කෑමට වඩා දරුණු ය. එලියේ වැටෙන අනෝරා වැස්සට ද වඩා දරුණු ය. එලියේ වැස්සෙන් තෙමීම දරාගත හැකි වුවද ගේ ඇතුළත දී වැස්සෙන් තෙමීම දරා ගත හැක්කක් නොවේ. යාපනය සිද්ධිය කියන්නේ ජාතික මට්ටමේ සිදුවන දේට ද වඩා දරුණු සංසිද්ධීන්වලට තමන් උපන් භූමියේදී තමන්ගේ ගෙදරදී තමන්ට මුහුණ දීමට සිදුව ඇති බව ය. මගේ බ්ලොග් අඩවියට ආ ප‍්‍රතිචාරය සින්නතම්බි ලගින් නතර විය. වැහි බිංදුවලින් එහාට ඒවා ගියේ නැත. අඩුවශයෙන් ඒවා මුරලි ලගටවත් පැමිණියේ නැත.

බයිසිකලය තල්ලූකරගෙන යෑමට සිදුවීමත් මහ කජ්ජක් දැයි කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකි ය. පළමුවෙන් කිව යුත්තේ දකුණේ තරුණයෙකුට සිදුනොවන දෙයක් උතුරේ තරුණයෙකුට සිදුවන විට එය කජ්ජක් වන බව ය. මේ කජ්ජ තවත් බොහෝ කජ්ජවල් ඇති වුන බවට ඉගියක් සපයන බව ය. මරාගෙන මැරෙන්නට මිනිසුන් නිකම්ම පොළඹවන්නට බැරි ය. එය පරම්පරා ගණනාවක් තිස්සේ විඳි දුක් ගැහැට එක් වර උතුරා යාමකි. හරියට කේතලයක වතුර නටනවාක් මෙනි.

කූඹියනේ උඹලාටත් රජෙක් ඇත්තේ
අපට රජෙක් නැත්තේ
ඒ නිසා අපි එක එකාගෙන් පීචං වෙමින් සිටිමු
අපි උපන් දේශය තුළම ආක‍්‍රමණිකයාගෙන් අවමන් ලබන්නෙමු
රජෙක් ලැබුණු දාට
අපි මගුල් කන්නම්
පෙරහැර කරන්නම්
සතොසින් නිදහසින් දිවි ගෙවන්නම්

වැහි දිය බේරෙන වහලෙන් ගේ තෙත බරියන් වී ඇත. වැස්ස තුරල් වනතුරු සිටින්නේ කුමක් හෝ කළ හැකි දැයි බැලීම ටය. වහළය හදාගතහොත් මම ද හෙට මගුල් කන්නෙමි.

වහළය හදාගත හැකි රජෙක් සොයනු පිණිස මම පාරට බැස්සෙමි. රජ කුමාරවරු මැදපෙරදිගට ද කැනඩාවට ද  ඕස්ටේ‍්‍රලියාවට ද ඇමරිකාවට ද යුරෝපයට ද සංක‍්‍රමණය වී ඇත. ඒ නිසා රජ කෙනෙකු ලෙස කවරෙකු හෝ ඔටුනු පළඳා කැන්දාගෙන ආ යුතු ය. හැමදාම වසින වැස්සෙන් මගේ ගේ ඇතුළේම නාගන්නට මට බැරිය.

ප‍්‍රභාකරන් උතුරේ ජනතාවට හමුවන්නේ එසේ රජෙකු සොයමින් සිටින අතරතුරේ විය යුතු ය.

කුණුහරුප පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය ය

මට මෙසේ සිතුනේ මත තරමටම අපගේ ජාතියට මෙය ඇබ්බැහිවෙමින් තිබෙන නිසා ය. ජාතිය පිළිබඳ ඇල්මෙන් කතාවට බහින බොහෝ දෙනෙකුට අවසානයේ සහයට එන්නේ කුණුහරුප පමණක් වීමෙන් මේ ඇබ්බැහියේ තරම පෙනේ.

මතට තිත තියනවාක් මෙන් කුණුහරුපයට තිත තිබ්බොත් ජාති හිතේෂීන් ලෙස තමන් හඳුන්වා ගන්නා බොහෝ දෙනෙකු ගොලූවිය හැකි බව බ්ලොග් අඩවියට ලැබෙන සමහර ප‍්‍රතිචාරවලින් පෙන්නුම් කෙරේ. ඒ නිසාම තරමක අධ්‍යයනයකින් පසු ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තියක් සකස්කර ගැනීම හොඳය.

ජාතිය ගොඩනැගීම සඳහාම ආමාත්‍යවරු හත් අට දෙනෙකු ඉන්නා බැවින් ඔවුන්ට ද කිසියම් ප‍්‍රයෝජනවත් කාර්යයක නියැලීමට ඉඩක් ලැබෙන බැවින් ද ඔවුන්ගෙන් සමන්විත කමිටුවකට මේ කාර්යය බාර කළ හැකි ය.

කුණුහරුප බ්ලොග් අඩවියක සටහන් වනවිට සිගරැුට් මත් පැන්වලට මෙන් කොටු දැමිය යුතු ද? කුණුහරුප සියල්ල තහනම් කළ යුතු ද? කුණුහරුප කීමේ අයිතිය සීමිත පිරිසකට ලබා දිය යුතු ද? යන මෙකී නොකී ප‍්‍රශ්න ඔවුනට සාකච්ඡුා කළ හැකි ය. අවශ්‍ය නම් අන් හැම දෙයටම කරණවාක් මෙන් ජනාධිපති උපදේශනයක් ලබා ගත්තාට ද කමක් නැත.

කුණුහරුප පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සකසන තුරු මේ බ්ලොග් අඩවිය තුළ ඒවා පළ කිරීමෙන් වැළකීමට අකමැත්තෙන් වුව ද තීරණය කිරීමට සිදුවී ඇත. විශේෂයෙන් මේ බ්ලොග් අඩවියට ප‍්‍රවිශ්ඨ වෙන ශිෂ්ඨ මිනිසුන්ගේ කාරුණික ඉල්ලීමට පිළිතුරු වශයෙනි.

කුණුහරුපවලින් තොර සියලූ විවේචන කොතරම් කර්කෂ වුවද පුරුදු පරිදි මේ බ්ලොග් අඩවිය තුළ පළ කිරීමට කටයුතු කරන බවට අප විවේචනය කරන හා නොකරන අපගේ පාඨකයින් වෙත සහතික වෙමු.

ඉරුවා රුදාව පැනඩෝල් හා රෝග මූලය

මම ද එල්ටීටීයෙන් බැට කන දකුණේ වැසියෙක්මි. එල්ටීටී ත‍්‍රස්තවාදය අවසන් වනු දැකීමට මම සියයට දෙසියයක් කැමැත්තෙමි.

ඔලූව රුදාවෙන් පෙළෙන කෙනෙකුට එයින් මිදීමට පැනඩෝල් ගත හැකි ය. එහෙත් ඔලූව රුදාවට ඇති හේතුව නොවිසඳුන හොත් එයින් ලැබෙන්නේ තාවකාලික සහනයක් පමණකි.

මට අවශ්‍ය තාවකාලික සහනයක් නොවේ. මුලූමනින් මෙයින් මිදීමට ය.

එහෙත් තවමත් එයට කාලය පැමිණ නැති බව මම දනිමි. වෛද්‍යවරු තවමත් පැනඩෝල්ම නිර්දේශ කරමින් සිටිති.

මෙවැනි බ්ලෝග් සටහනකට රණ බෙර නගන යුගයක කළ හැක්කේ රණබෙර හඩින්ම පහසුවෙන් යටපත් කළ හැකි හීන් කෙඳිරියක් නැගීම පමණකි. සිදුවෙමින් තිබෙන්නේ එයයි.

එහෙත් අනාගතයේ යම් දිනයක රණ බෙර හඩ වියැකී ගිය පසු (ගොඩ වෙදවරු සතු විකල්ප අවසන් වූ කල්* මීට වටිනාකමක් ලැබෙනු ඇත. පැනඩෝල්වලින් හොඳ නොවන ඔලූවේ රුදාවක් බව අවබෝධ වූ විට රෝග නිධානය හොයන්නන්ට රෝගීන් පෙළඹෙනු ඇත. එවන් කාලයක මේ අදහස්වලට ද ඉල්ලූමක් ඇති වනු ඇත.

රොගියා එතෙක් සුවයෙන් ජීවත්වනු ඇතැයි ද රෝගය අසාධ්‍ය නොවනු ඇතැයි ද මම ප‍්‍රාර්ථනා කරමි.

« Previous entries